අම්මලා - තාත්තලා ළමා මනෝවිද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම
චාල්ස් ඩාවින් තම දරුවන් පිළිබඳ ලියන ලද වාර්තාවල පටන් ජෝන් ලොක්, ජින් ජැක් රූසෝ, එමානුවෙල්, ස්කිනර්, පියාජේ හා මාරියා මොන්ටිසෝරි වැනි මනෝ විද්‍යාඥයන් දරුවන් පිළිබඳ විශාල ලෙස සිදුකළ විද්‍යාඥයෝය. මොවුන් මෙතරම් පර්යේෂණ සිදු කළේ අනාගත දරු පරපුරේ ප්‍රගමනය සඳහාය. එබැවින් දරුවන් හදාවඩා ගන්නා මවුපියන් වන ඔබ ළමා මනෝ විද්‍යාව අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයක් බව කිව යුතුය.
බුද්ධි සංවර්ධනය :
වර්තමාන පවුල තුළ පවතින අධිවේගී ජීවන රටාව නිසා දරුවාගේ අධ්‍යාපනය, රැකවරණය, ආරක්‍ෂාව, ආදරය පිළිබඳ විවිධතා රාශියක් අපට දකින්නට ලැබේ. මෙහිදී බොහෝ මවුපියන් රැකියාවට යෑම, දරුවන්ගේ රැකවරණය වෙනත් අයකු වෙත පැවරීම ආදී හේතු නිසා දරුවන්ගේ බුද්ධි සංවර්ධනය පිළිබඳ ගැටලු මතුවී ඇත. බොහෝ දරුවන්ට කුඩා අවධියේදී ලබාගත යුතු අත්දැකීම් හා ඉගෙනුම් පරිසරය අහිමි වී ඇත්තේ මවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසා බව පෙනේ. සමහර මවුපියන් නිවෙසේ රැඳී සිටියද තම දරුවන්ට දක්වන අඩු සැලකිල්ල දරුවාගේ බුද්ධි සංවර්ධනයට බලපෑම් කර ඇත. සමහර මවුපියන්ට ඒ පිළිබඳ දැනුම නොමැත. තවම දරුවාගේ පූර්ව ක්‍රියාකාරී චින්තන අවධියේදී ලබාගත යුතු අත්දැකීම් මඟහැරී යෑම දරුවාගේ ක්‍රියාකාරීත්වයට බලපාන බව කිව යුතුය. එබැවින් දරුවන් හදාවඩා ගන්නා රැකියාවට යන මවුපියන් මනෝ විද්‍යාත්මක උපදේශන හා ඒ සඳහා ඇතුළත් කරුණු දැන සිටීම වැදගත් බව පෙනේ.
එදා අපේ අම්මලා :
එදා අප මවුපියන් අප හදාවඩා ගත්තේ මනෝ විද්‍යාව හැදෑරීමෙන් නොවේ. නමුත් එදා අපේ අම්මා දරුවාගේ විවිධ හැසිරීම් රටා නිරීක්‍ෂණය කරමින් අධ්‍යාපනය ලබාදීම ඉවෙන් මෙන් දැන සිටියේය. එදා පවුලේ ඒකකය ඉතා විශාල වූ නිසා දරුවන් හදාවඩා ගැනීම පිළිබඳ විශාල ගැටලුවක් නොවිණි. අම්මා දරුවන් හා ස්වාමියා වෙනුවෙන් කැපවී සිටි අතර ඇය නිරන්තරයෙන් කාලය ගත කළේ දරුවන් සමඟය. ඇයගේ එකම බලාපොරොත්තුව හා ප්‍රාර්ථනාව වූයේ තම දරුවන් නිසි මඟකට යොමුකර ගැනීමය. ඉතිහාසයේ මහා ප්‍රාඥයන්, විද්‍යාඥයන්, ජාතික වීරයන් බිහි වූයේ ඔවුන්ගේ මවුපියන් ලබාදුන් ඒ උතුම් කැපවීම නිසාය. එදා රටේ පැවැති පාරිසරික හා අධ්‍යාපනික සංස්කෘතික වටපිටාව තුළ දරුවන්ට නිසි මඟ පෙන්වීමේ කලාව ඇය ඉවෙන් මෙන් දැන සිටියේය. එබැවින් එදා අපේ අම්මා මනෝ විද්‍යාත්මක විග්‍රහයන්ට අත්පොත් තැබුවේ ජීවිත පරිඥානය තුළින්ය.
මනෝ විද්‍යාවේ වැදගත්කම :
එහෙත් ඔබ අප අත්විඳි ඒ සොඳුරු පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක අද අප ජීවත් වේ. එදා අපේ අම්මාට තිබූ දැනුමෙන් කොටසක්වත් අද දරුවන් හදන මවුපියන්ට නැත. එයට එක් හේතුවක් වන්නේ බොහෝ පවුල් ඒකක කුඩා වීමයි. මොවුන් බොහෝ දෙනකු තනිව ජීවත් වීම නිසායි. දරුවාගේ විවිධ කාණ්ඩවලදී ලැබිය යුතු බුද්ධි සංවර්ධනය කෙබඳුවේද යන්න ඒ අනුව දරුවා නිසි මඟකට යොමුකර ගැනීමටත් මනෝ විද්‍යා උපදේශනය මහා පිටිවහලක් වනු ඇත. ඒ සඳහා පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි සැලකිල්ලක් යොමු කර ඇත. • දරුවාගේ විවිධ බුද්ධි සංවර්ධන අවධිවලදී දරුවාගේ විවිධ ක්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම. • වෙනස් වන චර්යා රටාවන්ට ගැළපෙන වටපිටාවක් සකස් කර ගැනීම. • සවන්දීම, කථනය, ලිවීම, කියැවීම ආදී චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය කිරීම. • දරුවාගේ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රබලතා හා දුබලතා අවබෝධ කර ගැනීම. • දරුවාගේ කායික, මානසික හා චිත්තවේගී වර්ධනය පිළිබඳ අවබෝධ කර ගැනීම. • දරුවාගේ විවිධ සංවර්ධන අවධිවලදී ඇතිවන ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා නිසි මඟපෙන්වීම් ලබාගැනීමත් හා පියවර ගැනීම. මේ ආකාරයට දරුවාගේ විවිධ හැකියාවන් වර්ධනය කර සංවර්ධනය කර ගැනීමට මෙන්ම වර්තමාන කාලයට ගැළපෙන අයුරින් දරුවන් හදාවඩා ගැනීමට ළමා මනෝ විද්‍යාව දැන සිටීම ඉතාමත් කාලෝචිතය. දරුවාට කායික, මානසික, දුබලතා ඇති වූ විට එය දෛවයට හෝ කාලයට භාරදී සිටි යුගය අවසන් කොට ලෝකයට රටට වැඩදායී පුරවැසියකු බිහිකර ගැනීමට මවුපියන් සතු කාර්ය භාරය අතිමහත්ය.
කථිකාචාර්ය
නයනා ගුණවර්ධන
ජාතික අධ්‍යාපන ආයතනය
උපුටා ගැනීම මව්බිම පුවත් පත