ජීවත්වන බව දැනෙන්නේ ආදරය ලැබුණු විටය
මා කොහෙත්ම දැන් කෙල්ලක නොවන අතර, ඒ ගැන එසේ සිතීමට පවා නොකැමැත්තෙමි. ඇත්තෙන් ම මා දැන් වයස අවුරුදු විසි ගණන්වල කෙල්ලන් සිටිනා මැදිවියේ කාන්තාවකි. මැදිවිය, කාන්තාවකගේ සුන්දරත්වය නසා දමන කාලයක් යැයි මම අසා ඇත්තෙමි. එය එසේ බවට සලකුණු දැන් දැන් මා කෙරෙන් මට ද දැනෙයි. සුපුරුදු පරිදි ව්‍යායාම් සිදුකරද්දී පවා මගේ උදරය මද වශයෙන් නෙරා එන්නටත්, එල්ලා වැටෙන්නටත් පටන් ගන්නේ ය. උදෑසන මුහුණ බලන විට මගේ කැඩපත, වියපත් බවේ රේඛා මට සෙමෙන් පෙන්වා දෙන්නට පටන් ගත්තේ ය. මම සිතින් දුක්වන්නට පටන් ගතිමි. මා ලෝක ස්වභාවය දෙස වෛරී සිතින් බලන්නියක නොවේ. එහෙත් මම කුටුම්භගත ජීවිතයකට පෙම්කරන කාන්තාවක්මි. මගේ රූපයේ සිදුවන වෙනස, මගේ ආදර”ය සැමියා විසින් කෙසේ භාරගනීවිදැයි, මේ ලෝකයේ සියලු ම කාන්තාවන්ට පහළ වන දෙගිඩියාව මට ද දැනෙන්නට පටන් ගෙන තිබේ. අප බොහීමියාවේ නිවාඩුවක් ගත කරමින් සිටින අතර, මේ මාතෘකාවෙන් ගැලවෙන්නට නොහැකි පරිදි මා සිර වූ දිනක් උදා විය. මගේත්, ඇන්ඩිගේත්, සුන්දර කෙල්ලන් තිදෙනා මනරම් දිනක් පූර්ණ ලෙස විඳීමේ ආශාවෙන් යුතු ව ඒ වන විටත් පිහිනුම් ඇඳුමින් සැරසී සිටියෝ ය. ඔවුන්ගේ පැතලි උදර සහ සිරුරු පුරා වූ කෝමල රේඛා, මට මගේ තරුණ වියේ කාබන් කොපි සිහිපත් කර දෙයි. අම්මත්, අපිත් එක්ක පූල් එකට බහින්න..” වැඩිමල් දියණිය කෙළිලොල් ලෙස මට ඇරයුම් කළා ය. මම පසුබා ගියෙමි. මගේ සිරුර දැන් පිහිනුම් ඇඳුමට කොහෙත්ම නොගැළපේ. මම ඇන්ඩි දෙස බැලූවෙමි. ඔහු, මා පැකිළෙන්නේ මන්දැයි වටහාගත නොහැකි ව ප්‍රශ්නාර්ථයක් මුහුණේ දල්වාගෙන මා දෙස බලා සිටියි. මට බැහැ වගේ.. මම කෙටියෙන් කියා දැම්මෙමි. ජීවිතයේ සියල්ල, හැමවිට ම වදනින් කිව නොහේ. ඇන්ඩි ද ඒ ගැන මගෙන් හාරා අවුස්සමින් ප්‍රශ්න නොකළේ ය. ඇත්තෙන් ම ඔහු ඒ ජාතියේ වදකාර සැමියකු නොවේ. මා දෙස බලා සිට මේ වසර විසි ගණනක් තුළ ඔහු නිහඬ ව අවබෝධ කර ගත් දෑ බොහෝ තිඛෙන බව මම දනිමි. මේ මිනිසාගේ මා වඩාත්ම ආදරය කරන ලක්ෂණයක් නම් ඒ නිහඬ ආදරයයි. එදින රාත්‍රියේ ඔහු යහන වෙත ආවේ යම්කිසි කුඩා බෑගයක් ද අත දරා ගෙන ය.
ඔය මොකක්ද? මම කුතුහලයෙන් යුතුව ඇසුවෙමි. කිව්ටෙක්ස් ඔහු ගණනකට නැතිව මෙන් කීවේය. එහෙත් ඔහුගේ දෑස් දිලිසෙයි.
කිව්ටෙක්ස්..?
ඒ මොනවට ද...? මම පුදුමයෙන් ඇසුවෙමි.
වෙන මොනවට ද...? මම අද ඔයාගෙ කකුලෙ ඇඟිලිවල කිව්ටෙක්ස් ගානවා... ඔහු නිවේදනය කර සිටියේ ය.
මම පුදුමයෙන් බලා සිටියෙමි. ඇන්ඩිට අද මොනව වෙලාදැයි සිතුවෙමි. මේ වසර විසි ගණනට, මා පවා මගේ පයේ ඇඟිලිවල නිය ආලේප ගා නැත. මා එයට පි‍්‍රය නොකළා නොව, කුඩා කල පටන් මා එසේ නොකළ නිසා එවැනි පුරුද්දක් මට තිබුණේ නැත. ඔහු ඒ බව නොදන්නවා විය නොහැක. එහෙත්, මගේ සැමියා මා දෙස එකම අධිෂ්ඨානශීලී බැල්මකින් බලා සිටියේ ය.
ඇයි එහෙම කරන්න හිතුවෙ..? අවසානයේ මම ඇසුවෙමි.
ඒ, මෙය හුදෙක් මගේ පයැඟිලිවල නිය ආලේප ගෑම පිළිබඳ කාරණයක් නොවන බව ඒ වන විට මට ඉවෙන් මෙන් දැනී තිබූ බැවිනි. ඒකට හේතුව..., එසේ පවසමින් ඔහු සයනය ඉදිරියේ දණ ගසාගෙන මගේ නියපොතුවල පළමු නිය ආලේප වටය තවරමින් කීවේ ය. ... මට ඔයාට තේරුම් කරන්න ඕනෙ..., ඔයා හිසේ ඉඳන් දෙපතුලට යන කල්ම මට ලස්සනයි කියලා... හැමදාම එකවගේ ලස්සනයි කියලා... විසි හය අවුරුද්දක් තිස්සේ මට ජීවිතය දුන් ආදරණීයයා දෙස මම බලා සිටින්නෙමි. මා ගැන උපන් ආත්මානුකම්පාවෙන් ඔහු මා මුදා ගත්තා නොව, තවදුරටත් මගේ ළබැඳී ආරක්ෂකයා ලෙස ද හැසිරෙමින් සිටියේ ය. මගේ සිරුරේ මතු නොව, මගේ ආත්මයේ ම හිසේ සිට දෙපතුල දක්වා ඔහු මට ආලය කරමින් සිටිනා බව මම දන්නෙමි. ජීවිතය හෙට අවසන් වනවා නොවේ. එහෙත් වඩා අනගි වන්නේ අද දවසේ ආදරයෙන් ජීවත් වීමයි. ජීවත් වන බව දැනෙන්නට ආදරය ලැබීමයි.
කැත්රීන් ජී. බොන්ඩ් ගේ අත්දැකීමක් ඇසුරිනි.
රදිකා ගුණරත්න උපුටා ගැනීම දිනමිණ පුවත් පත