පුංචි පුංචි වැඩ තනියම කරගන්න දරුවට ඉඩදෙන්න
සදීපා කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි. සදීපාගේ වයස අවුරුදු 11ක් වන අතර පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
සදීපා... ඔයාට මොකද වෙලා තියෙන්නේ?
නැඟිටින්න ඔය පුටුවෙන්...
දැන් කීයද වෙලාව පැත්තකට වෙලා බලාගත්තු අත බලන් ඉන්නේ.
යන්න ළමයෝ නැඟිටලා.
පාසලේ ගුරුවරිය නිතරම ඇයට මෙසේ කියයි. මෙවැනි දරුවන් බොහෝ විට ඉතා කලාතුරකින් පන්ති කාමරයේදී අපට හමුවෙයි. දරුවන් මෙවැනි දේ සිදුකරන්නේ ඇයි? උපදේශනය සඳහා යොමුකළ සදීපා සහ ඇගේ මවගේ කතාව අප සියලු දෙනාටම මහඟු පාඩමකි... වයස අවුරුදු 11ක් වූ සදීපා පන්ති කාමරයේ ඉතා සබකෝල දරුවෙකි. ක්‍රියාශීලී නැත. තනිව කිසිවක් කරගැනීමට නොහැකිය. සපත්තු දෙකේ ලේස් දෙක ගැලවුණහොත් එය ගැට ගසාගැනීමට පවා ඇයට නොහැකිය. පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට නොයන සදීපා පාසලට පැමිණෙන්නේ මවගේ අතේ එල්ලී ගෙනය. පවුලේ එකම දරුවා වූ සදීපාගේ මව රැකියාවක නිරත නොවෙයි. හැමදේම කරන්නෙ අම්මා කෑම කැවීම, කොණ්ඩය පීරා ගැටගැසීම, ඇඳුම් දෝසා දීම, මෙන්ම පාසලට පැමිණීමේදී බෑගය පවා රැගෙන එන්නේ සදීපාගේ මවය. පාසලේදී ලබාදෙන ගෙදර වැඩ මව විසින් සිදුකර දෙයි. වැසිකිළියෑමේ පුහුණුවක්ද නොවූ සදීපා මලපහ කිරීමෙන් පසු සේදීම පවා සිදුකරන්නේ ඇගේ මවය. සදීපාට කරන්නට කිසිදු දෙයක් නොමැත.
වෙන ප්‍රශ්න නැහැ මෙවැනි දරුවන් පිළිබඳ සාමාන්‍ය ජනවහරේ පවසන්නේ ‘අම්මා දරුවා නරක් කරලා’ යන්නයි. මෙවැනි දරුවන් අපට නිතර හමුවෙයි. සදීපා උපදේශනය සඳහා යොමු කිරීමෙන් පසු අනාවරණය කරගත් කරුණු කිහිපයක් ඇත. සදීපා කුඩා කාලයේ සිට කිසිදු ගැටලුවක් නොමැතිව ක්‍රියාකාරී දරුවකු වන අතර ඒ සම වයසේ අරනක් දරුවන් හා සමානව බුද්ධිඵලයක් පෙන්නුම් කර ඇත. සදීපාගේ මව හා පියා අතර කිසිදු ගැටලුවක් නොමැති අතර දරුවා මවට ඉතා සමීප බවක් පෙන්නුම් කරයි. මව සදීපාට දැඩිව ආදරය කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සදීපාගේ සියලු කටයුතු මව විසින් ඉටුකර දෙයි. දරුවකුගේ කායික, මානසික හා චාලක කුසලතා වර්ධනය සිදුවන්නේ දරුවා කුඩා කාලයේ සිටයි. ඒ සඳහා දරුවන් විවිධ චාලක ක්‍රියාකාරකම්වල යෙදවිය යුතුයි. ඒ ඔස්සේ දරුවා ඉතා පෞරුෂ සම්පන්නව තම ජීවිතය ජයගනු ලබයි. මේ සඳහා මවුපියන් දරුවන්ට උපකාර කළ යුතුය. එහෙත් තනිව කරගත හැකි දේ තනිව කර ගැනීමට අවස්ථාවක් උදාකරදිය යුතුය. විශේෂයෙන් හොඳ සෞඛ්‍ය පුරුදු, වැසිකිළියට යෑම, මුහුණ සෝදා ගැනීම, ස්නානාය, හිස පීරා ගැනීම, ඇඳුම් ඇඳීම වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් තමා විසින්ම ඉටු කරගැනීමට දරුවන් හුරු පුරුදු කළ යුතුය. දරුවට පුරුදු කරන්න කුඩා දරුවන් පෙර පාසලකට ඇතුළත් කළ පසු මුල්ම පාඩම වන්නේ තමා පිළිබඳ ඉගෙනීමත් තමාගේ වැඩකටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමේ පුරුද්ද ඇති කිරීමත්ය. සමහර මවුවරුන් දරුවා පෙර පාසලට කැඳවාගෙන යන්නේද වඩාගෙනය. ඉන්පසු තම බෑගය, බෝතලය නිසි තැන එල්ලා තබා පන්ති කාමරයේ පුටුවේ වාඩි කරන්නේ මවුපියන්ය. මෙහිදී සිදුවන්නේ කුමක්ද? දරුවාට පෙර පාසලට යෑම පිළිබඳ හැඟීමක් නොමැති වීම නොවේද? ඉගෙනුම් පරිසරයට හුරු කිරීමට නම් දරුවා ප්‍රථමයෙන්ම තමා පිළිබඳ හැඟීම නිවැරැදි දේ හුරුපුරුදු විය යුතුය. පෙර පාසලේ හෝ පාසලේ ගේට්ටුවෙන් ඇතුළුවූ මොහොතේ සිට දරුවා ඉගෙනුම් වටපිටාවකට, ඉගෙනුම් පරිසරයකට සූදානම් විය යුතුයි. එබැවින් දරුවන්ට තමාගේ වැඩ තමන් විසින්ම ඉටුකර ගැනීමට පුරුදු පුහුණු කරවීම මවුපියන් සතු කාර්යභාරයකි. සදීපාගේ මව පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයේදී පෙනී ගියේ ඇය කුඩා කාලයේදී ඇගේ මට ඉතා ආදරය කළ බවත්, ඇය කුඩා කාලයේදී මව හදිසි අනතුරකින් මිය ගොස් ඇති බවත්ය. ඇයට තම මව අහිමි වී ඇත්තේ ඇයට ආදරය අත්‍යවශ්‍ය අවධියේදී. මෙම දැඩි ආදරය නැවැත ඇයට දැනී ඇත්තේ සදීපා ඇයට ලැබීමෙන් අනතුරුවය. සදීපා හා මව අතර ඇති අසාමාන්‍ය බැඳීම සදීපාගේ පෞරුෂයට තදින්ම බලපෑ අතර ඇය මානසික වශයෙන් තමා වෙත බැඳ තබා ගැනීමට මවට අවශ්‍ය වූ බව පෙනේ.
අනාගතයට අහිතකරයි නමුත් දරුවන් අනවශ්‍ය ලෙස මානසික වහලුන් කිරීමට යෑමේ ප්‍රතිඵලය දක්නට ලැඛෙන්නේ දරුවා සමාජෙයේ ගැටී ජීවත්වන විටය. සමාජය අභියෝගවලට මුහුණ දීමට නොහැකිවීම හා ප්‍රශ්න ගැටලු නිරාකරණය නිසියාකාරව සිදු කර ගැනීමට අසමත්වීම වැනි දුෂ්කරතාවලට අනාගත දරුවා මුහුණ දෙනු ඇත. මෙයින් අවසානයේ පීඩා විඳින්නේ දරුවන්ය. ප්‍රශ්න හමුවේ පලා යෑම, අභියෝග ජය නොගැනීම තුළින් දරුවා සමාජගත කිරීම විශාල ලෙස බලපාන්නේ අනාගත අභිවෘද්ධියටයි. සදීපා තවත් වසර විස්සකින් පමණ විවාහ වනු ඇත. එහිදී තම ස්වාමියාට ඇයගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නිසියාකාරව සිදුවන්නේද? තම ස්වාමියාට ආහාරපාන සකසාදීම එසේත් නැතිනම් තේ කෝප්පයක් පවා හදාදීමට නොහැකි වුවහොත් සදීපාගේ විවාහ ජීවිතය කෙසේ අවසන් වෙයිද? මොහොතක් සිතන්න. අවසානයේ සදීපාගේ මවට දරුවාගේ පෞරුෂය බිඳ හෙළීමේ ප්‍රතිවිපාකය ගැන යම් අවබෝධයක් ලැබුණි. දරුවා විසින් ඉටුකරගත යුතු කාර්යයන් මොනවාදැයි පැහැදිලි කර දීමත් ඒ සඳහා මවුපිය කාර්යභාරය කෙබඳුදැයි වටහා ගැනීමත් නිසා සදීපා හා මව සතුටින් කල් ගත කරනු ඇත. දරුවකුගේ කායික, මානසික වර්ධනය සමඟ සිදුවන ආකල්පමය වෙනස්වීම් තුළින් දරුවන් නිසි මඟකට යොමුකර ගත හැකිය. දරුවාට තම හැකියාවන්, දක්ෂතාවන් උරගා බැලීමට අවස්ථාවක් උදාකර දෙන්න තනිවම කළ හැකි දේ තනිව කරන්න දෙන්න. තනිව මුහුණදීමට හැකි අභියෝගවලට තනිව මුහුණ දීමට හුරුකරන්න. කුඩා කාලයේදීම තම හැකියා මොනවාදැයි වටාගෙන අනාගත ලෝකය ගොඩනඟා ගන්නා දරුවන් සමාජයේ උසස් ස්ථානවල වැජඹෙන බව නොරහසකි.
කථිකාචාර්ය
නයනා ගුණවර්ධන
ජාතික අධ්‍යාපන ආයතනය
උපුටා ගැනීම මව්බිම පුවත් පත