උපතින්ම දෙනෙත් අහිමි උසස් පෙළ ඉහළින්ම සමත් වී විශ්වවිද්‍යාලයට යන දමයන්ති
නුවරඑළියේ, හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, ගළුකේ වෙසෙන ලීලාවතීගේ කතාව හරියට ජාතක කතා පොතේ ඇති තේමිය කුමාරයාගේත් ඔහුගේ මව වූ චන්ද්‍රාදේවියගේත් කතාව මෙන් යැයි අපට සිතේ. එනමුත් අතපය වකුටු කරගෙන අඳ ගොලු බිහිරකු සේ එක තැන විසූ තේමිය කුමරා රැකබලාගත් චන්ද්‍රාදේවිය මෙන් ලීලාවතීට දෙනෙත් අඳ තම දියණිය කවා පොවා පෝෂණය කර රැක බලා ගැනීමට තරම් ඇතෙක් බරට රන් කහවණු තිබුණේ නැත. හිතේ හයිය හැර වෙන කිසිදු වස්තුවක් තම දියණිය රැකබලාගැනීමට ලීලාවතීට නොතිබුණාය. වංකගිරියක් තරණය කර යා යුතු අතුපැළක විසූ ලීලාවතී තම දියණියට අකුරු සාත්තරය කියාදීමට නොගත් උත්සාහයක් නැත. වාහනයක් නොව පයින් යාමට හරි හැටි පාරක්වත් නැති කඳුකරයේ හුන් ලීලාවතී තම අඳ දරුවා පාසලට රැගෙන ගියේ කිලෝමීටර් ගණනාවක් පයින් යමිනි. මීට විසි එක් වසරකට ඉහතදී තම දෙවැනි දියණිය බිහිකිරීමට සූදානම් වූ මොහොතේදී, දස මාසයක් කුසෙහි හොවාගෙන සිටි බිලිඳියගේ දෙනෙත් අඳ වෙතැයි ඈ හීනෙන්වත් නොසිතුවාය. එන්.ජී. ලීලාවතීගේ සැමියා රණසිංහ බණ්ඩාය. ඔවුන්ගේ ජීවිතත් හරියට මීදුමෙන් වැසී ගිය කඳුකරය මෙන් වැසී තිබුණේ දුකෙන් පමණි. මුලින් මුලින් දිවි ගැට ගසාගැනීමට රණසිංහ බණ්ඩා මහපොළොව සමග හැපෙමින් ගොවිතැන් කළේය. ගොවිතැනෙන් හරි හැටි ආදායමක් නැති කල ඔහු කිරි හරක් ඇති කළේය. ඒ වෑයමත් නිෂ්ඵල වූ විට රණසිංහ බණ්ඩා කළුගල් කැඩුවේය.
ලීලාවතීගේත් රණසිංහ බණ්ඩාගේත් මුල්ම දරුවා දියණියකි. ලීලාවතී දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වූයේ මීට විසි එක් වසරකට ඉහතදීය. ඒ එක්දහස් නමසිය අනූ දෙකේදීය. බක් මහ උදාවත්ම ලීලාවතී ඇඟිලි ගනිමින් හුන්නේ දස මාසයක් කුසේ හොවාගෙන හුන් බිලිඳා බිහිකරන දිනය ළං වන තුරුය. හරියටම ඒ දිනය උදා වූයේ අනූ දෙකේ අප්‍රේල් විසිහත්වැනිදාය. ඇය තවත් දියණියක බිහි කළාය. ලීලාවතීත් රණසිංහ බණ්ඩාත් අලුත උපන් බිලිඳියට රසිකා දමයන්ති යනුවෙන් නම් තැබූහ. මුලකුරු සහිත ඇගේ නම ඩබ්ලිව්.ජී.ආර්.එම්. රසිකා දමයන්තිය. දවසින් දවස මාසයෙන් මාසය ගෙවී යද්දී ඕ බඩගා දණගාන්නට පටන් ගත්තාය. එනමුත් මුලදී ඇගේ විශේෂ වෙනසක් ලීලාවතීට නොපෙනුණි. රසිකා දුව ඉපදුනාට පස්සේ අපි දැනගෙන සිටියේ නෑ ඇයට ඇස් පේන්නේ නෑ කියලා. දුවගේ ඇස් හොඳට පිහිටලා තිබුණා. අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ තමයි අපි දැනගත්තේ දූගේ පෙනීමේ යම් දෝෂයක් ඇති කියලා. ඒ ගමන මහනුවර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්නුවා. එතුමා පරීක්ෂා කරලා කිවුවා, උපතින්ම දුවගේ ඇස් පේන්නේ නෑ කියලා. මේ නිසා බෙහෙත් දීලා දුවගේ පෙනීම හදන්න බෑ කීවා. ලීලාවතී කියන්නීය. වෛද්‍යවරුන් කී කතාවෙන් ලීලාවතී දුකට පත්වුවත් ඒ දුක පරයා ඇගේ හිතේ බලාපොරොත්තුවක් ඉපදුනේය. මම මොන කැපවීමක් හරි කරලා දරුවාට උගන්වනවා ඇය අදිටන් කරගත්තාය. රසිකා දමයන්ති රත්මලාන අන්ධ විද්‍යාලයට මෙන්ම දොඩන්වල ආබාධිත විදුහලටත් ඇතුළු කෙරුණි. ඇය ඉගෙන ගැනීමට මෙන්ම ක්‍රීඩාවටත් දස්කම් දැක්වූවාය. සැමියා ගෙදර නැති බැවින් රසිකාගේ සියලු බර කරට ගත්තේ ලීලාවතීය.
අඩුපාඩු තිබුණත් දරුවන්ට හොඳට උගන්වන්න අපිට ඕන වුණා. වැස්ස වැඩිම වෙලා රිලවුන්ගෙන් ගොවිතැන් විනාශ වෙනකොට මහත්තයා කළුගල් වැඩපලක ගල් කඩන්න ගියා. දැන් කොළඹ ගොඩනැගිලි හදන තැනක අත් වැඩ දෙනවා. උසස් පෙළ කරන්න දුව රිකිල්ලගස්කඩ විද්‍යාකර මහා විද්‍යාලයට ආවාට පස්සේ මට වෙන වැඩක යෙදෙන්න වෙලාවක් නැති වුණා. දුව ඉස්කෝලේ එක්කගෙන යන්න එන්න වගේම ඇයගේ අනෙකුත් වැඩවලට උදව් වෙන්න තියෙන නිසා වැඩක් කරන්න හැකියාවක් නෑ. ලීලාවතී කියන්නීය. ලීලාවතීලාගේ ගෙදර තිබුණේ වංකගිරියකය. නාය යන බිමක තිබිම නිසා කිසිවෙකු ඔවුන් සිටින කන්දේ පදිංචිව නැත. එනමුත් යන එන මං නැති ලීලාවතීගේ පවුලට දිවි ගෙවීමට මේ කන්ද හැර වෙන සරණක් නොවීය. ඔප්පුවක් නැති එම ඉඩමේ ඔවුන් බොහෝ කලක් පුරා දිවි ගෙව්වේ මරුවා සමගය. රසිකලාගේ ගෙදරට යා යුත්තේ රිකිල්ලගස්කඩ ටවුමේ සිට කිලෝමීටර් හයක් පමණ අති දුෂ්කර මගක් පසුකරය. 'රට්ලන්ඩ්' නමැති වතු යායට පැමිණ එතැනිනුත් මීටර් පන්සියයක් පමණ දැඩි ප්‍රපාතයක් දිගේ රසිකලාගේ ගෙදරට යන පාර වැටී ඇත්තේය. රසිකා සිය මවගේ අත අල්ලාගෙන උදේ හවස පාසල් යන්නේ මේ මහා බාධක මැදය. මගේ පවුලේ මට අක්කා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා. තාත්තා මුලදී කළුගල් වැඩපලක ගල් කඩලා අපිට ඉගැන්නුවා. දැන් කොළඹ ගෙවල් හදන තැනක අත් උදව් දෙනවා. මම මහනුවර - දොඩන්වල ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලේ එහෙ නේවාසිකාගාරයේ නතර වෙලා ඉගෙන ගත්තා. නිවාඩුවට ගෙදර ආවාහම ආයෙත් දොඩන්වල ඉස්කෝලෙට යන්නෙ පාන්දර තුනට. අම්මත් එක්ක පාරට පයින් යනවා. ගළුකේ අපේ ගමේ ඉඳලා උදේම රිකිල්ලගස්කඩ නගරයට බස් එකක් යන්නේ නෑ. රිකිල්ලගස්කඩ - හේවාහැට පාරේ බුළුගහ හන්දියට පයින් කිලෝමීටර් එකහමාරක් ගිහිල්ලා තමයි උදේට බස් එකට නගින්නේ. රසිකා දමයන්ති කියන්නීය. සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් රිකිල්ලගස්කඩ - පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයට ඇතුළු විය. ඒ පාසල රසිකා මීට පෙර ඉගෙන ගත් පාසල් මෙන් නොව සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින පාසලකි. තමන්ට අලුත් අත්දැකීමක් වූ මේ පාසල ගැන රසිකා දමයන්ති මෙසේ කියන්නීය. කුඩා කාලයේ ඉඳල සාමාන්‍ය පෙළ දක්වාම මම ඉගෙන ගත්තේ ආබාධිත දරුවන් සඳහාම වෙන්වූ අධ්‍යාපන ක්‍රම යටතේ. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ මාත් අම්මා තාත්තා දෙන්නාත් ලොකු අපහසුතාවකට පත් වුණා. උසස් පෙළ කරන්ට මම ඉගෙන ගන්න පාසල් දෙකේම පහසුකම් තිබුණේ නෑ. ආබාධිත දරුවන් සඳහාම වෙන්වූ පාසලක් තංගල්‍ලේ තියෙන බව දැනගත්තත් අම්මටයි තාත්තටයි මා එහෙ යවන්න පුළුවන්කමක් තිබුණේ නෑ. පස්සේ පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය භාරව ඉන්න සකුන්තලා ජයසේකර ගුරු මහත්මිය මගින් එම විද්‍යාලයට ඇතුළු වුණා. මුලින් නුහුරු බවක් දැනුනත් පස්සේ ඒවා මගහැරුණා.
මේ අතර 2013 උසස් පෙළ විභාග ප්‍රතිඵල රසිකාට ගෙනාවේ සුබ ආරංචියකි. ඒ විභාගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෘශ්‍යාබාධිත දරුවන් අතරින් ප්‍රථම ස්ථානය ලැබුවේ ඇයය. මගේ උසස් පෙළ ප්‍රතිඵල සිංහල - බි (ඕ), දේශපාලන විද්‍යාව - සී (ඛි), බෞද්ධ ශිෂ්ටාචාරය - සී (ඛි) හා පොදු පරීක්ෂණයට ලකුණු 38ක් ලෙස තියෙනවා. මේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට හැකියාවක් ලැබේවි යැයි විශ්වාස කරනවා. ජයවර්ධනපුර පීඨයට ඇතුළු වෙලා බෞද්ධ ශිෂ්ඨාචාරය විශේෂ උපාධිය කිරීමට ආසාවක් තියෙනවා.යැයි රසිකා දමයන්ති කියන්නීය. දොඩන්වල ආබාධිත දරුවන් සඳහා වෙන්වූ පාසලේ විදුහල්පතිනිය කුමුදුනී අබේරුවන් මහත්මිය, එම විද්‍යාලයේම දෘශ්‍යාබාධිත ගුරුවරයෙකු වන සුසන්ත වික්‍රමසිංහ මහතා තම අධ්‍යාපන කටයුතුවලට ඉමහත් ශක්තියක් දුන් බව ඇය පවසන්නීය. විශේෂයෙන් සුසන්ත වික්‍රමසිංහ ගුරු මහතා මහනුවර සිට රිකිල්ලගස්කඩ විද්‍යාකර මහා විද්‍යාලයට පැමිණ තමා වාර විභාගවලට ඉදිරිපත් වූ අවස්ථාවල එම ඇගයීම් කටයුතු කර විද්‍යාකර මහා විද්‍යාලයේ ගුරුවරුන්ට සහයෝගය දැක්වූ බව එම දියණිය සිහි කරයි. සිය දියණියගේ ජයග්‍රහණය ගැන ඇගේ මව කියන්නේ මෙසේය. දුව බේල් ක්‍රමයට තමයි අධ්‍යාපන කටයුතු කළේ.ඉස්කෝලෙදි ගුරුවරු කියලා දෙන දෙය පටිගත කරලා ගෙදර ගෙනත් බේල් ක්‍රමයට සටහන් තියාගෙන ඉගෙන ගත්තා. ප්‍රේරේඩ්සෝ කියන ආයතනයෙන් දුවට පටිගත කරන උපකරණයක් පරිත්‍යාග කළා. ඒක එයාට ලොකු පහසුවක් වුණා ඉගෙනගන්න වැඩවලට. දුව මේ ලබපු ජයග්‍රහණයේ කොටස්කරුවන් ඔවුන්. දුව උසස් පෙළ හදාරන්න විද්‍යාකර මහා විද්‍යාලයට ඇතුළු කර නොගත්තා නම් ඇගේ අධ්‍යාපනය එතැනින් ඉවර වෙන්න තිබුණා. යැයි ලීලාවතී සඳහන් කරයි. පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. විජේසුන්දර මහතා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය දමයන්ති ලියනගේ මහත්මිය, විශේෂ අධ්‍යාපන ඒකකයේ සකුන්තලා ජයසේකර මහත්මිය, මහනුවර පදිංචි බි.එච්. සයිමන් මහතා, විද්‍යාකර මහා විද්‍යාලයේ චන්ද්‍රා, සරෝජනී ගුරු මහත්මීන් දෙපළත් බණ්ඩාර ගුරු මහත්මා ඇතුළු සිය අධ්‍යාපනයට උදව් කළ අය ගැන ඇය කියන්නේ තුටු කඳුළු වගුරවමිනි. රිකිල්ලගස්කඩ - පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාල ඉතිහාසයේ
පළමු වරට මෙවන් ආබාධිත දරුවෙකු දැක්වූ දක්ෂතාවය පිළිබඳ එම විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. විජේසුන්දර මහතා මෙසේ කීවේය. මේ දරුවා ගැන මට මුලින්ම හඳුන්වලා දුන්නේ අපේ පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකය භාරව ඉන්න සකුන්තලා ජයසේකර ගුරු මහත්මිය. මේ දරුවා උසස් පෙළ සඳහා අපේ විද්‍යාලයට ඇතුළු කර ගමු කියලා ගුරු මහත්මිය යෝජනා කරන විට මම දෙගිඩියාවට පත්වුණා. මේ වගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න අපේ පාසලේ පහසුකම් නෑ. නමුත් ගුරු මහත්මිය කිව්වා කොහොමහරි මේ දරුවා පාසලට ඇතුළු කරගෙන උගන්වමු කියලා. පස්සේ අපි මේ දරුවා පාසලට ඇතුළු කරගත්තා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඇය ඉතා ධෛර්යවන්ත දැරියක්. කිසිම ආබාධයක් නැති දරුවන් සමග ඉගෙන ගෙන ඔවුන්ටත් වඩා ඇය දක්ෂතා දැක්වීම අගය කළ යුතුයි. ඇය අපේ පාසලට කීර්තියක් ගෙනාවා වගේම අනෙක් දරුවන්ට හොඳ ආදර්ශයක් සපයලා තියෙනවා. රසිකා දමයන්තිගේ ආසාව පරිගණක අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමටය. එනමුත් ඒ ආසාවන් දෙකම රසිකා දමයන්තිට මිරිඟුවකි. අපේ පවුලේ ආර්ථික තත්ත්වය අනුව මට පරිගණකයක් ගන්න ලැබෙනෙකක් නෑ. රසිකා දමයන්ති කීවේ සුසුමක්ද පිටකරමිනි. මේ දිරිය දියණියගේ ආසාව ඉටුකර දීමට හැකි නම් ඊට බොහෝ පින් යන වචන තුනට ඒ උපකාරය ලඝු කරන්නට නොහැකිය. මක්නිසාදයත් ඒ උපකාරය පිනකටත් වඩා බෙහෝ වටිනා ක්‍රියාවක් බැවිනි.
චම්පික දසනායක
උපුටා ගැනිම ලක්බිම