රෝද පුටුවේ හිඳ ජිවිතය ජයගත් ඉතාලි කාන්තාවක්
හදිසියේ දිනක අහම්බෙන් දුටු විසිතුරු එම්බ්‍රොයිඩර් වැඩ සහ නොයෙකුත් මාදිලියේ විසිතුරු මැහුම් ගෙතුම්වලින් පිරි විශාල රෙදි සාප්පුවකට මා ගොඩවූයේ අහම්බෙනි. එහි සිටි සේවිකාවන්ගේ ආචාරශීලී භාවයත් එහි නිමැයුම්වල තිබූ සියුම් නිමාවත් නිසාම නැවත නැවතත් එහි යන්නට මා පෙළඹීමෙන් පසුව එහි අයිතිකාරිය වූ ක්ලාරා පසුව දන්නා හඳුනන හිතවතියක් බවට පත්විය. මුල්ම දිනයේ ක්ලාරා එම වෙළෙඳසලේ අයිතිකාරිය බවට මා කිසිසේත් සිතුවේ නැත. ඒ ඇය රෝද පුටුවකින් යන ආබාධිත කාන්තාවක් වීම නිසාය. නිරන්තරයෙන් මුහුණ පුරා පැතිරුන පියකරු සිනාවකින් යුතු ක්ලාරා ජීවිතයේ මැද වයසේ මුල් කාලයේ පසුවන්නියක් වුවද පෙනෙන්නේ ඉතා ළාබාල පෙනුමකි. ඇගේ ජීවිතයේ සාර්ථකත්වයත්, රෝද පුටුවක් මත ජීවිතය ගෙවද්දීත් මෙසේ සිනාමුසුව සිටීමටත් හේතුව ඇගෙන් අසා දැනගැනීමට මට සිතුනේ ඇය හඳුනා ගත් මුල් දිනයේදීමය. වසර ගණනාවකට පසු ඇය මා සමගින් ඇගේ ජීවිත කතාව පැවැසුයේ අප දැන හඳුනා ගැනීමෙන් අනතුරුවය. ඇය පැවැසූ කතාව එලෙසින්ම පවසන්නේ එය බොහෝ කාන්තාවන්ට ආදර්ශයක් වනු ඇතැයි සිතන නිසාමය.
“මම පවුලේ එකම දරුවා. මගේ අම්මයි තාත්තයි මම පොඩි කාලෙමයි වෙන්වෙලා තියෙන්නේ. මම හැදුනේ අම්මා එක්ක. පාසල් අධ්‍යාපනය නිමාවීමත් එක්කම මම කුඩා රැකියාවක් හොයා ගත්තා. අපි ජීවත් වුණේ අමාරුවෙන්. මගේ අම්මට සල්ලි තිබ්බේ නෑ අපි දෙන්නටම වියදම් කරන්න. එතන රැකියාව කරද්දී මට මුණගැහුණ ෆාබියෝ මගෙ මුල්ම පෙම්වතා. මම ටික කලක් ඔහුව ඇසුරු කරලා ඔහු එක්ක විවාහ වුණා. මට ලස්සන දියණියක් ලැබුණා. ටික කාලයක් අපි සතුටෙන් හිටියා. මේ අතරෙදි තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම සිදුවීම වෙන්නේ. කාලෙක පටන් තිබ්බ මගේ පිට කොන්දේ වේදනාවට සියලු ප්‍රතිකාරවලින් පස්සේ වෛද්‍යවරු නියම කරේ ශල්‍යකර්මයක්. දරාගන්නම බැරි වේදනාව නිසා මම ඒකට කැමැති වුණා. ඒත් ශල්‍යකර්මය අසාර්ථක වුණා. මගේ ඉණෙන් පහළ කොටසේ ස්නායු නියම ආකාරයට වැඩ කරන්නේ නැතිව මම ආබාධිතයෙක් වුණා. වෛද්‍යවරුන්ගේ අතපසුවීමක් කියලයි අන්තිමේ තීරණය වුණේ. මගේ මුළු තරුණ ජීවිතේම රෝද පුටුවකට සීමා වුණා. මට සිද්ධ වුණ දේ හිතාගන්න බෑ. මගේ අම්මා දරුව බලාගත්තා. ඒත් මගේ සැමියා ෆාබියෝගෙන් කිසිම උදව්වක් උපකාරයක් තිබ්බේ නෑ. එයා ජීවත් වුණේ බෝඩිමක ඉන්නවා වගේ. උදේ ගෙදරින් ගිහින් රෑ වෙලා ගෙදර ඇවිත් නිදාගත්තා. ටික කාලයක් යනකොට අපිට වියදමට සල්ලි දෙන එකත් එයා අතඇරලාම දැම්මා. එහෙම ගිහින් එයා දවසක් කිව්වා “මට මෙහෙම ජීවත් වෙන්න බෑ. මට ජීවිතයක් තියෙන්න ඕනේ. මට පෙම්වතියක් ඉන්නවා මම එයා එක්ක ජීවත් වෙන්න යනවා මට සමාවෙන්න කියලා”. මම උමතු නොවුණ විතරයි. ඒත් මම ඉවසුවා. මම කිසිම දෙයක් නොකියා ඔහුට යන්න ඉඩ දුන්න. මගේ අම්මාගේ කුඩා රැකියාවෙන් අපි තුන්දෙනා කාලයක් ජීවත් වුණා. මම සෑහෙන්න මානසිකව වැටුණා. පුංචි දරුවෙක් එක්ක තනිවුණා. ආබාධිත ගැහැනියකට මොන තරම් අසරණ හැඟීමක් දැනෙනවද. මම නොකා නොබි දවස් ගණන් අඬා වැටුණා. මෙහෙම දුක් වෙවී ඉන්නකොට තමයි මගේ යෙහෙළියක් මාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එක්ක ගියේ. එතනට ගිහින් ටික කාලෙකින් මට ජීවිතය වෙනස් වෙනවා වගේ දැනුණා. හැමදේටම අඬ අඬා ඉන්නේ නැතිව ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා. අපි වගේ ගොඩක් අයට එතන එක එක විදියේ පුහුණු වැඩසටහන් තිබුණා. මම තෝරා ගත්තේ මැහුම් අංශය, මැහුම්වලට මගේ හිත ඇදිලා ගියේ නොහිතපු විදිහට මම ඉක්මනින්ම එම්බ්‍රොයිඩර් වැඩ පුහුණු වෙලා මගේම නිර්මාණ කරන්න පටන් ගත්තා. ඒ අතරම මගේ ශල්‍යකර්මය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවුණ දෙයක් බවට තීරණය වෙලා රජයෙන් වන්දි මුදලක් මට ලැබුණා. මම තීරණය කරා කුඩා වෙළෙඳ කුටියක් අරන් මගේම මැහුම් ව්‍යාපාරයක් පටන් ගන්න. මගේ මැහුම් වැඩ දැකපු ගොඩක් අය ඒවා මිලදී ගන්න කැමැති වුණා. මමත් මට පුළුවන් උපරිමයෙන් පාරිභෝගිකයන් සතුටු කරමින් ඒ දේවල් කරලා දුන්නා.
මම ටික දවසක් තනියෙම වැඩ කරන් ගියා. අම්මත් වෙලා තියෙන විදියට උදව් උපකාර කරා. මගේ ළඟම යෙහෙළියන් දෙතුන් දෙනෙකුත් දරුවා බලාගන්න වැඩවලට උදව් කරා. ඒ වගේ අපේ රටේ තියෙන සමාජ සේවා ආයතනයක් මට ගොඩක් උදව් උපකාර කළා. මට තනියෙම කරගන්න බැරි තරම් ඇනවුම් ලැබෙන්න ගත්තම මට හිතුණා තව කීපදෙනෙක් වැඩට හවුල් කරගන්න. ඒ විදියට කීප දෙනෙක් එක්ක මම ව්‍යාපාරය කරගෙන යද්දී මම හිතුවෙවත් නැති තරම් වැඩ වැඩිවුණා වගේම ව්‍යාපාරය සාර්ථක වුණා. ටික කාලෙකට පස්සේ මම බැංකු ණයක් මගින් මේ කඩය මිලට ගත්තා. ඒ තමයි මගේ ජීවිතේ සාර්ථකම අවස්ථාව. අද මගේ ළඟ සේවිකාවෝ සෑහෙන පිරිසක් වැඩ කරනවා. එයාලත් මේ රැකියාව කරන්නේ සතුටෙන්. මම තවමත් මට පුළුවන් හැම වෙලේම මහනවා. ගොඩක් අය එම්බ්‍රොයිඩර් වැඩවලට කැමතියි. ඒ දේවල්වලට මනස යොදවන කොට අනිත් හැම ප්‍රශ්නයක්ම මට අමතක වෙනවා. මම මගේ ජීවිතේ මට පුළුවන් ඉහළම මට්ටමින් සාර්ථක කරගත්තා. මගේ කකුල් දෙක පණ නැති වුණත් අද මගේ මෝටර් රථය මමයි පදවාගෙන එන්නේ. ඒ අපි වගේ අය වෙනුවෙන්ම හදපු එකක්. මගේ හැම වැඩක්ම තනියෙන් කරගන්න පුළුවන් විදිහට මම ජීවිතේ සැලසුම් කරගත්තා. මගේ අම්මත් අද ජීවිතේ අන්තිම කාලේ ගොඩක් සතුටෙන් ගෙවනවා. මගේ දුව දැන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. එයා හොඳ දරුවෙක්. ඒකත් මට සතුටක්. එයාටත් පුළුවන් හැම වෙලාවෙම මට උදව් වෙනවා. මාව දාල ගිය ෆාබියෝ ඉඳලා හිටලා දුව බලලා යන්න එනවා. එයා බොහොම අසරණ දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ. මම ඔහුට අනුකම්පා කරනවා. ජීවිතයේ අමාරුම කාලේ අපිව අසරණ කරල පැනල ගියත් ඒ මගේ දරුවාගේ තාත්තා කියලා හිතලා මම ඉඳ හිට ඔහුට මුදල්වලින් උපකාර කරනවා. ජීවිතයේ එක දොරක් වැහුනම තව දොරක් අපිට ඇරෙනවා. අපි ඒක මහන්සියෙන් හොයාගන්න ඕනේ. ගැහැනියක් අසරණ වුණාම අඬලා දොඩලා ජීවිතේ නැතිකරගන්න එක නමෛයි වටිනාකම. තමන් වෙනුවෙනුත්, අපි වෙනුවෙන් ජීවත් වෙන අය වෙනුවෙනුන් ජීවිතේට මූණ දෙන එක. ඇත්තෙන්ම මම මගේ කකුල පණ නැතිවුණත් ගොඩක් සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. මගේ ජීවිතේ සාර්ථකයි කියලා මම හිතනවා.
ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ නුවර සිට
උපුටා ගැනීම ලක්බිම පුවත්පත