Biz Log
Classifields
Biz Log
Classifields

මාමණ්ඩිලා කැමැති මොනවගේ බෑනලාටද?

අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ නම් පවුලකට දුවක ඉපදීම මහත් අවාසනාවකි. එහෙත් අපේ සංස්කෘතියේ දුවක යනු විශාල සම්පතකි. අලුත විවාහ වූ යුවළකගේ කුලුඳුල් දරුවා දුවක වුවහොත් එය මවගේ වාසනාවක් බවත්, නිවසට සිරිකත වැඩියා වැනි බවත් සමහරුන්ගේ මතයයි. ඒ ඕනෑම හදිසියකට ලොකු දුව සිටින නිසාය. ඉඳහිට විකෘති මානසිකත්ව සහිත වූවන් මවන පුවත් හැරුණු කොට මේ දූවරු ගැන අපේ අති බහුතරයක් පියවරුන්ගේ හදවත්වලින් නැ‍ඟෙන පිතු සෙනෙහස මුළු තුන් ලෝකය පුරා විහිදෙන තරම් බව දැනෙන්නේ තම සුරතල් දියණිය මනාලියක ‍වී වෙන්ව යන මොහොතේ වුව කඳුළු ‍සඟවාලන පියකුගේ දෑස දකින්නකුට පමණි. තම උණුසුමේ හොවාගෙන රැකවරණය දුන් සියුමැලියගේ අනාගතය බාර ගන්නා කුමරු හොඳ පෞරුෂයකින් හෙබි තරුණයකු විය යුතු බව සියලුම පියවරුන් විශ්වාස කරන්නේ එබැවිනි. පෞරුෂය යන්නෙන් අදහස් වන්නේ උස මහත ම නොවන බව ද ඔවුහු පෙන්වා දෙති. තමන්ගේ දියණිය සමඟ සසඳන විට හීන දීන ස්වභාවයක් නොදක්වන කෙනකු වීම මෙන්ම ජීවිතයේ ඕනෑම බරක් කරට ගත හැකි පිරිමියකු වීම ද මේ පෞරුෂයට අයිතිය. වෙනත් වචනවලින් කිවහොත් පිරිමි පෙනුමත්, ඉදිරියට යන ගතියත්, ජීවිතයේ ඇදවැටීම්වලදී වුව නොසැලෙනසුලු උත්සාහවන්ත පෙනුමක් තම බෑනා සතු විය යුතු බව මාමණ්ඩිලා‍ගේ මතයයි. ඇතැමුන්ගේ ඒ අර්ථ දැක්වීම්වල සරලම අවස්ථාව වන්නේ අඩුම තරමින් ඉනිමඟකින් වහළට නැඟ උළු කැටයක් සවිකරගන්නට මෙන්ම දුවට දොළක් ඇති වූ මොහොතක ගසකට නැඟ අඹ ගැටයක්, වෙරළු ගෙඩියක් කඩා දීමට තරම්වත් හැකියාවක් කොල්ලකුට තිබිය යුතුය යන්නය. එවන් තරුණයින් ඕනෑවට වඩා සුදු වූ විට ද මාමණ්ඩිලාගේ කැමැත්ත ගැනීම තරමක් අපහසු බව පෙනේ. තලෙළු පෙනුම ශක්තිමත් බවක් ගෙන එන බවයි ඔවුන් කියන්නේ. එසේම දුව සමඟ පාරේ යන විට ප්‍රියමනාප පෙනුමක් ද බෑනලාගෙන් බලාපොරොත්තු වෙයි. ‍කෙතරම් පෙනුමට හිටියත් අඩුම තරමේ උසස් පෙළවත් නැති නම් ලකුණු මට්ටම ශීඝ්‍රයෙන් පහළ වැටීමට එය හේතුවකි. එහෙත් තරුණයකුට ඒ ලෙවල් යනු අවම අධ්‍යාපන සුදුසුකම වන්නේ සමහර වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ, රාජ්‍ය සේවක වැනි වෘත්තීන්වල යෙදෙන මාමණ්ඩිලා උපාධියටත් එහා ගිය අධ්‍යාපන සුදුසුකම් ගැන ද සැලකිලිමත් වන නිසාය. එය සමස්තයෙන් සියයට 20කි. මාධ්‍ය, ව්‍යාපාරික, ගුරු, ඇඟලුම්, කලා ක්ෂේත්‍රවල නිරත පියවරුන් තම දියණියට පවසන්නේ අඩුම තරමින් තමන්ට සමාන අධ්‍යාපනයක්වත් ඇති තරුණයකු සොයා ගැනීම අවශ්‍ය බවය. උගත්කමත් සමඟම බුද්ධිමත්කම ව්‍යාපාරික ඥානය තිබිය යුතු බව බොහෝ තාත්තලාගේ මතයයි. එයට හේතුව පොතේ ගුරාලා වගේ බෑනලාට රටේ ලෝ‍කේ දේවල් තේරුම් ගැනීමට ප්‍රමාද වන නිසා බව ද ඔවුහු කියති. පෙනුමැති උගත් බුද්ධිමත් තරුණයකුට රැකියාවක් සොයාගැනීම මහා දුෂ්කර ක්‍රියාවක් නොවනු ඇති බවයි පියවරුන්ගේ විශ්වාසය වන්නේ. එහෙත් ව්‍යාපාරික මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල සමහර තාත්තලා ම ව්‍යාපාරිකයන්ට අකමැති වීම පුදුමයට කරුණකි. රජයේ රැකියාවලට ද ඉස්සර තරම් ඉල්ලුමක් අද කාලේ මාමණ්ඩිලාගෙන් නැතිවීම තරුණයන්ට නම් සහනයක් වනු නියතය. වෛද්‍යවරුන්ටත් අකමැති පියවරු සිටීම අප සමීක්ෂණයෙන් හෙළි වූ අරුමැසි තත්ත්වයකි. එයට හේතු වශයෙන් ඔවුන් පවසන්නේ එවැනි අති කාර්යබහුල රාජකාරියක නිරතවන සැමියකුගෙන් තම දියණියටත් ඔවුන්ගේ දරුවන්ටත් නිසි අවධානය යොමුවීමට ඇති කාලය අඩුවන නිසා පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් සියයට 60ක් පියවරු අනාගත බෑනාට රැකියාවක් තිබීම අත්‍යවශ්‍යය යන මතයේ සිටිති. ස්වයං රැකියාවක් හෝ තම උගත්කමට ගැළපෙන ආදායම් මාර්ගයක් සොයාගෙන අඹු දරුවන්ට දුකක් නැතිව ජීවත්වීමට හැකි ආර්ථික මට්ටමක් ගොඩනඟා ගන්නවා නම් කමක් නැතැයි පවසන්නේ පියවරුන්ගෙන් සියයට 25ක් පමණි. උගත්කමයි රැකියාවයි ඇති විට පරම්පරාගත දේපළක් තිබුණත් නැතත් කමක් නැත යන අදහසේ සියයට 78 පමණ පියවරු සිටිති. විශේෂයෙන්ම පිරිමිකම ගැන කියන විට ද ඔවුන් පැවසුවේ තමන්ගේ හැකියාවෙන් යමක්කමක් උපයාගන්නට තරුණයකුට පුළුවන්කමක් තිබිය යුතුය කියාය. ඒ නිසා ගෙවල් දොරවල් යාන වාහන ආදර සම්බන්ධය ගොඩනැ‍ඟෙන මොහොතේ නැතත් පසුව ඒවා උපයා ගැනීමට තරුණයකු දක්ෂ විය යුතුය. එසේ පවසන පියවරු අතරම තම දෝණියන්දෑට අවශ්‍ය දේපළ තමන් සපයන බැවින් එසේ පැවසුවත් බිරියගේ වස්තු සම්පත්වලින් යැපෙන පිරිමින් ගැන එතරම් පිළිගැනීමක් දක්වන්නේ නැත. එනිසා තමන්ටත් ගෙයක් දොරක් යාන වාහනයක් තිබුණොත් එය ඇඟට ගුණ වන බව ද තරුණයන් අවබෝධයෙන් සිටීම වැදගත්ය. මොනවා තිබුණත් කුලය සොයා බලන බව කීවේ අප්පච්චිලාගෙන් සියයට 18ක් පමණි. අනෙක් මාමණ්ඩිලාට වර්තමානයේ කුල සාධකය එතරම් බැලිය නොහැකි වන්නේ නම් ගම් වෙනස් කරගැනීම වැනි දේවල් ද සිදුවන බැවින්ය. එහෙත් ජාතිය හා ආගම අන් සියල්ලටම ඉහළින් සලකන බව පියවරුන්ගෙන් සියයට 94ක් දෙනාගේ දැඩි අවධාරණයයි. එසේ තෝරාගන්නා බෑනණ්ඩිය බේබද්දකු නොවිය යුතු බව නම් සියයට සියයක්ම පියවරුන් පවසන්නේ තමන්ගේ ද ඇතැම් අත්දැකීම් සිහිකැඳවමිනි. කෙසේ වෙතත් ඉඳහිට උත්සවයකදී පොඩ්ඩක් සප්පායම් වීම ගැන බොහෝ පියවරුන් දොසක් නොකියන්නේ ඇතැම් විට තමන්ගේ ද බේරීමට විය හැකිය. හදිසි මධුපා‍නෝත්සවයකදී එකම මේසයේ සිට මධුවිත තොලගෑවත් ගැටලුවක් ලෙස නොසැලකුව ද මාමණ්ඩියාට ‘මචං’ ලෙස අමතන මට්ටමට නොයාමට බෑනණ්ඩිලා වගබලා ගත යුතු බව ද නිසි ගෞරවය ඒ ලෙසම පවත්වාගත යුතු බව ද සමාජශීලී බව වැඩිපුර සිතන පියවරුනගේ මතයයි. සිළුමිණ කර්තෘ මාණ්ඩලිකයන් විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලය

බොරු උපසාසකයන් ලෙස නොසිට ‍කන බොන මිනිසුන් බොහෝ විවෘත හදවත් ඇත්තන් ලෙස ඇතැම් පියවරුන් සැලකුව ද සමස්තයෙන් සියයට 21ක් ම තමන්ගේ දුවට මනාලයකු සොයන්නේ රා අරක්කු කටේවත් නොතියනවා නම් හොඳයි කියන මතයේ සිට ය. ඒ කොහොම වුණත් විනෝදකාමී ලෙස ජීවත්වන තරුණයකු තෝරාගැනීමෙන් තම දුවට ද සතුටින් ජීවත්වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තාත්තලාගේ මතයයි. එහෙත් කොයිදේටත් සීමාවක් තිබිය යුතු අතර තම ආර්ථිකයට ගැළපෙන අයුරින් විනෝද වීම අනිවාර්ය බව ද දුර දක්නා පියවරු කියති. සමාජශීලී තරුණන්ට, උකටලී, ඔතෑනි අයට වඩා කවුරුත් කැමතිය. ඒ නිසා සීමාවක් ඇතුව විනෝදෙන් සිටීම ගැන සියලු පියවරු කැමැත්තක් දක්වති. විනෝදයෙන් සිටින්නට කොපමණ උත්සහ කළත් එහිදී තම පෙම්වතියගේ නැතහොත් බිරියගේ ආරක්ෂාව තහවුරු වන මට්ටමින් හැසිරීමත් අත්‍යවශ්‍ය බව ද අප්පච්චිලාගේ අවධාරණයයි. ඒ සඳහා සටන් කලාවක් වුවත් ඉගෙන ගැනීම සුදුසු යැයි සියයට 17ක් පමණ පියවරු විශ්වාස කරති. එය සෞඛ්‍යයට හොඳ වුවත් නිසි පෞරුෂයකින් හෙබි තරුණයකුට තමන්ගේ ඇඹණිය රැකගැනීමට අමුතුවෙන් සටන් කලාවක් ඉගෙන ගැනීම අවශ්‍ය නැති බව ද අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීමට බුද්ධිමත් බව වැදගත් යැයි ද අනෙක් පියවරුන්ගේ මතයයි. එසේ තමන්ට ආරක්ෂාව රැකවරණය ලබා දිය හැකි තරුණයකු ආදර සම්බන්ධයකින් සොයා ගන්නවා නම් කමක් නැතැයි සිතන පියවරුන් සියයට 87ක් පමණ සිටිති. ඔවුන් එසේ පවසන්නේ තමන්ගේ දුහිතෘව ගැන, ඇයගේ බුද්ධි මට්ටම ගැන තමන් සතු විශ්වාසය පරදුවට තබමිනි. එහෙත් පවුලට ගැළපෙන දුවට ගැළපෙන මනාලයකු සොයාදීම තම වගකීමක් ලෙස සලකන පියවරුන් ද නැත්තේ නොවේ. ඔවුන්ට ද දැඩි තීරණයක් ගත නොහැකි මට්ටමින් දෝණියගේ කැමැත්ත වෙන කුමරකු වෙත ගියහොත් එයට අකමැත්තෙන් හෝ කැමැති වන්නට ද සිදුවනු ඇති බව ඔවුහු දනිති. එසේම ආදර සම්බන්ධයකට විරුද්ධ නූනත් විවාහයෙන් පසු හෝ දුව දුක් විඳිනවා දුටුව හොත් දැඩි තීරණයක් ගන්නා බව සියයට 33ක් පියවරුන්ගේ අධිෂ්ඨානයයි. දෙදෙනකුට එකිනෙකා ගැන කැමැත්තක් ඇති වන්නේ කේන්දරවල මොකක් හෝ ගැළපීමක් තිබෙන නිසා විය යුතු බව බොහෝ පියවරුන්ගේ මතයයි. සමහරු කීවේ අපේ සංස්කෘතිය අනුව නැකත් මුවහත් ඉටුකළ යුතු නිසා කේන්දරය ද සැලකීම වැදගත් බවයි. ‍ෙමානවා නැතත් පොරොන්දම් නම් ගැළපිය යුතුමයි කියන මතයේ සිටින්නේ සියයට 28ක් පමණ පියවරුන් පිරිසකි. හොඳ ගැළපීමක් ඇතිව තම දියණිය සමඟ සබඳතාවක් අරඹන තරුණයකු පෙම්වතුන් ලෙස මෙන්ම අඹුසැමියන් ලෙස ද දියණියගේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරනු ඇතැයි තාත්තලාගේ විශ්වාසයයි. උගත් බුද්ධිමත් වැදගත් අය අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගන්නට තරම් අවිචාරවත් නොවනු ඇති බවට ද මතයක් ඔවුන් අතර පවතී. එසේ දෙදෙනා ඔවුනොවුන්ට ගරු කරනවා නම් සම සමව අදහස් හුවමාරු කර ගැනීමටත්, තීරණ ගැනීමට හැකිවන අතර එවැනි පවුල් ජීවිතයක් සාර්ථක වනු ඇති බව ද දියණියන් සිටින පියවරුන්ගේ සිතිවිල්ලයි. දියණිය තමන්ගේ වුවද පවුලක පිරිමියා ඉදිරියෙන් සිටිය යුතු බව ද එනිසා තම දියණිය වුවත් විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ මතයට අවනත විය යුතු බව ද පවසන පියවරු, සියයට 16ක් සිටිති. කවුරු ප්‍රමුඛව තීරණ ගත්තත් ලැබෙන බෑනා තමන්ගේම ලෙයින් උපන් පුතකු සේ ඇසුරු කරන්නට ලැබීම වාසනාවක් බවයි පියවරුනගේ ප්‍රාර්ථනාව වන්නේ. වයසට යන විට තමන්ට සැලකුවත් නැතත් බෑනණ්ඩියා ඔහුගේ මවුපියන්ට සැලකිය යුතු බව පවසන පියවරු කියන්නේ එසේ තම මව පියා ගැන හැඟීමක් අැති පුතුන් අන් අයට ද කරුණාවන්ත පුරුෂයන් වන බවය. තමන්ට සැලකුවත් නැතත් තාත්තලාගේ පණට සමාන දූවරු තමන්ගෙන් ඈත් වේ යැයි බියක් බොහෝ පියවරුන්ට පවතින බව නම් සමීක්ෂණයෙන් හෙළි විය. සියලු උත්සාහයන් යොදා හරි හම්බකරගත් දෙයින් දූවරුන්ට අහල පහලින්ම ගෙවල් දෙරවල් තනා දීමට ද ඇතැම් පියවරු පියවර ගෙන ඇත්තේ ද ඒ නිසාය. දරුවන්ගේ නිදහස වෙනුවෙන් කුමන වේදනාවක් හෝ විඳ දරා ගත හැකි වුවත් ඇහිපිල්ලමේ තබාගෙන හැදූ වැඩූ පුංචි පැටික්කිය කුල කුමරියක් වී අලුත් කුඩුවකට ගිය ද පේන මානයේ හෝ රැ‍ඳෙනවා නම් ඒ තරම් සතුටක් පියකුට තවත් නැතැයි සෑම පියකුම කීවේ හැඟුම්බර හඬකිනි. අරුණි මුතුමලී උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article