Biz Log
Classifields
Biz Log
Classifields

නිවාස ඉදි කිරීමට විද්‍යාත්මක මඟපෙන්වීමක්

සුරක්ෂිත නි‍ෙවසක්, කඩිනම් සංවර්ධන වැඩ කටයුත්තක් ඇරඹීමට පෙර සුබ නැකත්, සුබ වේලාවන් බැලීමට අප දක්වන උනන්දුවටත්, අවධානයටත් වඩා වැඩි අවධානයක් ඉදිරියේදී මෙම කටයුතුවලට පාරිසරික හානි සිදු වන්නේ නැද්ද? යන්න පිළිබඳ සොයා බැලීම අද දවසේ ඉතා වැදගත් වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. පස් කඳු කඩාවැටීම්, නායයෑම්, ගොඩනැඟිලි ගිලා බැසීම් වැනි අවාසනාවන්ත සිදුවීම්වලින් තොර සුරක්ෂිත ඉදිකිරීමක් කළ යුත්තේ කෙසේදැයි පාරිසරික හා විද්‍යාත්මක මඟපෙන්වීම් ලබාදෙන රජයේ නිල ආයතනය වන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ මෙහෙවර, අනාගත ඉලක්ක පැහැදිලි කරමින් ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා අප සමඟ කළ සංවාදයේ සටහනයි.

පාරිසරික හානි හා පීඩා අවම වන අයුරින් යම් ඉදිකිරීමක් කරගැනීමට ජනතාවට විද්‍යාත්මකව මඟ පෙන්වීම් දෙන ඔබ සංවිධානයේ ආරම්භය ඉතිහාස කථාව කෙටියෙන් පැහැදිලි කළ හැකි ද?

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ආරම්භ වන්නේ මීට අවුරුදු 40 කලින්. එදා ගම් උදාව සංකල්පය ක්‍රියාත්මක කළ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා විසින් මේ සංවිධානය ආරම්භ කළේ මූලිකවම ගම් උදාව වැඩපිළිවෙළ යටතේ සිදු කළ ගොඩනැඟිලි ඉදිකිරීම් වලට ඒවා සිදු කළ යුත්තේ කෙසේදැයි විද්‍යාත්මකව මඟ පෙන්වීම් දීමටයි. ආරම්භයේදී මෙහි කාර්යභාරය එයයි.

ඉන් ඇරඹි ඔබ ආයතනයේ ගමන්මඟ පුළුල් වීමක් සිදු වූයේ කෙසේ ද?

නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් විද්‍යාත්මක මඟපෙන්වීම් ලබාදීමට මුලින් අප ක්‍රියා කළත් පසුව මේ ආයතනයේ සේවා පුළුල් කිරීමට ක්‍රියා කළා. එහිදී අලුතින් අංශ කිහිපයක් බිහි වුණා. විශේෂයෙන් 1985-95 කාලයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය (UNDP) යටතේ අපේ රටේ නායයෑම් සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එහිදී විශේෂයෙන් අපේ රටේ නායයෑම් පිළිබඳව කරුණු අධ්‍යයනයක් සිදු කළා. මේ ඉහළ අවධානයක් යොමු කරමින් කළ කරුණු අධ්‍යයනය කිරීම්වලින් පස්සේ නායයෑම් සම්බන්ධයෙන් ප්‍රධානතම පුළුල්තම සොයාබැලීම් කළ ආයතනය බවට අප ආයතනය පත්වුණා. ඉන් පස්සේ මීට තවත් අංශ ගණනාවක් එකතු වුණා. විශේෂයෙන් තාක්ෂණික අංශ ගණනාවක් මීට ඇතුළත් වුණා. භූ තාක්ෂණික අංශය, ඉංජිනේරු අංශය, ගොඩනැඟිලි ද්‍රව්‍ය පර්යේෂණ අංශය, මහා පරිමාණ නායයෑම් වැළැක්වීම සඳහා වූ ව්‍යුහාත්මක සැලසුම්කරණ හා ව්‍යාපෘති කළමනාකරණය, පරිසර අංශය, ජල දූෂණය, වායු දූෂණය වැළැක්වීම් පිළිබඳ සොයා බලන අංශ එකතු වුණා.

මේ අන්දමට නව අංශ එක් වෙමින් පුළුල් ජනතා මෙහෙවරකට මුලපිරූ ඔබ ආයතනය අද දවසේ ඉහළ අවධානයක් යොමු කර තිබෙන්නේ මානව ජනාවාස කළමනාකරණය දෙයටයි. ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

ඔව්. ඔබ පවසන ආකාරයට අපි අපේ කාර්යභාරය පුළුල් කර ගන්නා අතරම ආයතනයට එක් වූ නව අංශයක් ලෙස යහපත් ආකාරයට විද්‍යාත්මක පදනමක් මත භූමිය, පරිසරය ආරක්ෂා කරමින් මානව ජනාවාස කළමනාකරණය කර ගනිමින් ඉදිකිරීමට ජනතාවට මඟ පෙන්වීම් ලබා දෙමින් ඉන්නේ. තාක්ෂණික විසඳුම් ලබාදෙමින් හැකි තරම් පස් කඳු කඩානොවැටී, නායයෑම් සිදු නොවී රටේ ජනතාවට සුරක්ෂිත නිවාසයක් ඉදිකර ගැනීමට මඟ‍පෙන්වීම අපේ එක් අරමුණක්.

ඔබ ආයතනයට ඒ සඳහා වූ සංවිධානාත්මක පරිපාලනමය හැකියාව සම්පත් දැනුම තිබෙනවා. ඒ ගැන සැකයක් නැහැ. ඒ පිළිබඳව යමක් කිව හැකි ද?

ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. ඔව්. ආයතනයට මේ විෂය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත තිබෙනවා. අප සමඟ ලෝකයේ දියුණුම රටවල මේ විෂය ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන විද්‍යාඥයන්, විශේෂඥයන්, දැනුම, තාක්ෂණය සහ ආයතන එකතු වී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, නෝර්වේ, චීනයේ, ‍ඔස්ට්‍රේලියාවේ, ජපානයේ, ඉන්දියාවේ හා ලෝකයේ තවත් ඉහළ දැනුම් සම්භාරයක් තිබෙන රටවල මානව සම්පත සමඟ අප ආයතනය වරින් වර සම්බන්ධ වී වැඩ කටයුතු කරනවා. අපේ විශේෂඥයින්ගේ භූ විද්‍යාඥයින්ගේ දැනුම වැඩි කර ගන්නවා. පිටරට විශ්වවිද්‍යාල, දේශීය විශ්වවිද්‍යාල හා පාසල් මට්ටමේ ආයතන සමඟ පවා අප එක්ව වැඩ කරනවා. අපේ ආයතනය දැනට ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි ක්‍රියාත්මක වන්නේ. දැනට අපේ ආයතනයේ භූ විද්‍යාඥයින්, ඉංජිනේරුවරුන්, නගර සැලසුම් ශිල්පීන් ප්‍රධාන විවිධ අංශ විද්‍යාඥයින් 180ක් පමණ සේවය කරනවා. සමස්ත කාර්ය මණ්ඩලය 450ක් වෙනවා. දිස්ත්‍රික්ක සෑම එකකටම අපේ නියෝජිත සේවා ලබාදීමක් සිදු කරන ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඉහළ සේවාවක් ජනතාවට දෙමින් ඉන්නේ.

ප්‍රධාන වශයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් සිදු කරන සේවා මොනවා ද?

අපේ කාර්යභාරය වඩාත් සුරක්ෂිත නිවසක් සුරක්ෂිත සංවර්ධන කටයුත්තක් සිදු කර ගැනීමට ජනතාවට විද්‍යාත්මක සහාය ලබාදීමයි. ඒ අනුව අප ස්වාභාවික විපත් අවම කර ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක මඟපෙන්වීම් ජනතාවට ලබාදෙනවා. පස් කඳු කඩාවැටීම්, නාය යෑම්, ගිලාබැසීම් වැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති නොවී නිවසක් ඉදි කිරීමට භූමිය පාවිච්චි කළ යුත්තේ කෙසේදැයි ජනතාවට පහදාදීම සහ මාර්ගෝපදේශනය අප සිදු කරනවා. ඊට අමතර නායයෑම් සිදුවේ යැයි හැඳින ගත් ප්‍රදේශ, භූමි සිතියම්ගත කිරීම සිදු කරනවා. එවැනි ස්ථානවල යම් ඉදිකිරීමක් කර ඇත්නම් ඒවායින් ජනතාව ඉවත් කිරීමට අදාළ අංශවලට උපදෙස් දෙනවා.

පස් කඳු කඩාවැටීම්, නායයෑම්, ගිලා බැසීම් කල්තබා හඳුනා නොගෙන දැනට ජනතාව සිදු කර ඇති සංවර්ධන කටයුතු තිබෙනවා. ඒවා පාරිසරික බලපෑම් නිසා අනතුරට පත්වන අවස්ථා අප දැක තිබෙනවා. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති වූ විට හා ඇති නොවීමට ඔබ ආයතනය වග බලා ගන්නේ කොහොම ද?

මුලින්ම අප යම් පාරිසරික ආපදාවක් සිදු වී විපතටපත් වූවන්ගේ අවදානම තක්සේරු කරනවා. සමහර විට ඔබ කියූ ආකාරයේ විපත් නිසා අවදානමට ලක් වන පිරිස් අසරණ වෙන අවස්ථා තිබෙනවා. අපි ඒ අයගේ විපත් පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කර එය පිළිබඳව තක්සේරුවක් කරනවා. සමහර කඳු ආශ්‍රිත නිවාස ඉදි කර සිටින පිරිස් නායයෑමට ලක් වීමේ ඉහළ අවදානමක් අධි අවදානමක් තිබෙන්නට පුළුවන්. සමහර හානි වූ තැන් අවදානම සාමාන්‍ය හා සුළු අවදානමක් වෙන්න පුළුවන්. අපි මේ අවදානම් 'අධි අවදානම්' 'අවදානම්' හා 'සුළු අවදානම්' ලෙස වර්ගීකරණය කරනවා. එලෙස වර්ගීකරණය කර අවශ්‍ය ආකාරයට එය මඟහරවා ගැනීමට මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දෙනවා. මේවා අනුගමනය කොට කටයුතු කිරීම පොදු මහජනතාවගේ කටයුත්තක්. ඔවුන් මීට ධනාත්මකව ප්‍රතිචාර දැක්විය යුතුයි.

ඇතැම් විට අධි අවදානම් බිමක නිවාසයක් ඉදි කරගෙන යන අයෙකු සිටියහොත් ඔබ ආයතනය කරන්නේ කුමක් ද?

ඔව්. ඒ අවස්ථාවේ අපි මුලින්ම ඒ අය හඳුනාගෙන එම භූමියෙන් ඔවුන් ඉවත් කිරීම සිදු කරනවා. අපි මුලින්ම වසර 2016 දී අරණායක සාමසර කන්දේ නායයෑමෙන් පසු විශාල පිරිසකට නිවාස ඉදිකර දී එම ප්‍රදේශයෙන් ඔවුන් ආරක්ෂිත නිවාස කරා යොමු කළා. ඒවාගේ දැනට ලංකාවේ අධි අවදානම් කලාපවලින් ආරක්ෂිතව ඉවත් කළ ජනතාවට නිවාස 12000ක් ලබාදීමට අපි පියවර ගනිමින් ඉන්නේ. මෙවැනි අධි අවදානම් භූමියක ඉන්න අයෙකුට පවුලකට ආරක්ෂිත තැනක ඉඩමක් මිළදී ගැනීමට මුදල් ප්‍රදානයක් ලබා දෙනවා.

අධි අවදානම් බහුල කඳුකර ප්‍රදේශ හා දිස්ත්‍රික්ක ඔබ දැනටමත් හඳුනාගෙන තිබෙනවාද? එසේ නම් ඒ දිස්ත්‍රික්ක ප්‍රධාන වශයෙන් මොනවා ද?

ඔව්. අපි නායයෑම් හා ගංවතුර අවදානම් ඇති දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන තිබෙනවා. කෑගල්ල, රත්නපුරය, මාතලේ, නුවරඑළිය, මහනුවර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල දිස්ත්‍රික්කවල නායයෑම් පස් කඳු කඩාවැටීම් බහුලව සිදු වෙනවා. ඒ නිසා අපි ඒ දිස්ත්‍රික්ක පිළිබඳව ඉහළ අවධානයක් යොමු කර සේවා ලබා දෙනවා.

ඔබ ආයතනයේ සේවා ලබාගත හැක්කේ කෙසේ ද?

යම් පීඩාකාරී පාරිසරික තත්ත්වයක් සිදු වූ විට ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කොට ඉන් පසුව ඒ හරහා අපගේ දිස්ත්‍රික් කාර්යාලවලට වාර්තා කිරීමක් සිදුවීමත් සමඟ අපේ සේවා ලබාදීම සිදු කරනවා.

'අවදානමට පෙර සූදානම' වඩාත් හොඳ පිළිවෙතයි. ඒ අනුව යම් දවසක පාරිසරික හානියක් සිදු නොවී ජනතාවගේ ජීවිත දේපොළ ආරක්ෂාව වැඩි කර ගැනීමට ක්‍රමවේදයක් කලින් සකස් කර තිබීම වැදගත් නේද?

අනිවාර්යයෙන්ම ඔව්. එවැනි කල්තියා අනතුර හඳුනාගෙන තිබීම ඉන් බේරීමට ක්‍රියා කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒ නිසාම අපි ආයතනයක් ලෙස මේ නායයෑම්, පස් කඳු කඩාවැටීම් ඇතුළු ස්වාභාවික ආපදා ඇතිවීම් වැළැක්වීමේ අගය ජනතාවට කියාදීමට පියවර ගනිමින් ඉන්නේ.

ඒ සදහා ඔබ ආයතනය සිදු කරන විශේෂ වැඩසටහන් මොනවා ද?

ඔව්. අපි පාසල් මට්ටමින් දූ දරුවන්ට මේ අවදානම් තත්ත්වයන් ගැන දැනුම්වත් කිරීමක් සිදු කරනවා. අප පාසල් විෂය නිර්දේශයට ස්වාභාවික ආපදා වැළැක්වීම ගැන කියාදීමට පාඩම් ඇතුළත් කර තිබෙනවා. කාර්මික විදුහල්වල පවා මේ ගැන ඉගැන්වීම් සිදු කරනවා. ඊට අමතරව මේ විෂය පිළිබඳව ගැඹුරින් විශ්වවිද්‍යාලවලදී ඉගෙනගැනීමට පාඨමාලා පවා හඳුන්වා දී තිබෙනවා. රටේ මහජනතාව නිතරම ආරක්ෂිත බිමක පදිංචි කර ගැනීමට කටයුතු කළ යුතු යැයි බලධාරීන්ට මඟ පෙන්වීම් උපදෙස් දෙනවා. පරිසරය විනාශ කරන ක්‍රියාමාර්ග ගන්න එපා කියා විවිධ අවස්ථාවල ජනමාධ්‍ය හා විවිධ සම්මන්ත්‍රණ දේශන වැඩමුළු පවත්වමින් ජනතාව දැනුම්වත් කිරීමට අප කටයුතු කරනවා.

ජනතාව යම් නි‍ෙවසක් සංවර්ධන කටයුත්තක් ආරම්භ කිරීමට පෙර ඔබ ආයතනයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කොට තිබෙනවාද?

ඔව්. යම් නි‍ෙවසක්, සංවර්ධන කටයුත්තක් ආරම්භ කිරීමට පෙර රජයේ ආයතන ගණනාවකින් අනුමැතිය ලබාගත යුතු වෙනවා. ඒ අතර යම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට බලාපොරොත්තු වන භූමියේ ගැටලුවක් ආපදාවක් සිදු නොවන බවට අපගේ විශේෂඥ දැනුම තිබෙන නිලධාරීන් ලබාදෙන අනුමැතිය තිබීම අනිවාර්ය කර තිබෙනවා. මේ අනුමැතිය ලබාගැනීමට ජනතාව උනන්දු විය යුතුයි. යම් නි‍ෙවසක් සංවර්ධන කටයුත්තක් ඇරඹීමට පෙර සුබ නැකැත්, සුබ වේලාවන් බලවාටත් වඩා වැඩි අවධානයකින් කඳු කඩාවැටීම්, නායයෑම් සිදු නොවන්නේ දැයි සොයා බැලීම ඉතා වටිනවා.

ඔබ ආයතනය යම් කිසි මාර්ගෝපදේශනයක් යමෙකුට ලබා දුන් විට ඒවා නොසලකා ඉදිකිරීම් සිදු ‍කළ හොත් ඊට එරෙහිව කළ හැක්කේ කුමක් ද?

ඇත්ත වශයෙන්ම අප ජනතාවට මඟ කියා දෙන්නේ ඉතාම සුරක්ෂිත නිවසක් ඉදි කර ගැනීමටයි. ඒවා ක්‍රියාත්මක නොකර අවදානම්කාරී බිමක අවදානම ගණන් නොගෙන ඉදිකිරීම සිදු කළ හොත් විපතක් සිදු වූ විට හඬා වැටීමට සිදු වන්නේ ඔවුන්ටමයි. ඒ බව හොඳින් මහජනතාව සිතට ගත යුතුයි. නීති මඟින් පමණක් මේ ප්‍රශ්නයට විසඳුම් දිය නොහැකියි.

රටේ අනවසර අවිධිමත් හා අනාරක්ෂිත ඉදිකිරීම් රාශියක් සිදු වෙනවා. ඒවා වැළැක්වීමට බලය ලත් ආයතනය වන ඔබ ආයතනයේ නීතිමය බලතල ඉහළ දැමිය යුතුයි නේද?

ඔව්. එය අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. ඒ අනුව ඉතා ඉක්මනින් අප ආයතනයට දැනටත් වඩා නීතිමය බලතල හිමි වන පනතක් ගෙන ඒමට පියවර ගනිමින් ඉන්නේ. ඒ පනත මඟින් අපේ බලතල වැඩිවීමක් සිදු වෙනවා. ඒ හරහාත් දැනට වඩා ඉහළ ජනතා මෙහෙවරක් ඉටු කිරීමටයි අප සූදානම් වෙන්නේ.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස
උපුටා ගැනීම දිනමිණ

Share This Article