විනාශය සඳහා උගත්කම යොදා ගත හැකියි
ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය කාලානුරූපව නවීකරණය වන අතරේ අප රටේ අධ්‍යාපනය දිගු කාලයක් තිස්සේ එකම තැනක පල් වෙමින් තිබෙනු දක්නට පුළුවන. මෙම පල් වෙමින් පවතින අධ්‍යාපනය තුළින් දරුවාට ලද හැකි යහපතට වඩා මුහුණ පෑමට සිදුවන කායික මානසික පෞරුෂමය පසුබෑම් දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ. වර්තමාන අධ්‍යාපන රටාව මෙරටට පිළිලයක් බවට පත් වෙමින් තිබෙන බවට ප්‍රසිද්ධ කතාබහක් ඇතිව තිබෙන්නේ ඒ අනුවය.
උගතෙක් කියල සාමාන්‍යයෙන් හඳුන්වන්නෙ ඉහළ පන්ති දක්වා පාසැල් ගිය, විභාග පාස් කරපු කෙනෙක්. “නිල වශයෙන්” ඉහළට අධ්‍යාපනය හැදෑරූ කෙනෙක්. ඒත් බොහෝ අවස්ථවල “අධ්‍යාපන සුදුසුකම්” සහතිකවල තිබුණට ප්‍රායෝගික ජීවිතය දිහා බැලුවම සමහරුන්ට තැනට සුදුසු නුවණක්වත් නැති අවස්ථා දකින්න ලැබෙනවා. අනිත් අතට ඉහළ පාසල් අධ්‍යාපනයක් නැතත් ඉතා දක්ෂ ලෙස අවස්ථාවන්ට ප්‍රායෝගිකව මූණදීමේ, හැසිරවීමේ හැකියාව තියන අය ඉන්නවා. සමහරවිට ඒ වගේ අය විභාග පාස්කරපු අයට වඩා බොහෝ දැනුම ඇති දක්ෂකම් ඇති පරිපාලන සහ හැසිරවීමේ ශක්තියක් ඇති අය බව පිළිබිඹුකරන අනන්තවත් නිදසුන් සමාජයෙන් අපිට දකින්න පුළුවන්.
බුද්ධිමය ඵලය කාටත් වැටහෙන බසින් කීවොත් ශ්‍රී කියන මිනුම සමස්ත මිනිස් මොළයේම ක්‍රියාකාරීත්වයේ දර්ශකයක්ද ?
කියන දේ අද වන විට විවාදයට ලක්වෙමින් තිබෙනවා. ඉහළ බුද්ධිමය ඵල මට්ටමක් නොමැති පුද්ගලයන් අතරේ ද සුවිශේෂ දක්ෂතා කුසලතා සහ ප්‍රතිභාවන් සහිත පුද්ගලයන් හිඳින බවත් රහසක් නෙවෙයි. ක්‍රමානුකූල හැදෑරීමක් තුළින් කිසියම් විෂයක් ගැන ඉහළ මට්ටමේ දැනුමක් ලබාගත හැකි බව ඇත්ත. ඒත් අද බොහෝ දෙනෙක් එවැනි හැදෑරීම් කරන්නෙ දැනුම ලබන්නවත් සමාජයට මෙහෙවරක් කරන්නවත් නෙමේ. බොහෝ අය ඉගනගන්නෙ අසවල් අසවල් විභාග පාස්කළා කියන නම්බුව ලබන්න සහ මුදල් වැඩිපුර ලැබෙන රැකියාවක් කරන්න. සත්‍යය හඳුනාගෙන එය බලගැන්වීම, අවට ලෝකයේ සුන්දරත්වය දැකීම, සාධාරණත්වය ක්‍රියාත්මක කරවීම, නිදහසේ වටිනාකම අවබෝධකර ගැනීම සහ ලෝකය තුළ එය ක්‍රියාත්මක කිරීම, හැම මිනිසෙක් තුළම ඇති වටිනාකම් හඳුනාගෙන ඒවාවල සේවාවන් සමාජයට ලබාදීමට සැලසුම් කිරීම, සමානාත්මක බව සමාජය තුළ ලියලන්නට පසුබිම සකස් කිරීම, වගේ දේ තමයි ඕනෑම සමාජ ඒකකයක තිබිය යුතු අවශ්‍යතාවන්.
නමුත් උගත් යැයි කියාගන්නා විභාග පාස්කරපු හැමදෙනාම ඔය ටික තේරුම් අරගෙන ක්‍රියාකරනවද ?
බොහෝවිට එවැනි අය එක සීමාවකට කොටුවෙලා තමන්ගෙ ගමන යනව මිසක් මේ සමාජය, අවට ලෝකය ලස්සන කරන්න, මිනිසුන්ගෙ ජීවිත අර්ථවත් කරන්න බොහෝවිට දායක වෙන්නෙ නෑ. ඒ වගේ අය තනියම ඉගෙනගන, තනියම හම්බකරගෙන, තනියම තමන්ගෙ අවශ්‍ය ළඟ හිතවතුන් එක්ක සුහදව ජීවත්වෙලා මැරිල යනවා. ඉගෙන ගත්ත කියල ඒ වගේ අයගෙන් ප්‍රමාණවත් සමාජ මෙහෙවරක් වෙන්නෙ නෑ. සමාජයේ ඉහළ තලවලට ඇවිත් සමාජය “නම්බුකාර ලෙස” විනාශ කරලා මිනිසුන්ව රවටල පීඩාකරල අසරණ කරල අන්තිමට ඒ ගැන පම්‍පෝරි කියවන තරමට සමාජයට පිළිලයක් වූ උගතුනුත් ඉන්නවා. වෙළඳ ලෝකයේ, දේශපාලන ක්ෂේත්‍රයේ, පරිපාලන ක්ෂේත්‍රයේ වගේ හැම ක්ෂේත්‍රයකම පාහේ ඒ වගේ අය ඉන්න පුළුවන්. ඒ වගේ උගතුන් සැබෑ උගතුන්ද කියන එක සමාජයේම හද ගැස්මෙන් හඳුනාගන්න බැරි නෑ. උගත්කම තිබුණට කපටිකමින්, බොරුවෙන්, සූක්ෂම ලෙස මුලාකිරීමෙන් සමාජය තුළ වැජඹෙන උගතුන්ගෙන් සමාජයට හොඳකට වඩා වෙන්නෙ නරකක්, විපතක්, විනාශයක්. සමහර ක්ෂේත්‍රවල උස් පුටුවල ඉන්නෙ සුපිරි පාසල්වලට ගිය උදවිය. ඒත් සමාජයට ඔවුන් බොහොමයකගෙන් සිද්ධ වෙන්නේ සුපිරි මුලාකිරීම් මිසක් සුපිරි සේවාවක් නෙමේ. මිනිස්කම සුන්දරත්වය ආදරය සමාජය තුළ විකසිත කරන්න කැපවීමක් නැති එවැනි ‘උගතුන්ගෙන්’ ඇති වැඩේ මොකක්ද කියන එක ගැටලුවක්. පාසලකින් එවැනි අය බිහිකිරීමෙන් පාසල කරන්නෙ උතුම් ක්‍රියාවක්ද කියන එක ගැටලුවක්. කෙටියෙන්ම කියනවනම් සුපිරි පාසලකට ගිහින් ඉගෙනගත්ත කියන්නෙ සුපිරි මිනිසෙක් සමාජයට ලැබුණා කියන එක නෙමේ. අනිත් අතට උසස් සුපිරි පාසල් අධ්‍යාපනය හෝ විභාග සහතික නැතත් නිහඬව බුද්ධිමත්ව අසීමිතව සමාජය ලස්සන කරන්න ප්‍රීතිමත් කරන්න වෙර දරන සැබෑ බුද්ධිමතුන් ඉන්න බවත් පැහැදිලියි. හැබැයි මේ කිසි දෙයක් හැමෝටම පොදු ගුණාංග ලෙස නෙවෙයි සිතිය යුත්තේ. සුපිරි උසස් පාසැල්වලට ගිහින් හොඳට ඉගෙනගන සමාජයට ඇත්තටම ආදරෙන් කැපවීමෙන් ලොකු සේවාවක් කරන අයත් අනන්තවත් ඉන්නවා. ඒ වගේම කිසිම ඉස්කෝලෙකට නොගිය අමන වැඩ කරමින් සමාජයම විනාශ කරන තක්කඩිත් ඉන්නව. ඒ වගේම ඉහළට උගත් තක්කඩිත් ඉන්න පුළුවන්. පාසල් නොගිය අතිශයින් බුද්ධිමත් සමාජයට වැඩදායක අයත් ඉන්න පුළුවන්. අවට ලෝකය දිහා නිරීක්ෂණාත්මක ඇසකින් බැලුවොත් ඒක සනාථ වෙනවා.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
උපුටා ගැනීම ලක්බිම පුවත්පත