දරුවන්ට ලොකු වුණාම පෞරුෂ දුර්වලතා
බිය දරුවන් තුළ නිතර පවතින චිත්ත වේගයකි. මෙය දරුවා තුළට සහජයෙන් පැමිණි එකක් නොව ඒවා දරුවා ජීවත් වන සමාජය තුළින්ම ගන්නා දෙයක් බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. මෙහිදී පුද්ගලයන්ට සතුන්ට මෙන්ම විවිධ භාණ්ඩවලට, ස්ථානවලට යම් යම් සිදුවීම්වලට දරුවන් බිය වෙති. අඳුරු ස්ථානවල හුදකලාවීම මෙන්ම විටෙක තමන්ගේ සෙල්ලම් බඩුවලට පවා දරුවන් බියවෙති.
බය කරන්න එපා
සමහර අවස්ථාවල දරුවා රැක බලා ගන්නා වැඩිහිටියන් විසින් ආහාර ගැනීම, සනීපාරක්‍ෂක ක්‍රියාවන් පුරුදු පුහුණු කිරීම හා දරුවා නිදිකිරීමේදී විවිධ කතා පවසමින් දරුවන් බිය කරති. “මම ඔයාව කළුවර කාමරයකට දානවා. "එතැන ඉන්නවා කළුම කළු යකෙක්." ආදී වශයෙන් බිය කරන අවස්ථා සුලභව දකින්න ලැබේ. එමෙන්ම රාත්‍රි කාලයේදී අඳුරු ස්ථානවලට රැගෙන ගොස් බියගැන්වීම, ගින්දර තිබෙන ස්ථාන, ජලය තිබෙන ළිං වැනි ස්ථානවලට ගොස් දරුවන් බිය ගැන්වීම සිදුකරනු අප දැක ඇත. මෙය සුදුසු ක්‍රියාවන් නොවේ.
කාටුන් සහ චරිත
මන්ද දරුවා ලෝකය දකින්නේ වැඩිහිටියන්ගෙන් බව අමතක නොකරන්න. වර්තමානයේ සුලභව දරුවන් නරඹන රූපවාහිනි නාළිකාවල හා CD, DVDවලින් පෙන්වන බොහෝ කතා පුවත් දරුවන්ගේ මානසික සුවතාවට බලපෑම් කිරීමට ඉඩ ඇති බව ඔබ සිතන්න. කාටුන් චරිතවල සිටින වීරයන්, විරූපී සතුන්, අසාමාන්‍ය මිනිසුන් දරුවා නිරන්තරයෙන් බිය ගැන්වීමට හේතුවේ. මන්ද දරුවා සජීවී පරිසරය වටහා ගනිමින් සිටින කාලවකවානුවලදී අද්භූත සිද්ධි හා චරිතවලින් දරුවාගේ ස්වාභාවික සිතුවිලි වෙනස් කිරීම නුසුදුසුය. මෙහිදී සජීවී පරිසරය වටහා ගන්නවාට වඩා එයින් ඔබ්බට ගිය අද්භූත අසාමාන්‍ය චිත්ත රූප දරුවාගේ මනසේ තැන්පත් විය හැකිය. මේවා සදාතනිකව දරුවාගේ ලෝකයෙන් ඉවත් කර ගැනීමට නොහැකි වනු ඇත. මේවා සදාකාලිකව දරුවාගේ යටි සිතේ තැන්පත් වී යාගහෝම කිරීමට පවා සිදුවන අවස්ථා අප අසා ඇත.
වැඩිහිටි වියේදීත් බලපානවා
බොහෝ වැඩිහිටියන් මෙවැනි දේ සිදු කරන්නේ තමාගේ නිවෙසේ හා වෙනත් කටයුතු පහසු කර ගැනීමටය. මෙය වැඩිහිටියන් නොසිතා සිදු කළද එය දරුවාගේ ස්වාභාවික චින්තන ක්‍රියාවලියට බලපෑමක් සිදු කළ හැකිය. සමහර දරුවන් වැඩිවියට පත්වන විට ළමාවිය පහව ගියද සමහර වැඩිහිටියන් පවා ‘කැරපොත්තන්’ වැනි සතුන්ට නිතර බිය දක්වති. මෙය ඔවුන් කුඩා කාලයේදී ඇතිවූ බිය විය හැකිය. මෙය මානසික ගැටලුවක් විය හැකිය. සමහර වැඩිහිටියන් මෙවැනි අවස්ථා දරා ගත නොහැකිව “ක්ලාන්තය” ඇතිවන අවස්ථා අප දැක ඇත. මෙය දීර්ඝකාලීනව ඇමැතීමෙන් සමහර දරුවන් ‘ගොත ගැසීම’ ඉදිරිපත්වීමේ හැකියාව නොමැතිවීම, මුත්‍රා පිටවීම, වමනය වැනි අසමතුලිතාවන් ශරීරය තුළ ඇතිවිය හැකිය. මෙය දරුවාගේ අසමතුලිත පෞරුෂයක් වර්ධනය වීමටත් හේතුවකි.
බිය හා කාංසාව
බිය හා කාංසාව අතර සමාන තත්ත්වයක් පෙන්නුම් කළද ඒ දෙක අතර හඳුනාගත හැකි වෙනස්කම් පවතී. බිය බාහිරව හට ගන්නා දෙයක් බවත් කාංසාව අභ්‍යන්තරිකව හට ගන්නා දෙයක් බවත් මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. මෙහිදී දරුවා වර්ධනය වන විට බිය පහව ගියද කාංසාව අභ්‍යන්තරිකව සැඟවී පවතී. මෙහිදී දිගුකාලීනව තම පියා හා මවගෙන් වෙන්වී ජීවත්වීම නිසා කාලීනව ස්නායුක ව්‍යාකූලතා ඇතිවීමට හේතුවන බව මනෝ විද්‍යාඥ “ඔටෝ රැන්ක්”ගේ අදහසයි. මෙවැනි දරුවන් සිටින නිවෙසක වැඩිහිටියන් හෝ සමාජය විසින් දරුවා රැකබලා ගැනීම ඉතා වැදගත්ය. “අම්මාගේ” අඩුව පිරවීමට මෙලොව කිසිවකු සමත් නොවන බව අප දන්නා කරුණක් වුවද මෙවැනි දරුවන් රැකබලා ගැනීම ජාතික කාර්යයක්.
පෞරුෂය හීනවීම
ආදරයය රැකවරණය අඩුවීම නිසා හීන පෞරුෂ ලක්‍ෂණ දරුවා තුළ ගොඩනැඟේ. මෙවැනි දරුවන් වැඩිවියට පත් වී විවාහ වූ පසුත් තම ස්වාමියාගේ ආදරය හා රැකවරණය අහිමි වුවහොත් එය සදාකාලිකවම ජීවිතයෙන් ඉවත් කර ගත නොහැකි “කාංසාමය” තත්ත්වයක් බවට පත්වේ. එබැවින් මෙවැනි දරුවන් නිසිමඟට ගැනීමට “උපදේශනය” අත්‍යවශ්‍යය.
මවුපියන්ගේ වගකීම
ළමා බිය හා කාංසාව පහ කිරීමට නම් වැඩිහිටියන් ඉතා සැහැල්ලුවෙන් කටයුතු කළ යුතුය. බාහිර පරිසරය හා ලෝකය පිළිබඳ නිවැරැදි දැනුම ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. සතුන්, භාණ්ඩ හා මිනිසුන් පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාදීම මෙහිදී ඔබට සිදුකළ හැකිය. විශේෂයෙන් යම් යම් වස්තුන්, ස්ථාන පිළිබඳ බිය නොවන ආකාරයට දරුවාට කියාදී එය තහවුරු කළ යුතුය. සෑමවිටම දරුවා සමඟ සජීවීව කටයුතු කිරීම ඔවුන්ගේ චර්යාවන් සඳහා ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමට මවුපියන් පුරුදු පුහුණු විය යුතුය. දරුවාගේ අත්දැකීම් පුළුල් කිරීම සඳහා රූපවාහිනිය නැරඹීමට සැලැස්වීම නොව වැඩිහිටියන් සමඟ සිදු කරන සුහද සාකච්ඡා පලදායක වේ. පියා සහ මව අතර ඇති යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා දෙදෙනා කතා බහ කරමින් එකඟතාවට පැමිණි දරුවන් සමඟ එක අදහසකින් කටයුතු කළ යුතුය. නැතහොත් නිවෙසේ මව එක මතයක සිටියත් පියා තවත් මතයට සිටීමත් නිසා දරුවාට ගැටලුවක් මතු වූ විට අතරමං වීමට හේතුවනු ඇත. නිදහස් ගවේෂණයට ඉඩ සැලසීම, ගැටලුවලට නිවැරැදි පිළිතුරු ලබාදීම, හොඳ ප්‍රතිචාර දැක්වීම, දරුවාගෙක් කාංසා තත්ත්වයන්ට පිළියමක් විය හැකිය. මෙය නිතර නිතර පවතී නම් “ඕක ගණන් ගන්න ඕනේ නෑ. ලොකු වුණාම හරි යැයි සිතා සිටියොත් ගැටලුව උග්‍ර තත්ත්වයකට පත්විය හැකිය. එබැවින් සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම සුදුසුය. අන්තරාසර්ගී ග්‍රන්ථි පද්ධතියේ ස්නායු පද්ධතියේ සහ සංවේදී ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල ලෙසින් දරුවන් තුළ ඇතිවන බිය, කාංසාව, ආදරය, පී්‍රතිය, වෛරය, කෝපය ආදිය චිත්තවේග ලෙසින් මනෝවිද්‍යාඥයන් හඳුන්වාදී ඇත. මෙම මනෝ විද්‍යාත්මික සිතුවිලි ප්‍රතික්‍ෂේප කිරීම හා ඒවායේ හැසිරීම් පාලනය කිරීමට හැකි වුවද ඒවා ඉච්ඡානුගතව කැඳවීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට හැකියාවක් නොමැති බව මනෝ විද්‍යාඥාත්මක මතයයි. එබැවින් මේ නිසා ඇතිවන අනිසි බලපෑම් ගැන අවධානයෙන් සිටිය යුතුය.
කථිකාචාර්ය නයනා ගුණවර්ධන ජාතික අධ්‍යාපන ආයතනය
උපුටා ගැනීම මව්බිම පුවත්පත