උද්‍යාන අලංකරණයට කෙටි පියවර නවයක්
සුන්දර ගෙවත්තක්, එහෙමත් නැත්නම් තමන්ගේම සුන්දර උද්‍යානයක අසිරිය විඳින්න අකමැති කවුද? මේ මිහිමඩල යට එවන් පුද්ගලයන් ඇතැයි අනුමාන කරන්නටත් අපහසුයි. නිහඬ නිසංසල පරිසරයක හුදෙකලා වන්නට, සොඳුරු උද්‍යානයක සිරි දිනපතා අත්විඳින්න කෙතරම් ආසා වුණත්, තරගකාරී ලෝකයේ කාලය හරස්වන්නේ අනෙකුත් දහසක් වැඩ කටයුතු සමඟයි. ඒත් මේ කාර්යබහුල දින චර්යාව මධ්‍යයේ පරිසර සිරි විඳින්නට රුචිකත්වයක් දක්වන, පරිසරයට ආදරය කරන ඔබට, ඔබ කැමැති ආකාරයේ ගෙවත්තක්, උද්‍යානයක් ඉතා පුංචියට නිර්මාණය කරගන්නට බැරිකමකුත් නෑ. එසේ වුවහොත්, කාර්ය බහුල දිනයක වුණත්, සන්ධ්‍යා යාමයේ පරිසරයේ සිසිලසට මැදිවී, එහි චමත්කාරය අත්විඳීමට හැකියාව ලැබේවි. අපට ලැබී තිබෙන සීමිත ඉඩකඩ ප්‍රමාණය තුළ වුණත් , සෞන්දර්යාත්මක අගය වැඩිවන අන්දමට, අලුතෙන්ම උද්‍යානයක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන පරිසර හිතකාමීන්ට, මේ අදහස් ප්‍රයෝජනවත් වේවි.
ජීවත් වන ප්‍රදේශය අනුව වවන ශාක තෝරා ගන්න.
ශ්‍රී ලංකාවේ දේශගුණය විවිධ පළාතෙන් පළාතට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් . උදාහරණ වශයෙන් ගත්කල නුවරඑළිය, වැලිමඩ වැනි සීතල දේශගුණය සහිත පළාත්වල වැවෙන ශාක, හම්බන්තොට, කතරගම, ඇඹිලිපිටිය වැනි පහතරට ප්‍රදේශවලට සුදුසු වන්නේ නෑ. මේ නිසා උද්‍යානයක හෝ ගෙවත්තක වගා කටයුතු ආරම්භ කිරීමට පෙර, ප්‍රදේශයේ පවතින දේශගුණය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් ම වැදගත්. එළවළු, පලතුරු ආදිය පමණක් නෙමෙයි, මල් වර්ග වගා කිරීමේදී ද මෙය එක ලෙස වැදගත්.
හැකියා තේරුම් ගන්න.
අලුතෙන්ම උද්‍යානයක් ආරම්භ කිරීමට පෙර තමාට තිබෙන හැකියා මොනවාද, තමා වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ කුමන දේ වගා කිරීමටද? යන්න විමසා බැලිය යුතුයි. කෙනෙක් මල් වැවීමට ඉතා රුචිකත්වයක් දක්වද්දී, එම ප්‍රදේශයේම ජීවත්වන තවත් අයෙක් මල් වැවීමට වඩා එළවළු වගා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා විය හැකි යි. ඕනෑම කටයුත්තකට මෙන් වගා කටයුත්තක් ද සාර්ථක වන්නේ, හැකියාව හා උනන්දුව යන දෙකම එකතු වූ විටයි. මේ නිසා අලුතෙන් ම උද්‍යානයක් ආරම්භ කරන විට තමාගේ අරමුණ ගැන වගේම, හැකියාව ගැනත් විමසිලිමත් විය යුතුයි. අලංකාරයට පමණක් නෙමෙයි, ආර්ථික වාසි ගැන සලකා බැලීමේදීත් මෙය වැදගත්. විසිතුරු මල් පැළ වගාවෙන් ඇතැමෙක් ලාභ ලබද්දී, ඇතැමෙකුට ඊට වඩා එළවළු වගාව පල ප්‍රයෝජනයක් ගෙන දෙන වගාවක් වෙන්නේ ඒ නිසයි.
භූමියේ පස් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න.
පිහිටි භූමියේ තිබෙන පස් වර්ගය පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාම වැදගත්. බොහෝ විට උද්‍යානයක ශාක සිටුවීමෙන් පස ආරක්ෂා වෙනවා. ඒ වගේම විවිධ වගා කටයුතු සඳහා අවශ්‍ය කරන පස් සංයුතිය වගාවෙන් වගාවට වෙනස්. එම නිසා වගාවක් ආරම්භ කිරීමට පෙර පසේ පීඑච් අගය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේ නිසා අලුතෙන්ම උද්‍යානයක් ආරම්භ කරන විට අදාළ භූමියේ පස් සාම්පලයක් කෘෂිකර්ම පර්යේෂණායතනයකට යවා පරීක්ෂා කර ගැනීම ඉතාමත් ම යෝග්‍යයි. පස් වර්ගය අනුව සිටුවන ශාක වර්ගද එකිනෙකට වෙනස් වෙනවා. උදාහරණ වශයෙන් එළවළු වගාව ගතහොත් විවිධ පළාත්වල පස අනුව වැවෙන එළවළු විවිධාකාරයි. ඒ අනුව කැරට්, තක්කාලි, ලීක්ස්, ගෝවා, බෝංචි, වැනි එළවළු බොහොමයක් සාර්ථකව වැවෙන්නේ වැලි මිශ්‍ර පසේ. මුරුංගා, පිපිඤ්ඤා, වට්ටක්කා, වැනි එළවළු, මිශ්‍ර පසේ වුණත් සරුවට වැවෙනවා. මෙයින් අදහස් කරන්නේ පහතරට ප්‍රදේශවල ගෙවත්තක , උඩරට වවන එළවළු වගාකළ නොහැකි බව නෙමෙයි. වගාවකට යෝග්‍ය ආකාරයේ පස් මිශ්‍රණ යොදාගෙන ඕනෑම වගාවක් කළ හැකි බවයි. උද්‍යානයක පස ආරක්ෂා කර නොගතහොත් පාංශු ඛාදනය සිදුවෙලා, කෙටි කලක් යනවිටම නිසරු පසක් සහිත භූමියක් බවට පත් වෙනවා. පායන කාලවලදී පස ආවරණය නොවී විවෘතව පවතින විට, ඉතා තද සුළං මඟින් පාංශු ඛාදනය සිදුවෙනවා. තණකොළ සිටුවීම සහ ශාක වැටි ඇති කිරීමෙන් සුළගේ වේගය පාලනය කළ හැකියි. වර්ෂා කාලයේදී පස සෝදා යාම ද මේ මඟින් පාලනය කරනවා.
සැලැස්මක් නිර්මාණය කරන්න.
උද්‍යානයක් සකස් කිරීමේදී එහි සැලැස්ම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීම වැදගත්. ශාක වගා කිරීමේදී පොළොවට සමාන්තර ශාඛා සහිත ගස් නිසා වැසි ජලය පොළොවට වැටෙන්නේ සෙමෙන්. මේ මඟින් බලාපොරොත්තු වෙන්නේ නිවෙස සමඟ බාහිර පරිසරය සම්බන්ධ කිරීමයි. සැලැස්මක් අනුව ගෙවත්තක් නැත්නම්, උද්‍යානයක් අලංකරණය කිරීමේදී ගැටලු මතුවන්න පුළුවන්. තෝරාගන්නා ශාකවලින් තරමක උසට වැඩෙන ශාක සිටුවිය යුත්තේ වැට මායිමට වන්නටයි. ඉඩමේ මායිමේ ගස් සිටුවා ආවරණ වැටවල් ඇති කිරීම සෙසු ශාකවලට හිරු එළිය ලබා ගැනීමේදී ඉතාමත්ම වැදගත්. එමෙන්ම ස්ථානුකූලව ශාක රෝපණය කිරීම අත්‍යාවශ්‍යයයි. ඉතා උස රූස්ස ගසක් ලෙසට වැඩෙන ශාකයක්, උද්‍යානය මධ්‍යයේ සිටුවීමෙන් සෙසු පැළවලට හිරු එළිය ලබා ගැනීමට අපහසු වෙනවා පමණක් නෙමෙයි, එමඟින් උද්‍යානයට පාළු බවක් එකතුවිය හැකියි. උද්‍යානයක් සැලසුම් කිරීමේදී ශාක අතර පරතරය තබමින් වගා කිරීම වැදගත් . අවුරුදු 2ක පමණ ආයු කාලයක් ඇති ශාක අතර පරතරය අවම වශයෙන් අඟල් 18 ක් වත් විය යුතුයි. එමෙන් ම ශාක තෝරා ගැනීමේදී විවිධ ස්ථර මට්ටම් අනුව වැවෙන ශාක වර්ග තෝරා ගැනීමෙන් සාර්ථක වර්ධනයක් ඉක්මනින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
පහසු පැළවලින් ආරම්භ කරන්න.
පළමු වරට උද්‍යානයක් සකස් කිරීමට සූදානම් වන අයෙක් නම්, ඔබ තෝරාගත යුත්තේ වගා කිරීමට පහසු, කෙටි කාලසීමාවක් තුළ වැවෙන පැළෑටි වර්ගයි. එළවළු වැනි දේ වගා කිරීමට පටන් අරගෙන දීර්ඝ කාලයක් යාමට මත්තෙන්, කෙටි කලක් තුළදී අස්වනු නෙළාගන්න පුළුවන්. මෙය ඔබේ උද්‍යානය තව දුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට රුකුලක් වේවි. උද්‍යානයක මල් වගා කරන විට සූරියකාන්ත වැනි මල් වර්ගයක් වගා කිරීමෙන් ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කාලය අපතේ නොයවමින් කෙටිකාලීන සාර්ථක ප්‍රතිඵල දකිනවිට උද්‍යානකරණය කෙරෙහි ඔබේ සිත තව තවත් ආශක්ත වේවි. දීර්ඝ කාලයක් ගතවී පල දරන ශාක මුලින්ම ඔබේ උද්‍යානයේ වැවීමට පටන් ගතහොත්, එහි ප්‍රතිඵල දැකීමට ඉතා දිගු කාලයක් ගතවන නිසා , එය මානසික වශයෙන් යම් උදාසිනත්වයක් , කම්මැලි බවක් ඇතිකරාවි. එම නිසා ලෙහෙසි වගේම පහසු ශාකවලින් මේ කාර්යය ආරම්භ කිරීම යෝග්‍යයි.
සටහන් පොතක් භාවිත කරන්න.
ඇතැම්විට ඔබ උද්‍යානකරණයට නවකයකු විය හැකියි. ගෙවත්ත ඇරැඹූ දවසේ සිට කළ සියලු ම ක්‍රියාකාරකම් සටහන් පොතක සටහන් කර ගැනීම , කෙදිනක හෝ නැවත ඔබටම ප්‍රයෝජනවත් වේවි. ඔබ පිට පළාත්වලින් ගෙනැවිත් පැළ කරන විවිධ ශාක වර්ග පොතක සටහන් කර තැබීම ඔබේ දැනුමට රුකුලක්.
දින දර්ශනයක් පාවිච්චි කරන්න.
වැසි සහ පායන කාල අනුව විවිධ ශාක පැළෑටිවල සිදුවන වෙනස්කම්, ශාකයක් මල්පල දැරීමට ගතවන කාලය, ශාකයක ආයු කාලය මේ සියල්ල දෙස සුපරීක්ෂාකාරී වන ඔබට, දින දර්ශනය පහසුවක්. විවිධ ශාක පල දරන්නේ අවුරුද්දේ විවිධ කාල වකවානුවලදීයි. ශාකවල සිදුවන මේ වෙනස්කම් අනුව ඒවා රැක ගැනීම වෙනුවෙන්, නියමිත කාල වකවානු තුළදී රිකිලි කපා දැමීම, පොහොර යෙදීම ආදි නියමිත වෙලාවටම කළයුතු දේ කිරීම සඳහා දින දර්ශනයක් පවත්වා ගැනීම යෝග්‍යයි.
ජල සැපයුම ක්‍රමානුකූලව කරන්න.
ශාකයක් වැවීමට ජලය අත්‍යවශ්‍ය මූලික සාධකයක් . එහෙත්, වගාකර ඇති පැළ වර්ගය අනුව යොදන ජල ප්‍රමාණ එකිනෙකට වෙනස්. වර්ධනය සඳහා වැඩිපුර ජලය අවශ්‍ය ශාක වර්ග තිබෙනවා. වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාක වර්ගත් තිබෙනවා. ශාකවලට ජලය ලබාදීමේදී මේ ශාකවල ජල අවශ්‍යතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. ඇතැම් ශාකවල මතුපිට පෘෂ්ඨයට වතුර වැඩි ප්‍රමාණයක් දැමූවිට මූල පද්ධතිය විනාශ වෙන්න පුළුවන්. එමෙන්ම ශාකවලට ජලය එකතු කිරීම සඳහා වඩාත්ම උචිත උදෑසන කාලයයි. අව්ව වැටෙන්නට පෙර උදෑසනින් ජලය දැමිය යුතු අතර, ඉර හැරුණු සවස් යාමයේ ශාකවලට වතුර එකතු කිරීමෙන් ඇතැම්විට දිලීර ආදී රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්.
ඉවසිලිවන්ත භාවය ඇතිකර ගන්න.
උද්‍යානකරණය මනා ඉවසීමෙන්, කැපවීමෙන් ප්‍රගුණ කළ යුතු භාවනාවක් වගේ ක්‍රියාවලියක්. ශාක පැළවීමට, මල් හට ගැනීමට, පල දැරීමට යම් කාලසීමාවක් ගතවෙනවා. ඒත් ඉක්මනින් පල ලබා ගැනීමට සිතා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර පොහොර, ජලය එකතු කිරීමෙන් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමේදී අවශ්‍යනම් ඔබට කෘෂිකර්ම පර්යේෂකයකුගෙන් ඒ ගැන උපදෙස් ලබාගෙන, ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. එසේ නැතිව ඉවසිලි වන්තභාවයකින් තොරව ඔබේ හිතුමනාපයට ශාකවලට පොහොර , ජලය ආදිය දැමීම සුදුසු වෙන්නේ නෑ.
නියමිත පරිදි උද්‍යානය නඩත්තු කරන්න.
උද්‍යානකරණය දිනයකින් දෙකකින් නතරවන ක්‍රියාවලියක් නෙමෙයි. නව තාක්ෂණය යටතේ බද්ධ කිරීම, ජානකරණය යටතේ නව පැළ වර්ග හඳුන්වා දීම වැනි විවිධ ක්‍රම මඟින් අලුත් අලුත් වර්ගවල පැළ දිනෙන් දින වෙළෙඳ පොළට පැමිණෙන්න පුළුවන්. මූලික වශයෙන් විනෝදාංශයක් ලෙස උද්‍යානය අලංකාර කිරීම පටන්ගත් ඔබට , ටික කාලයක් යනවිට එය මානසිකව තෘප්තියක් දෙන ක්‍රියාවලියක් වේවි. නියමිත පරිදි උද්‍යානය නඩත්තු කිරීමෙන්, එහි පල, අලංකාරය දැකීමෙන් තවදුරටත් ඔබ උද්‍යෝගිමත් වේවි. එමෙන් ම උද්‍යානයකරණය යනු දිනපතාම අනෙක් සියලු වැඩකටයුතු පසෙකලා වෙහෙසකාරීව කළ යුතු කාර්යයක් නෙමෙයි. ඒත් ඔබේ ගෙවත්තේ ශාකවල මල් පිපෙන දින වකවානු, පල දරන දින වකවානු, පොහොර යෙදු දින පිළිබඳ අවධානයෙන් සිටීම මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට පිටිවහලක් වෙනවා. එමෙන්ම කාලගුණය වෙනස් වන ආකාරය, ස්වභාවිකව දේශගුණික විපර්යාසවලදී කළ යුතු පිළිවෙත් ගැන ද අවධානය යොමු කිරීමෙන් ,ඔබේ උද්‍යානය සාර්ථක අන්දමින් ඉදිරියට පවත්වාගෙන යා හැකියි.
නුවන්ති උදටියවල
උපුටා ගැනීම දිණමින