මුහුණේ පැහැය අඩුවීම ගැන ඔබත් හිතනවාද?
අද බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ සහ බෙල්ලේ පැහැයට වඩා තමන්ගේ අත්වල සහ පාදවල පැහැය අඩුවීම. මෙම තත්ත්වය ප්‍රශ්නයක් කරගෙන අපේ යුවතියන් ඇතැම් විට නොයෙක් නොයක් ආලේප ගල්වන්නත් රූපලාවන්‍ය ප්‍රතිකාරවලට යොමුවන්නත් පෙළඹෙනවා. ඇත්තටම මෙම තත්ත්වය කුමක්‌ද? මෙය චර්ම රෝගයක්‌ද?
මෙය රෝගී තත්ත්වයක් නෙමෙයි. අපේ ශරීරයේ ආවරණය වන තැන්වල සමේ පැහැය, පැහැපත් වනවා වගේම නිතර නිතර අව්වට නිරාවරණය වන තැන්වල සමේ පැහැය ඊටත් වඩා තද පැහැයෙන් දිස්‌වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවනි.
අපේ සම හිරු එළියේ අල්ට්‍රාවයලට් (ඹඪ) කිරණවලට නිරාවරණය වීමෙන් ඇතිවන උත්දීපනය තුළින් ඇතිකරන මෙලනින් වර්ණකය නිසා මෙම තත්ත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව සමේ ඇතිවන වියළි ස්‌වභාවය නිසාත්, තද කළු පැහැයෙන් සම දිස්‌වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ අත් සහ කකුල් ප්‍රදේශවලයි. මෙම වියළි ගතිය නිසා සම පැලීමට පවා භාජනය වෙනවා. එවැනි තැන් කැසීමට පටන් ගන්නවා. අපිචර්මයේ ඇතිවන ඉරිතැලීම නිසා එහි තිබෙන ස්‌නායු අග්‍ර බාහිර වායුගෝලයට විවෘත වෙලා බාහිර වාතය සමඟ ගැටීමෙන් උත්දීපනය වීම තමයි අපි කැසීම ලෙස හඳුන්වන්නේ. එම වියළි ගතියෙන් තමයි මෙම තත්ත්වය ඇතිවෙන්නේ. කැසීම නිසා සම ක්‍රම ක්‍රමයෙන් ඝනකම් වෙන්න ගන්නවා. මේ නිසා අපිචර්මයේ ඝනවීම තුළ එහි පැහැය තද පාට වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බාහිර පරිසරයට නිරාවරණය වන වියළි තැන් කළු පැහැයට පෙනෙන්නට පටන් ගන්නවා. එහෙත් අපේ ශරීරයේ සෑම තැනක්‌ම එක වගේ දිස්‌වෙන්නේ නෑ. සමේ විවිධ තැන් විවිධ වර්ණ ගන්න පුළුවන්. සමේ රැළි වැටුනු තැන් ටිකක් කළුපාට වෙනවා. ඒ වගේම සම ඇදිලා තියෙන තැන් සුදු පැහැයක් ගන්නවා. උදාහරණයක් විදිහට අපේ අත්වල නැවෙන තැන් විශේෂයෙන්ම වැලමිට සහ කිහිළි ප්‍රදේශය කළු පැහැයෙන් දිස්‌වෙනවා.
නමුත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මුහුණේ සම හැම තැනක්‌ම එකම පාටක් විය යුතුයි කියලා. නමුත් එහෙම වෙන්නේ නෑ. විවිධ වෙනස්‌කම් සිදුවෙන්න ඉඩ තිබෙනවා. මුහුණේ සෑම තැනම එක පැහැයෙන් තබා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවන්න පුළුවන්. මෙම කළු පැහැය නැති කරන්න උත්සාහ කිරීමේදී අපි විවිධ ආලේප වර්ග ආලේප කරන්නට පටන් ගන්නවා. වෙනස්‌කම් ඇති කරන්න අපි පාවිච්චි කරන විවිධ රසායන ද්‍රව්‍යවලින් යම් හෝ තරමක අතුරු ආබාධ ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි කලින් කතා කළා වගේ හරිහැටි රෝගය හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.