ලෝභකමයි මසුරුකමයි කියන්නෙ එකක් නෙවෙයි දෙකක්
"ඒ මිනිහා කුණු ලෝභයෙක්"
"රුපියලක් වියදම් කරන්නේ හරියට ඇඟෙන් ඇටයක් ගියා වගෙයි"
"ඔහොම ලෝභකම් කරලා කාට හම්බ කරනවාද මන්ද."
"ලෝභකමෙත් සීමාවක් තියෙන්ඩ එපැයි."
ඔබ සමහරුන් ගැන ඔය විදියට අවඥාවෙන් කතා කරනවා ඇති. ලෝභකම හොඳ දෙයක් නොවෙයි කියලා ඔබ හිතනවා නොවේද? එහෙත් ඔබ ඔබේ දේවලට ලෝභ නැතිදැයි ඔබම සිතා බලන්න. ඔබ මුදල් වැය කිරීමට ඇඳුම් පැළඳුම්වලට ආහාර පාන ගැනීමට ආදි බොහෝ දේවලට ලෝභ බව හදවතට එකඟව කිව හැකියි. එහෙම ලෝභ නොවී නැති නාස්ති කරන්න අප කාටවත් බැහැ.
සීමිත ධනය අසීමිත අවශ්‍යතාවලට වැය කරන විට බොහොම පරිස්සම් විය යුතුයි. දෙවරක් නොව එයට වඩා වාර ගණනක් සිතා බැලිය යුතු වෙනවා. එහෙම නැතිනම් එක යන තැනට දෙක ආදි වශයෙන් නිස්කාරණේ වියදම් වේවී. අපි මුදල් හරි හම්බ කරන්නේ දේපළ, භාණ්ඩ ආදිය ළඟා කරගන්නේ දැඩි උත්සාහයකින්. විශාල කැපවීමකින්. එහෙත් එසේ උපයන දේවල් වැඩිදුර සිතන්නේ නැතුව වැය කරනවාද? මාසයට ඔබට ලැඛෙන වැටුප සතියකින් වියදම් කළොත් ඔබටත් ඔබේ පවුලටත් මාසයේ සති තුනක්ම කුසගින්නේ සිටින්න සිදුවෙනවා නියතයි.
එසේ නැතිනම් ආසන්න නිවෙසක මංගල සාදයකට සහභාගි වීමට ඔබගේ බිරියට වටිනා සාරියක් මිලදී ගැනීමට ඔබ මාසයේ මුළු වැටුපම වැය කළ යුතුද? එසේත් නොවේ නම් නිවාඩු කාලයේ ඔබගේ දරු පවුල රැගෙන නුවරඑළියේ විනෝද චාරිකාවක යාමට ඔබට බලපෑම් කළහොත් ඔබ ගත යුත්තේ කුමන පියවරක්ද?
මෙවැනි අවස්ථාවක් ඔබ ප්‍රතික්ෂේප කළහොත් ඔබ කුණු ලෝභයකු වශයෙන් හැඳින්වීම කොතරම් දුරට සාධාරණදැයි සිතා බැලීම සුදුසුයි. යමෙකුට ලැඛෙන ආදායම සැලසුම් සහගතව වැය නොකර, හෙට ගැන නොසලකා නැති නාස්ති කළහොත් අත්වන ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එසේනම් යමෙකු තම මුදල පිරිමසා ගෙන අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් වැය කිරීම නිසා ඔහු ලෝභයකු වන්නේ නැහැ.
අරපරෙස්සම අපට අවශ්‍යම ගුණාංගයක්. හෙට ගැන නොසිතා අද ලැඛෙන දෙය නැති නාස්ති කළහොත් අනාගතයක් නැතිවේවි. ඔබේ මුදල් වැය කිරීමේ සම්පූර්ණ අයිතිය ඔබ සතුයි. කොතැනට වියදම් කරනවාද? ඒ කොපමණ ප්‍රමාණයක්ද? මොන අවස්ථාවේදීද කියා තීරණය කිරීම වැදගත්. අල්ලපු ගෙදර අය නිවෙසට වටිනා ගෘහ භාණ්ඩ කට්ටලයක් ගෙනා විට තමන්ටත් එවැන්නක් ලබාදෙන ලෙස ඉල්ලන බිරින්දන් සිටිනවා. එයාට පුළුවන් නම් අපිට බැරි මොකද? ඒ අයට සෙකන්ඩ් නොවෙන්න අපිත් කොහොම හරි එය කළ යුතුයි. මෙහෙම බිරියන් සනසන්න ඔබ ණය වෙලා හෝ කුලී සින්නක්කර ගැනුම් ක්‍රමයට (ෆිනෑන්ස්) ගෘහ භාණ්ඩ කට්ටලයක් ගෙනාවොත් කරවටක් ගිලී සිටින ඔබ තවත් අමාරුවේ වැටේවි. මුදල් ගෙවන්න බැරි වුණොත් එය සමාගමෙන් ආපසු රැගෙන යාවි. අන්තිමට වියදම් කළ මුදලත් නැහැ. භාණ්ඩයත් නැහැ. ඉතිරි වෙන්නේ පාරෙ යන්න බැරි තරමේ ලැජ්ජාව පමණයි.
එහෙත් මසුරුකම එයට වෙනස්. මසුරුකම කියන්නේ තිබියදී වැය නොකිරීමයි. ඔබට හොඳට කාල බිලා ඇඳලා
පැළඳලා සැපවත් ජීවිතයක් ගත කරන්නට අවස්ථාව තිබියදී එසේ නොකරනවා නම් ඔබ මසුරෙක්. බෞද්ධ සාහිත්‍යයේ එන මට්ටකුණ්ඩලී කතාව මෙයට හොඳ නිදසුනක්. ඒ සිටුතුමා තම දරුවාට ඛෙහෙත් රැගෙන දීමට මුදල් වැයවන බව සිතා ඔහුට ප්‍රතිකාර කිරීමට දොස්තරෙකු ළඟට රැගෙන ගියේ නැහැ. අහල පහළ අයගෙන් එවැනි රෝගයකට දිය යුතු ඛෙහෙත් ගැන විපරම් කරලා ඛෙහෙත් කළා.
මෙන්න මෙවැනි අයට තමා මසුරෙක් යැයි කියන්නේ. ඇති හැකි කම තිබියදී වැය නොකිරීමයි වරද? එහෙම අය අපේ සමාජයේ ඉන්නවා. සල්ලි තියාගෙන හරියට කන්නේ බොන්නේ නැති, අඳින්නේ පළඳින්නේ නැති සැප පහසු ලෙස ජීවත් නොවන තම දරු පවුලට නොසලකන නරුමයන් අනන්තවත් ඉන්නවා. ඒ අය ලෝභයන් නොවේ. මසුරු අයයි. ඒ නිසා අප සිතාගත යුත්තේ ලෝභකම හා මසුරුකම කියන්නේ එකක් නොවෙයි දෙකක් බව. ඔබ ලෝභයකු වූවාට කවදාවත් මසුරකු වෙන්න නම් එපා.
යසවර්ධන රුද්රිගු
උපුටා ගැනීම ලක්බිම පුවත් පත