Biz Log
Classifields
Biz Log
Classifields

මැරුණු සම අයින් කරන ඩර්මාප්ලෑනින්


සියලු දේ අනිත්‍ය ලෝකෙ රුව කියන්නෙත් දිනෙන් දිනම වියැකෙන දෙයක්. ඒත් ඒ වියැකීම ටික කාලෙකට හරි පාලනය කරගන්න පුළුවන් නම් කවුරුත් කැමතියි. තාවකාලික රූපෙට බොරු ආටෝප මොකටද කියල ඇතැම් වැඩිහිටියන් කිව්වත් රුව රැකගන්න රූපලාවන්‍ය සත්කාර තියෙද්දි ඒ ගැන නොසලකා ඉන්න එක අපරාදයක් කියලයි මටනම් හිතෙන්නෙ. දවසින් දවස අතු විහිදමින් ව්‍යාප්ත වන මේ රූපලාවන්‍ය ලෝකෙ ඩර්මාප්ලෑනින් කියන්නෙ තවත් එක සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්.

මොකද්ද මේ ඩර්මාප්ලෑනින් කියන්නේ? 

ඩර්මාප්ලෑනින් කියන්නෙ සමේ මැරුණු ස්ථරය ඉවත් කිරීමේ ක්‍රියාවලියක් වගේම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්නට යොදාගන්න සාර්ථක රූපලාවන්‍ය සත්කාරයක්. එය කුරුලෑ, ලප කැලැල් සහ තුවාල හේතුවෙන් සමේ ඇති වුණු සිදුරු වසාගැනීමට උදව් වෙනව. මෙය සිදුකරන්නෙ ඩර්මාටෝමා යන උපකරණය මගින. මේක Surgical Blade එකක්. මෙම ක්‍රියාවලිය “පීච් ෆස්” ලෙසින් හැඳින්වෙනව.

අනවශ්‍ය රෝම ඉවත් කරගන්න 

ඇතැම් අය සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගන්නත් ඩර්මාප්ලෑන් කරනවා. මෙමගින් කිසිදු වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කරගත හැකියි. මෙය ඒ සඳහා සාර්ථකම ක්‍රමයක්.

අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි 

මුලින්ම මුහුණ හොඳින් ක්ලෙන්සර් සහ ටෝනර් කර ටෝනර් එක වියලුණු පසු ඇලෝ ජෙල් එකක් මුහුණේ ආලේප කර මුහුණේ උඩ සිට පහළට සියුම්ව ඩර්මැටෝමා එක ආධාරයෙන් රෝම ඉවත් කරගත හැකියි. රෝම ඉවත් කිරීමෙන් පසුව නැවතත් මුහුණ Hyaluronic Serum එක ගල්වා සමෙහි තෙතමනය වැඩිදියුණු කිරීමට ඇල්ගී, කෝමාරිකා මිශ්‍ර Face Mask එකක් දැමීම කළ යුතුයි.

අවුරුද්දකට තුන් වතාවක්වත් 

අවුරුද්දකට තුන් වතාවක් හෝ මාස තුනෙන් තුනට ඩර්මාප්ලෑන් එකක් කළොත් දිදුලන නිකැළැල් සමක් ඔබට ලබාගත හැකියි.

ඩර්මප්ලෑන් කිරීමට පෙර 

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ අත්දැකීම් බහුල රූපලාවන්‍ය ශිල්පියෙකු මගින් ඩර්මැප්ලේන් සිදු කරගත හැකියි. මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කර ගැනීම සඳහා ඔබේ සම පරීක්ෂා කරගත යුතුයි. ඒ වගේම ඩර්මැප්ලෑන් කිරීමට පෙර ඔබ අපේක්ෂා කරන දෙය රූපලාවන්‍ය ශිල්පියාට පැහැදිලිව කිව යුතුයි.

සතියකට පසු 

එකිනෙකාගේ සමේ ස්වභාවය අනුව සුවවීමේ කාලය වෙනස් වෙනව. සතියකට පසු සමේ ඇති වූ රතු පැහැය සහ ඉදිමීම අඩු වෙනවා. සමේ විශාල වූ සිදුරු හෝ කුඩා සුදු ලප ඔබට දැකිය හැකි නමුත් එය ඉදිමීමත් සමඟ පහව යයි. ප්‍රතිකාර කළ ප්‍රදේශයේ රැවුල බෑම සිදු නොකළ යුතුයි.සති 2 කට පසු ප්‍රතිකාර කළ ප්‍රදේශයේ යටි සම තද සහ රෝස පැහැයක් ගන්නට පුළුවන්. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක්. වෙහෙසකර ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතුයි. සති 4-6 කට පසු ක්‍රමයෙන් ක්‍රීඩා කිරීමට හෝ වෙනත් ක්‍රියාකාරකම් වල යෙදිය හැකියි.

හිරු එළිය අවදානම් 

ප්‍රතිකාර කළ ප්‍රදේශය ඔබේ සාමාන්‍ය සමේ වර්ණයට පැමිණීමට මාස 6 – 12 අතර කාලයක් ගතවෙනව. එතෙක් සම හිරු එළියෙන් ආරක්ෂා කරගත යුතුයි. ඩර්මාප්ලෑන් එක අවසානයේ මොයිස්චර් එකක් හෝ Sun Block එකක් ගැල්වීම සුදුසුයි. එමෙන්ම සති කිහිපයක් දුම් පානය නොකිරීමෙන් ඔබ සත්කාර කළ සම ඉක්මනින් සුව කරගත හැකියි.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී මාලිංග ප්‍රනාන්දු
එරංදි කෞශල්‍යා

උපුටා ගැනීම නවලිය

Share This Article