එක ගෙදරක් කතා දෙකක්
සුපුරුදු පරිදිම සායනයේදී අහපු තවත් කතාවක් මේක. මේ කතාව කියන්නෙ රෝෂණී ගැන. ඇය වයස අවුරුදු 30ක තලෙලු ලස්සන ආකර්ෂණීය පෙනුමක් තිබෙන සුන්දර කාන්තාවක්. ඇය අපි ළඟට ආවේ හිසරදයක් එක්ක. ඒ හිසරදයට බෙහෙත් ටිකක් ගන්න. අපි ඇයගෙන් ඇහුවා මොකද්ද හිසරදයට හේතුව කියලා. රෝෂණී විවාහක කාන්තාවක්. ඇයට ලස්සන දියණියක ඉන්නවා. “මගේ පවුලෙ මමයි අක්කයි, අම්මයි, තාත්තයි. අපේ තාත්තා නැති වුණා. අම්මා තමයි අපිව හදාගත්තේ. අපිට කිසිම දෙයකින් අඩුපාඩු තිබුණේ නැහැ. ගෙදර වටේටම හිටියෙ අපේ නෑදෑයෝ හැමෝම අපි ගැන හොයලා බැලුවා. අපි හොඳට ඉගෙන ගත්තා. මම උසස් පෙළ “බී” එකකුයි “සී” තුනකුයි එක්ක වාණිජ අංශයෙන් සමත් වුණා. ඊට පස්සෙ පෞද්ගලික ආයතන කිහිපයකම “එකවුන්ටන්ට්” කෙනෙක් විදියට වැඩ කළා. අක්කා විවාහ වුණා. එයාලා වෙනම ඉන්නේ අපේ ගෙවල් පැත්තෙමයි.”
“අක්කා ඔයාට ආදරේද?”
“ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ නම් අපි දෙන්නා ආදරෙන් හිටියා දැන්නම් එහෙම නෑ.”
“ඉතින් කියන්නකෝ ”
අක්කා විවාහ වුණා. ඊට පස්සේ මමයි අම්මයි ගෙදර හිටියේ. ඔය අතරෙදි මම පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා. එයා තමයි නිශ්ශංක. නිශ්ශංක එක්ක ටික දවසක් යාළුවෙලා ඉන්නකොට මට එයාව එපා වුණා.”
“ඒ ඇයි?”
“අනේ මන්දා මට හිතුණා මට එයා ගැළපෙන්නේ නෑ කියලා.”
“ඊට පස්සේ”
“එයා අපේ ගෙදර ආවා. ඇවිත් අම්මට කිව්වා. අම්මා එයාට කැමැති වුණා.”
“ඔයා මොකද කළේ?”
“මෙයාට මම කිව්වා මට බෑම කියලා. මේ මනුස්සයා මම වැඩ ඇරිලා එන්න කලින් අපේ ගෙදර. අපේ අම්මයි මෙයයි දෙන්නා සාලෙට වෙලා කතාව. මම එනකොටම නවත්වනවා. අම්මා අපිට තේ හදලා දෙනවා. මම කොච්චර බෑ කිව්වත් ඇහුවෙම නෑ.”
“ඉතින් මොකද වුණේ?”
“මම බෑ කිව්ව කියලා අපේ අම්මට පපුවෙ අමාරුවක් හැදුණා. ඉස්පිරිතාලෙ නවත්තගෙන හිටියා. මම මේ මඟුලට කැමැති කරවා ගන්න ගොඩක් උත්සාහ කළා. පස්සෙ ඉතින් මම හා කිව්වා.” කරදරේ බැරිකමට. අම්මා ඉතින් ජීවත් කරගන්නත් ඕනනේ. මට පස්සෙ තමයි තේරුණේ මොනවද මෙතැන වෙන්නෙ කියලා.”
“මොනවද වුණේ?”
“අපේ අම්මට ඕන වුණා මගේ මිනිහව ගන්න. ඒ දෙන්නා යාළු නිසා තමයි එහෙම වුණේ. මාව බිල්ලට දීලා එයා ගත්තා”
“ඇයි ඔයාට එහෙම හිතුණේ? ඒ ඔයාගෙ අම්මනේ?”
“මගේ අම්මා තමයි එයා කලිනුත් එහෙමයි. මම ඔෆිස් ඉවර වෙලා එන්න කලින් තමයි නිශ්ශංක ගෙදර ඇවිත් හිටියේ. අපි බැඳලා මුල් කාලෙ දවසක් මට රෑ නින්දෙන් ඇහැරුණා අහැරිලා බලද්දී මෙයා නෑ. හැම තැනම බැලුවා. අන්තිමට බලනකොට මෙයා අම්මගේ බෙහෙත් තෙල් ගානවා.”
“ඉතින් බෙහෙත් තෙල් ගෑවට වරදක් නෑනේ?”
“නෑ මට කියන්න තිබුණනේ. එහෙනම් මම ගානවනේ. මේ දෙන්නා මට හොරකමට තමයි එහෙම කළේ මිසී. මාව නිදිකරලා අම්ම ළඟට යනවා. ආයෙ දවසකත් මගේ අතටම අහුවුණා.”
“මොකද්ද එදා වුණේ?”
එදා මම නාන්න ගිහින් එද්දී ගෙදර හතරවටේම දොරවල් වහලා. දවල්ට දොරවල් වහන්නෙ නැහැනෙ. මම වටේම දොරවල් වලට ගැහුවා ජනෙල් ඇරියා. ඊට පස්සෙ මෙන්න මෙයා ඇවිත් දොර අරිනවා. ඇහුවම කිව්වා නින්ද ගියාලු.
ඉතින් තව මොනවද වුණේ?
එයා දිගටම ඒ වැරැද්ද කළේ. එයා හතරවටේ ඉන්න ගෑනු අය එක්ක යාළුයි. පස්සෙ අපි දෙන්නා එකතු වෙලා මගේ එකවුන්ට්වල සල්ලිත් එකතු කරලා අපි ගාමන්ට් එකක් පටන් ගත්තා. ඉතින් අපි දිගින් දිගටම වැඩ කළා. වැඩකරන තැන ගෑනු ළමයින්වත් මෙයා බලාගෙන ඉන්නවා මට තේරුණා. පස්සෙ අම්මත් අක්කා ළඟට ගියා. අක්කයි අම්මයි දෙන්නම තරහයි ඉතින්... “ඊට පස්සේ මහත්තයා අපේ දුවටත් කරදර කරන්න ගත්තා. ඉස්කෝලේ ගිහින් එනකොට එයාව ගේනකොට එහෙම. පස්සේ මම පොලිසි ගියා. අපි වෙන්වුණා. එයා පොරොන්දු වුණා මට මාසෙකට රු. 20,000 ගාණෙ ගෙවන්න. ඒත් ගෙවන්නෙ ටික ටික. මම දුවත් එක්ක හරිම අමාරුවෙන් ඉන්නෙ. මම දැන් මොන්ටිසෝරි කෝස් එකක් කරනවා. ඒක දැනගෙනම මෙයා සල්ලි දෙන්නෙ අඩුවෙන්. සැරින් සැරේ. දුවගේ ඉස්කෝලෙ ළඟට දුව බලන්න එනවා. ඒකටත් මම බයයි. දරුවට කරදරයක් කරාවි කියලා.
ඔයාට මොනවද හිතෙන්නේ?
“කොහොම හරි මම ඉගෙන ගෙන මොන්ටිසෝරි චීචර් කෙනෙක් වෙලා සල්ලි ටිකක් හොයාගෙන දරුවත් බලාගෙන ඉන්න. ඒ වුණාට මට මොනවත් කරගන්න බෑ. මට නින්ද යන්නෙ නෑ. මට කන්න බෑ. හැමදේම එපාවෙනවා.”
මෙතෙක් වෙලා ඔබ කියවපු මේ කොටස දිහා විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි අදහා ගන්න බැරි කතාවක්. ඒ වගේම මේ වෙලාවේ ඇය ඉන්නේ මානසික අවපීඩනයකින්. විෂාදය තත්ත්වයකින්. අපි ඇයට මුලින්ම කළේ විෂාදයට ප්‍රතිකාර පටන් ගන්න එක. ඊළඟට අපිට මේ කතාව හොයලා බලන්න වුණා. මානසික රෝගවලට ප්‍රතිකාර කරද්දී ගැටලුවලට සහාය වෙද්දී අපට බොහෝ දුරට පවුලේ අයගේ සහාය අවශ්‍ය වෙන්නෙ මේ නිසයි. මොකද මේ කතාවේ ඇත්තම තත්ත්වය. අපි ඇයගේ ඇගේ ස්වාමිපුරුෂයා නිශ්ශංකගෙ දුරකතන අංකය ඇතුළු තොරතුරු ලබාගත්තා. ඉන් පසුව අපි ඔහුව ඇමතුවා. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක අපි ගැටලුව හරියටම අවබෝධ කරගන්නම ඕන. අපි නිශ්ශංක ඇමැතුවා මේ ඔහු කියපු කතාව.
“රෝෂණීව මං දැනගෙන හිටියෙ ඉස්කෝලේ යන කාලේ ඉඳලා. මගේ හිතේ එයා ගැන කැමැත්තක් තිබුණා. එයා වැඩට යනවා එනවා මට එයාව නිතර නිතරම දකින්න ලැබුණා. ඉතින් මට හිතුණා එයාගෙන් මේ ගැන අහන්න. එයත් කැමැති වුණා. අපි හරිම ආදරෙන් හිටියෙ. මං එයාගෙ ගෙදරින් ගිහින් මේ ගැන ඇහුවා. එයාගෙ අම්මා පවුලෙ අය මට කැමැති වුණා. ඒ අතරෙ මෙයා එකපාරම වෙනස් වෙන්න ගත්තා. මට කැමැති නෑ කිව්වා. බඳින්න බෑම කිව්වා. මම හේතුව ඇහුවා කිව්වේ නෑ. මං නිතරම එහේ ආවා ගිය එක ඇත්ත. එයා එන වෙලාවට ගෙදර ගියපු එකත් ඇත්ත. ඒ එයාට ආදරේ නිසයි. අන්තිමේදි ගෙවල්වල කැමැත්තෙන් අපි විවාහ වුණා. එයා හැමවෙලේම මාව සැකකළා. මම එයාගෙ අම්මා එක්ක යාළුයි කියලා දොස් කිව්වා. මේ ප්‍රශ්න විසඳගන්න බැරිම තැන අම්මත් ගෙදරින් ගියා. එක පාරක් මෙයා මේ ඔක්කොම අතහැරලා ජීවිතේ නැති කරගන්න හැදුවා. මම එයාව මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. එයාට ඔෟෂධ ප්‍රතිකාර ලබා දුන්නා. එයා බෙහෙත් ගත්තා. ටික දවසක් හොඳට හිටියා. ඊට පස්සේ ආයෙම රණ්ඩු. ගෙදර දාපු ගාමන්ට් එකේ ළමයින්ව මට පාවලා දුන්නා. ඒකත් අවුල් කළා.
ඒ ඔක්කොම ඉවසුව හැකි මෙයා මම මගේ දුවට කරදර කරනවා කියලා පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා. මට හරිම ලැජ්ජාවකුත් දුකකුත් ඇති වුණා. ඊට පස්සෙ මං ඔක්කොම නවත්තලා ගෙදරින් ගියා.”
“දුව මොනවද කිව්වේ?”
“මෙයා දුවට සැර කරලා බය කරලා ගත්තා ඇඟේ ගෑවෙනවද ඒ වගේ එක එක කතා ඇහුවා. දරුවන් මෙයාට බයයි. එතකොටම ඔව් කියනවා. මං මගේ දරුවව බලන්න දවසක් ඉල්ලුවා. මෙයා එදාටත් මඟහැරියා. ඊට පස්සේ මම දරුවා බලන්න එයාගෙ ඉස්කෝලෙ ළඟට ගියා. මෙයා ගුරුවරුන්ටත් ඒ කතාව කියලා. මට එතනටත් යන්න බැරි වුණා. මම උසාවියෙන් කියපු විදියට මෙයාට නඩත්තු දුන්නා. එකපාර ඔක්කොම සල්ලි දුන්නෙ නැහැ. මාසෙට දෙතුන් පාර දුන්නේ. මෙයා වියදම් කරනවා වැඩි බව දන්න නිසා.
මං තාමත් එයාට ආදරෙයි. ඒත් මං බයයි එයත් එක්ක ගෙදර ඉන්න. එයා නිතරම මාව සැකකරන නිසා. මට වෙන කිසිම සම්බන්ධයක් නැහැ. මට ඕන මගේ දරුවා හොඳට හැදෙන්න විතරයි. මං හරි බයෙන් ඉන්නේ මගේ දරුවා ගැන.”
ඒ ඔහුගේ කතාව. මේ සිද්ධිය විශ්ලේෂණය වෙද්දී රෝෂණී තුළ කිසියම් ගැටලුසහගත බවක් ඇති බව අපිට පෙනුණා. අපි නැවැත සායනයේදී ඇයව හමුවුණා.
රෝෂණී ඔයාට දැන් කොහොමද?
“දැන්නම් නින්ද යනවා මගේ වැඩත් මට කරගන්න පුළුවන් දැන් මම ටිකක් හොඳින් ඉන්නවා.”
“ඔයාට තරහ යන, සතුට වැඩි ඒ වගේ වෙලාවලුත් තියෙනවද?” සමහර කාලෙට මට තරහ යනවා. මට වේගෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒත් ටික දවසයි. ආයෙ ඔක්කොම එපා වෙනවා.
“මහත්තයා කොහොමද?”
“කතා කරනවා. දුවට ඕන දේවල් දෙනවා සල්ලි දෙනවා...”
ඇයගේ මේ වෙනස්කම් අපි ඇගේ ස්වාමිපුරුෂයා නිශ්ශංකගෙනුත් විමසුවා. ඔහුත් එය සනාථ කළා. ඒ අනුව නැවතත් අපට ඇගේ රෝග තත්ත්වයේ තවත් පැතිකඩක් දකින්නට පුළුවන් වුණා. ඒ අනුව ඔෟෂධ ප්‍රතිකාරවල වෙනස්කම් සිදුකළා. එනම් ඇයට ද්විධ්‍රැව මනෝභාව රෝග තත්ත්වය ඇතිදැයි යන සැකය මතු වුණා. මෙහිදී මනෝභාවය, සතුට සහ දුක අතර දෝලනය වෙනවා. එසේම ඇතැම් අයට අස්ථිර අසාමාන්‍ය සිතුවිලි විශ්වාස පවා ඇති විය හැකියි. ඇයගේ මේ චෝදනා එවැන්නක්ද විය හැකියි. නැවැතත් ඇය ප්‍රතිකාර ලබන අතරතුර අපට හමුවුණා.
“කොහොමද රෝෂණී?“
“ඇය සිනාසුණා හොඳයි දැන් මං මගේ වැඩත් දුවගෙ වැඩත් කරගෙන හොඳින් ඉන්නවා...”
“මහත්තයා...”
“එයා හොඳ කෙනෙක්. මට තේරෙනවා එයා හොඳයි. එයත් කතා කරනවා. දුවගෙ උපන් දිනේ තිබුණා. එදා එයා ආවා. ඇවිත් සතුටින් කතා කරලා ගියේ.”
නිශ්ශංක අපට දුරකතන ඇමැතුමක් ලබා දුන්නා.
“මට හරිම පුදුමයි මිස් රෝෂණී හොඳටම වෙනස් වෙලා. එයා ආයෙමත් මට ඉස්සර වගේම ආදරෙයි. මං දරුවගෙ උපන් දිනේට ගෙදර ආවා. හරිම හොඳට සැලකුවා. මට ආදරෙන් කතා කළා. මම එනකොට මට වැන්දා. මගේ දුවටත් කාලෙකින් සතුට ලැබුණා කියලා මං හිතනවා.”
“ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?”
රෝෂණී මට කතා කරනවා. ආයෙත් ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න. තාම මගේ හිතට පොඩි බයක් තියෙනවා. ඒකයි නොගියෙ. වැඩිහිටි අයටත් කියලා ඉක්මනට අපි ආයෙම එකතු වෙනවා. ඔයාලට ගොඩා...ක් පින් අපේ ජීවිත හදලා දුන්නට. මේ සිදුවීම් අතරෙ දිනක් තරුණ මහත්මයෙක් හදිසියෙන් ඇවිත් අපිත් එක්ක කතා කරන්න ඕන කිව්ව.
“මිස් මම නිශ්ශංක වෙන ගමනක් යන ගමන් මෙතැනින් යද්දී මෙහෙට එන්නම ඕන කියලා හිත කිව්වා. ඒකයි ආවේ. ස්තුති කරලා යන්න. මං දැන් ආයෙම රෝෂණී එක්ක ගෙදර ආවා. අපි දෙන්නා අපේ දුවත් එක්ක සතුටින් ඉන්නවා. මේක මට කවදාවත් සැබෑ නොවෙන හීනයක් හැබෑ වුණා වගේමට වචන නෑ ස්තුති කරන්න මං ආවේ ඔයාලට පින්... කියලා කියලා යන්න.
අපිට සමාජයේ තවත් රෝෂණීලා නිශ්ශංකලා හමුවේවි. ගැටලුවලදී එක පැත්තකින් එකම කෝණයකින් නොබලා සෑම පැතිකඩක්ම විශ්ලේෂණය කරලා බලන එක කොච්චර වටිනවද කියලා ඔබටත් තේරෙනවා ඇති. පොදුවේ ජනතාවගේ ගැටලු සමඟ කටයුතු කරන ආයතනවලට මානසික සෞඛ්‍ය පිළිබඳ යම් අවබෝධයක් ලබාදෙන්න පුළුවන්නම් සමහර විට මේ වගේ වෙන් වෙන්න යන ජීවිත එකතු කරන්නට හැකි නොවේවි යැයි කියන්න පුළුවන් කාටද? ඔබත් සෑම විටම විවෘත මනසකින් ජීවිතය දකින්න. මට ඔබට ඕන වැදගත්ම දේ ඒකයි.
උපුටා ගැනීම මව්බිම පුවත්පත
කතාව- පූර්ණිමා වඩුගේ