සමේ වියපත් පෙනුම දුරලන කෙමිකල් පීලිං ප්‍රතිකාරය
තරුණ බව රැක ගන්නට අප කොතරම් උත්සාහ කළද වයස අවුරුදු තිස්පහ හතළිහ පමණ පසුවූ තැන් පටන් වියපත් බවේ ලක්ෂණ හට ගැනීම සාමාන්‍ය ස්වභාවයයි.
මෙම වියපත් බවේ ලක්ෂණ වයස අවුරුදු තිස්පහක් පමණ වූ මුල් අවධියේ මෙන්ම අවුරුදු හතලිස් පහක් හෝ පනහක් ඉක්ම ගිය පසුවද ආරම්භ වන පුද්ගලයෝ සිටිති. එලෙස වියපත් ඔබේ ලක්ෂණ පමාවීමට හෝ වඩා කලින් මතුවීමට බොහෝ විට හේතුවන්නේ ජානමය බලපෑමයි.
මේ ආකාරයට වයසට යෑමේ මුල්ම ලක්ෂණ මතුවන්නේ මුහුණේ හට ගන්නා සියුම් රැලි ලෙසය. මුහුනේ රැලි හට ගැනීම විශේෂයෙන් කාන්තාවන්ට දැඩි මානසික පීඩාවක් වන්නට හේතුවන් වන්නේ තමන් වයසට යෑම ආරම්භ වී ඇතැයි යන සිතුවිල්ලත් සමගය.
කාන්තාවන්ට මානසික පීඩාවක් බවට පත්වන මුහුණේ හට ගන්නා මෙම රැලි ස්වභාවය මෙන්ම කුරුලෑ සුවවීමෙන් ඉතිරි වූ වළ ගොඩැලි සහිත වූ රළු බවත් තුරන් කිරීමේ නවීන විද්‍යානුකූල ක්‍රම වේදයක් ප්‍රචලිත වෙමින් පවතී.
රැලි සහ ලප රසායනිකව ඉවත් කිරීම (Chemical Peeling) නමින් හැඳින්වෙන මෙම ක්‍රමවේදය මගින් සම මතුපිට හටගෙන ඇති පෙර කී වියපත් බවේ ලක්ෂණ රසායනික ක්‍රමයක් මගින් ඉවත් කිරීම සිදුවේ.
ඒ අනුව සමට හිතකර ආකාරයට සාන්ද්‍රණය කොටගත් රසායනයන් වියපත් ලක්ෂණ හටගෙන ඇති සම මත ආලේප කිරීම මගින් සමෙහි එම ස්වභාවය ඉවත් කිරීම සිදු කරයි.
මෙම ප්රතිකර්මය සිදු කිරීමට ගත වන්නේ පැය බාගයක් තරම් කෙටි කාලයක් වුවද මුහුණේ සම ඊට සූදානම් කරවීම සති හයකට පමණ පෙර පටන් සිදු කළ යුතුය. එමෙන්ම මෙය ඉතා පරිස්සමෙන් සිදුකළ යුතු වෛද්‍යමය කාර්යයක් බවද සිහිපත් කළ යුතුවේ.
සමෙහි වියපත් බවේ ලක්ෂණ හටගන්නට හේතු වන ප්‍රධාන කාරණයක් වන්නේ අපේ සමට යටින් ඇති කොලොජන් (Collogen) මදින් මද ක්ෂය වීමයි. කෙමිකල් පීලීං ප්රතිකර්මය මගින් සිදු වන්නේ ක්ෂය වෙමින් පවතින මෙම කොලොජන් නැවත වර්ධනය කරවීමයි. කොලොජන් ඒ ආකාරයට වර්ධනය වීමත් සමග සමෙහි හටගත් රැලි ස්වභාවයත් රළු බවත් තුරන් කරමින් සුමට හා ජීවයෙන් පිරි සමක් ලබා දෙනු ඇත.
උපදෙස් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ ගම්පහ මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණා දිසානායක
උත්පලා සුභාෂිනී ජයසේකර