මධුරිට ඉවසන්න බැරි කොන්දේ අමාරුවක්
වෘත්තියෙන් හැදෙන ලෙඩවලට බෙහෙත් කෝ?
කාලයක් පුරා මධුරිට දැනුණු පිටකොන්දේ වේදනාව දැන් හොඳටම උග්‍ර වෙලා. කෙළින් ඉන්නවත් නිදාගන්නවත්, හයියෙන් ඇවිදින්නවත් බැරි තරමට වේදනාව දරුණුයි. තවමත් තරුණ වියේ පසුවෙන මධුරිට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ආතරයිටීස් වගේ ලෙඩ රෝග එකක්වත් නෑ. උසේ ගාණට මහත හොඳ පෙනුමක් තිබෙන මධුරි දැන් ඇවිදින්නේ කොන්දට අත තියාගෙන. ඉස්සර පාට පාට සාරි ඇඳලා සාරියේ පාටට ගැළපෙන්න කන කර පලඳලා, ඒ පාටට ගැළපෙන්න අඩි උස සෙරෙප්පු දාලා කැපී පෙනෙන්නට හැඩට ඇඳගෙන වැඩට ආපු මධුරි දැන් රැකියාවට එන්නේ ඇඟට හිර නොවෙන සායක් හැට්ටයක් ඇඳලා. උස අඩි නැති සෙරෙප්පු දෙකක් දාලා ඔහේ ඕනෑවට එපාවට වගේ. වෙනදාට පියකරුව ප්‍රබෝධයෙන් කාර්යාලයේ කටයුතු කළ ඈ දැන් කාර්යාලයේ වැඩ කරන්නෙත් කෙඳිරි ගාමින්. පැයක් දෙකක් එක දිගට වැඩ කරන ඈ වැඩි කාලයක් ගතකරන්නේ කාර්යාලයේ කාන්තා විවේකාගාරයේ. සතියට දවසක් දෙකක් වත් ඈ නිවාඩු අරන් කොන්දෙ අමාරුවට බේත් ගන්න යනවා. වාත අමාරුවට, ආතරයිටීස්වලට ස්නායු අමාරුවට මේ හැම ලෙඩකටම අදාළ වෛද්‍ය පරීක්ෂණ සේරම කරලා දැන් මධුරිගේ වෛද්‍ය රක්ෂණයේ මුදලුත් ඉවරයි. දැන් ඈ සිංහල වෙදකමට බැහැලා. බේත් ගන්න යන්නයි තෙල් බේත් ගාලා පත්තු බැඳගෙන ඉන්නයි ඇගේ ලෙඩ නිවාඩුත් ඉවරවෙලා. කොයිතරම් වෙදකම්කළත් සුව නොවෙන මේ ලෙඩේ නිසාම ඇගේ හිතත් ලෙඩ වෙලා. හරියට කෑම කන්නවත් පිරියක් නෑ. ඇඟකෙට්ටු වෙලා. මුහුණත් ඇදිලා ගිහින්. තවමත් විවාහ වෙලා නැති මධුරිට විවාහයක් කරගැනීමත් ප්‍රශ්නයක් බවට පත්වෙන ගාණයි. මධුරි විතරක් නොවෙයි ඇගේ කාර්යාලයේ සේවය කරන තවත් යෙහෙළියන් කීප දෙනකුටමත් එවැනි ලෙඩ රෝග වැලඳිලා. කොටසකට කොන්දේ අමාරුව. තව කොටසකට හිසේ රුදාව. වැඩි පිරිසකට ඇස් අමාරු. නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යා කැස්ස. මේ රෝගවලට හේතුවන නිශ්චිත කාරණා තවමත් සොයාගෙන නෑ.
කොපමණ වෙදකම් කළත් සුව නොවන කිසිදු වෛද්‍ය පරීක්ෂණයකට හෙළි නොවන මේ රෝගාබාධවලට හේතුව සේවා ස්ථානයේ දී ඇතිවන “වෘත්තීය ආශ්‍රිත රෝග හා අනතුරු” බව ඔබ දන්නවාද?
තමන් නියැළෙන රැකියාවේ පවතින සෞඛයයට අහිතකර තත්ත්ව හේතුකොටගෙන විවිධාකාර රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇති බව ඔබ අප බොහෝ දෙනකු දන්නේ නෑ. රැකියාව ආශ්‍රිතව ඇති විය හැකි රෝගාබාධ පිළිබඳ දැනුවත්ව සිටීමේ සංස්කෘතියක් අපේ රටේ නෑ. එහෙත් අද ලෝකයේ දියුණු රටවල පමණක් නොවෙයි අපේ කලාපයේ බොහෝ රටවලත් රැකියා ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ පිළිබඳව වැඩ කරන ජනතාව මෙන්ම වැඩ ගන්නා ජනතාවත් දැනුවත්ව සිටිනවා. වැඩ කරන ජනතාව ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම ‘වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතාව’ යනුවෙන් හඳුන්වනවා. කිසියම් වෘත්තියක දිගු කාලයක් නිරත වීමේ දී යම් පුද්ගලයකු රැකියාව ආශ්‍රිතව ඇති විය හැකි රෝගාබාධවලින් වළක්වා ගැනීම එයින් අදහස් කෙරෙනවා. වර්තමානයේ වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ ලෝකයේ සෑම රටක්ම විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ රටේත් වැඩ කරන ජනතාවගේ වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ දැන් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය ඒ පිළිබඳව මෙරට කටයුතු කරන ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. “අපේ රටේ වැඩ කරන ජනතාව තමන් කරන රැකියාව ආශ්‍රිතව තමන්ට ඇති විය හැකි අනතුරු හා රෝගාබාධ පිළිබඳව ප්‍රමාණවත් තරම් දැනුවත් වී නෑ. ඔවුන් තම රැකියාවෙන් ලබන වේතනය හා අනෙකුත් වරප්‍රසාද ගැන උනන්දු වෙන තරමට රැකියාව ආශ්‍රිතව තමාට ඇතිවිය හැකි අනතුරු හෝ රෝගාබාධ පිළිබඳ එතරම් සැලකිලිමත් වෙන්නේ නෑ. ඒ නිසාම රැකියාව කරන අතරතුර ස්වකීය සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ඔවුන් තුළ ඇත්තේ නෑ.” මෙහෙම කියන්නේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය. ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් සිදු කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන ජනතාව වෘත්තීය අනතුරු හා වෘත්තීය රෝග සම්බන්ධයෙන් දැනුවත් කර නව වෘත්තීය සුරක්ෂිතතා සංස්කෘතියක් රට තුළ ඇති කිරිමට මඟ පෙන්වීමයි.
අපේ රටේ ජනගහනයෙන් මිලියන අටකට වැඩි ප්‍රමාණයක් වැඩ කරන ජනතාව. කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශවල කටයුතු කරන මේ හැමදෙනාටම තමාගේ වෘත්තියට අදාළව යම් යම් රෝගාබාධ ඇතිවීමේ හෝ අනතුරුවලට ලක් වීමේ අවදානමක් තිබෙනවා. සේවක පිරිස් තමා එවැනි අවදානමක සිටින බව නොදැන සිටිනවා මෙන්ම ඔවුන් ගේ සේවය ලබා ගන්නා සේව්‍යයන් හෝ පාලකයන් ඒ බව නොසලකා කටයුතු කිරීමත් බලවත් වරදක්. කෘෂිකාර්මික අංශයේ රැකියා සහ කාර්මික අංශයේ රැකියාවල නිරතවූවන්ට රැකියා ආශ්‍රිත අනතුරුවලට ගොදුරු වීමේ අවදානම වැඩියි. කෘෂිකාර්මික අනතුරුවලදී කැපීම් කෙටීම් වැනි අනතුරු මෙන්ම නවීන යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව කටයුතු කරන විට ඇති විය හැකි දැඩි අවදානම් සහිත අනතුරු තිබෙනවා. සම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමෝපායයන් වෙනුවට අලුත් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කටයුතු කිරීමේ දී ඒවා නිවැරැදිව ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුම හා අවබෝධයෙන් තොරව කටයුතු කිරීමෙන් මාරාන්තික අනතුරු සිදුෙවන්න පුළුවන්. නිදසුනක් ලෙස මෑත කාලයේ වී ගොවිතැන ආශ්‍රිතව භාවිතා කරන කොළ මඩින යන්ත්‍රයට ගොදුරු වී (සුනාමි යන්ත්‍රය යනුවෙන් මෙය ගැමි වහරේ භාවිතා කෙරෙනවා) මිය ගිය ළමයින් හා ගොවීන් ගේ සංඛ්‍යාව විශාලයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දී ගොවීන් භාවිතා කරන කෘමි නාශක, වල් නාශක, රසායනික පොහොර වර්ග යන සියල්ල මිනිසාගේ සෞඛ්‍යයට අහිතකරයි. මේ ද්‍රව්‍ය නිරාවරණය වූ දෑත්වලින් හා මුඛවාඩම් නොබැඳ භාවිතා කිරීමෙන් ගොවීන් ගේ සෞඛ්‍යයට ඒවා සෘජුවම අහිතකර ලෙස බලපානවා. කෘමිනාශක හෝ රසායනික පොහොර වර්ගවලට නිරන්තරයෙන් අනාවරණය වීමෙන් එක් වරම මරණයට පත් නොවුණත් කල් පවත්නා රෝගවලට ගොදුරු වීම නොවැළැක්විය හැකියි. රජරට ප්‍රදේශවලින් වාර්තා වන වකුගඩු රෝග, චර්ම රෝග හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට ප්‍රධාන හේතුවක් වන්නේ කෘෂි රසායන භාවිතය ආශ්‍රිත වැරැදි චර්යා. අද මෙරට ආර්ථික සංවර්ධනයට කම්හල් ආශ්‍රිත සේවා සෘජු දායකත්වයක් සපයනවා. අපේ රටේ තරුණ ජනගහනයෙන් විශාල පිරිසක් කම්හල් ආශ්‍රිත රැකියාවල නිරත වෙනවා. කම්හල්වල වැඩ කරන ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳව එම සේවා ආයතනවල සේව්‍ය - සේවක දෙපක්ෂයටම දැන් ප්‍රමාණවත් දැනුමක් ලබා දී තිබෙනවා. කවර රැකියාවක වුවත් වැඩි ඵලදායකත්වයක් ලබා ගැනීම සඳහා සේවකයන් ගේ වෘත්තීය සෞඛ්‍යය සුරක්ෂිතතාව මහෝපකාරී වෙනවා.
අපනයන ක්ෂේත්‍රයේ නිෂ්පාදන කම්හල්වල සේව්‍ය පක්ෂය සේවක සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ වෙසෙසින් සැලකිලිමත් වෙනවා. ඊට හේතුව ලොව පිළිගත් ගැනුම් කරුවන් භාණ්ඩ මිලදී ගන්නේ ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවල සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත බව තහවුරු කර ඇත්නම් පමණක් වීමයි. භාණ්ඩ මිලදී ගැනීමට පෙර එම කම්හල්වල සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැබැවින්ම සුරක්ෂිත කර ඇත්දැයි සොයා බැලීමට ඔවුන්ගේ සමීක්ෂකයන් අදාළ ආයතන වෙත පැමිණ එම සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන් සඳහා සහතික නිකුත් කරනවා. අදාළ සහතික නොලත් සමාගම්වලින් භාණ්ඩ මිලදී නොගන්නා හෙයින් ඒවායෙහි සේව්‍ය පක්ෂය ස්වකීය සේවක සෞඛ්‍යය සුරක්ෂිතතාව පිළිබඳව නිරතුරුවම සැලකිලිමත් වෙනවා. රාජ්‍ය සේවය මෙන්ම ඇතැම් පෞද්ගලික සේවා ස්ථානවල ද තත්ත්වය මෙයට වඩා වෙනස්. බොහෝ ආයතන සේවාවන්හි ඵලදායකත්වය පිළිබඳ වෙහෙසුණාට සේවක සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නෑ. කවර සේවාවක වුවත් ඵලදායකත්වය ඉහළ යන්නට සේවක සෞඛ්‍ය සුරක්ෂිතතාව සෘජුවම බලපානවා. අප මුලින් සඳහන් කළ මධුරි වගේ නිතරම රෝගී වන ලෙඩ නිවාඩු ගන්න, වැඩට ආවත් වැඩි කාලයක් විවේකාගාරයේ ගත කරන සේවක සේවිකාවන් ගේ කාර්යක්ෂම භාවය හෝ ඵලදායකත්වයෙන් උපරීම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. එය සේව්‍යයාට ඉතා අවාසිදායක තත්ත්වයක්.
දිගු කලක් එකම ඉරියව්වෙන් පරිගණකය දෙස බලාගෙන, එක තැනක ඉඳගෙන රැකියාව කිරීමෙන් කොඳුඇට පෙළට වගේම ඇස්වලට අයහපත් ප්‍රතිඵල ලබා දෙනවා. අප මුලින් සඳහන් කළ මධුරි ගේ කොන්දේ අමාරුවට හේතු වෙලා තිබුණේ රැකියාව කරන අතරතුර ඈ වාඩි වෙලා සිටි පුටුව. එය නවන්න දිගහරින්න පුළුවන් නවීන පන්නයේ පුටුවක්. ඒත් එය නිවැරැදි ඉරියව්වලින් ඉඳගන්නට පහසු වෙන පරිදි නියමිත ප්‍රමිතියට සකස් කළ එකක් නොවෙයි. වැඩි පහසුවට මධුරිත් ඉඳගන්නේ හොඳහැටි පුටුව දිග ඇරලා. කොන්ද කෙළින් තියාගෙන නිවැරැදි ඉරියව්වෙන් හිඳ ගැනීම පිළිබඳ මධුරිටත් නිසි අවබෝධයක් තිබුණේ නෑ. නිමා නොවෙන කොන්දේ වේදනාවක් ඇයට උරුම වුණේ මේ හේතුවෙන්. වැඩ කරන ජනතාව මේ පිළිබඳව දැන සිටීම වැදගත්. සේවා ස්ථානයේ වැඩි සුව පහසුවට සකස් කරන වායු සමීකරණ යන්ත්‍රය, ආලෝකය, ශබ්දය අදාළ ප්‍රමිතීන්ට අනුකූල නොවුණොත් ඒවා ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. වායු සමීකරණයේ දැඩි සිසිලස නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව කල් පවත්නා සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස, හිස වේදනා ඇතිවීම මෙන්ම බෝවන රෝග ඉක්මණින් පැතිරී යාමේ අවදානමක් තිබෙනවා. දිගු කලක් පරිගණකය වෙත දෑස් යොමා සිටීමෙන් දෘෂ්ටි ආබාධ මෙන්ම හිසේ කැක්කුම ඇතිවෙන්නට පුළුවන්. හිඳ සිටින ආසනය අනුව ඔබේ කොන්දේ වේදනා ඇති විය හැකියි. අධික ශබ්දයට නිරාවරණය වීමෙන් ශ්‍රවණාබාධවලට ගොදුරු වීමට පුළුවන්. ගුරු වෘත්තියේදී භාවිත කරන හුණු කූරුවලින් නිකුත් වන හුණු කුඩු දිගු කලක් ආඝ්‍රාහණය කිරීමෙන් ශ්වසනාබාධ සහ පෙනහලු ආශ්‍රිත රෝග හට ගන්නට පුළුවන්. වඩු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් දිගු කලක් ලී කුඩු සහිත වාතය ආශ්වාස කිරීමෙන් වගේම ලීවල ඇතිවන කෘමීන් මර්ධනය කිරීමට යොදන පළිබෝධ නාශක ආඝ්‍රාහණය කිරීමෙන් ශ්වසනාබාධ මෙන්ම පෙනහලු ආශ්‍රිත පිළිකා වැනි රෝගවලට ගොදුරු වෙන්නටත් හැකියාව තිබෙනවා.
වර්තමානයේ අගනුවර ජනප්‍රිය පාසලක පන්ති කාමරයක අවම වශයෙන් ශිෂ්‍යයන් පනහක් වත් ඉගෙනුම ලබන බව ඔබ දන්නවා. එවැනි පංති කාමරයක සිසුන් පනස් දෙනකුට නිදහසේ ඇවිද යන්නට තබා ඩෙස් පුටු තබා ගන්නටවත් ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නෑ. බොහෝ විට එම පන්ති කාමර අඳුරුයි. දිවා ආලෝකය වෙනුවට විදුලි බල්බයෙන් එහි අඳුර මැකෙනවා. දරුවන්ගේ ඇස් මට්ටමේ සිට කළු හෝ සුදු ලෑල්ල බොහෝ දුරින් පිහිටා තිබෙනවා. ඔවුන් කර තබාගෙන යන අධි බරැති පොත් බෑගය ඔවුන්ගේ කොඳු ඇට පේළිය ලෙඩ කරනවා. ඉඳ ගන්නට ඇති පුටු ප්‍රමිතියෙන් තොරයි. එලෙස බලන විට අපේ රටේ ජනතාව බාල කාලයේ පටන්ම ජීවත්වෙන්නෙත් සේවය කරන්නෙත් සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක නොවෙයි. පාසල් ජීවිතය පුරාම දරුවා කටයුතු කරන්නේ නිවැරැදි ඉරියව් හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක නොවේ නම් අනාගතයේ දී ඔහු හෝ ඇය ගේ සෞඛ්‍ය පිරිහීම නොවැළැක්විය හැකියි.
මේ සඳහා අප කළ යුත්තේ කුමක් ද?
පාසල් වියේ පටන්ම සෞඛ්‍යාරක්ෂිත පරිසරයක හැදී වැඩෙන්නටත් නිවැරැදි සෞඛ්‍ය පුරුදු හා ඉරියව්වලටත් දරුවා හුරු කිරීමයි වැඩිහිටියන් බවට පත්වී රැකියාවලට යොමු වන විට සිය වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු වන පරිදි කටයුතු කිරීමට ඔවුන් හුරු පුරුදු කිරීමයි. මේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතියයි.
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත