Biz Log
Classifields
Biz Log
Classifields

ආර්තවහරණය සතුටින් බාරගන්න


ආර්තවය වගේම ආර්තවහරණයත් කාන්තාවකගේ ජීවිතයේ ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. කාන්තාවකගේ ඔසප් වීම සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදු වෙනවා. සමහර විට දින 28 සාමාන්‍යයෙන් වෙනස් වීමට පුළුවන්. කෙසේ වුණත් මාසික ඔසප් වීමෙන් පසුව ගර්භාෂ බිත්තිය ඩිම්බකෝෂ අවට ඇති හෝමෝනවලින් සහ අලුත් රුධිරනාල ගොඩනඟාගෙන පිළිසරකර වෙනවා. ඉතිරි දින 14 තුළ ගර්භාෂයේ සංසේචනය වුණ ඩිම්බයක් පිළිගැනීමට සුදුසු සක්‍රීය තත්ත්වයක පවතිනවා. නමුත් සංසේචනය වුණ ඩිම්බයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් නොවුණ විට හෝමෝන අඩුවී ගර්භාෂ බිත්තිය බිඳ වැටෙනවා. ඒ රුධිර වහනය අපි මාසික ඔසප් වීම ලෙස සලකනවා. ආර්තවහරණය කියන්නේ කාන්තාවකගේ ඩිම්බ පිටවීම අවසාන වන දවසයි. එය සෑම කාන්තාවකටම පොදු වයසකදී සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පටන් සමහර කාන්තාවන්ට විවිධ වෙනස්කම් ඇතිවනවා. ඒ වගේම වයස අවුරුදු 48 න් පසුව 52 ක් වගේ කාලය වනවිට ඩිම්බ පිටවීම සම්පූර්ණයෙන්ම නැවතීම සිදුවනවා. ඩිම්බ පිටවීම නැවතීමත් සමඟ වසරක් වැනි කාලයක් තුළ ආර්තවය නතර වුණොත් එය ආර්තවහරණය යනුවෙන් හඳුන්වන්න පුළුවන්.

  • ගැබ් ගැනීම.
  • විවිධ ඖෂධ භාවිතය.
  • ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම්වලට යොමුවීම.
  • Polycystic Ovarian Syndrome (PCOS )

වැනි හේතු නිසා ආර්තවය සිදුනොවන අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවක් ආර්තවහරණය යනුවෙන් හඳුන්වන්න බැහැ.

ආර්තවහරණයක ලක්ෂණ මොනවාද? 

කාන්තා සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ආර්තවය නතර වීම සිදුවෙන බැව් අපි දන්නවා.ඒ සමඟම බැඳුණු රෝග ලක්ෂණ කීපයක් ආර්තවහරණයේදී පෙන්නුම් කරනවා.

  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වෙනදාට දින 28 ක් හෝ 35 ක් අතර සිදුවුණ ඔසප්වීමේ අක්‍රමවත් රටාවක් ඇති වීම.
  • සිරුර රත් වීම.
  • අධික ලෙස දහඩිය දැමීම.
  • නින්ද පිළිබඳ ගැටලු.
  • නොරිස්සුම් බව.
  • හිස කෙස් තුනී වීම.
  • ශරීරයේ බර වැඩි වීම.
  • තරබාරුව.
  • කෝපය.
  • ලිංගික උදාසීනත්වය.

මේ අන්දමින් විවිධ කායික සහ මානසික අපහසුතාවයන් ඇති වෙනවා.

ආර්තවහරණය රෝගයක් නොවුණත් අතුරු සංකුලතාවන් ඇතිවීමේ අවදානමක් තිබෙනවාද? 

ඔව් ආර්තවහරණය ජීව විද්‍යාත්මකව සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් වුණත් ඊට බද්ධව විවිධ රෝග තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ආර්තවහරණයට පත් කාන්තාවකගේ අස්ථිවල ඝනත්වය අඩුවීම නිසා ඉතාම පහසුවෙන් අස්ථි බිඳීම හෙවත් ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයට පත්වීමට පුළුවන්. 

විශේෂයෙන් උකුළ අස්ථිය බිඳෙන රෝග තත්ත්වයක් නිසා ඇය එක්තැන් වීමටත් පුළුවන්. ව්‍යායාමයක් නොමැතිව දීර්ඝ කාලයක් එක්තැන්ව සිටීම නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව,හෘදයාබාධ වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇතිවනවා.

ආර්තවහරණය නිසා ජීවිතයේ ගුණාත්මක බවට බාධාවන් ඇතිවීම… 

කාන්තාවකගේ ආර්තවහරණය සිදුවන වයස වන විට ඇය නිවසේ වගේම සමාජයේ යම් ක්‍රියාකාරී කටයුතුවලින් අත්දැකීම් සම්භාරයක් ලබාගත් අයකු බව අපි දන්නවා. නමුත් ආර්තවහරණය සමඟ ඇතිවන මේ අපහසුතාවන් ඇගේ ජීවිතයේ ගුණාත්මක බවට ඍජු ලෙසින්ම බලපානවා. වෙනදා වගේ ක්‍රියාශීලීව කටයුතුවල නිරත වීමට ඇයට අපහසුතාවක් ඇතිවනවා. අමතකවීම් සුලබයි. නින්ද පිළිබඳ ගැටලු නිසා අප්‍රාණිකත්වයක් ඇතිවනවා.

තරබාරුව සමඟ දියවැඩියාව, කොලෙස්ටරෝල් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රොන් හෝමෝන වෙනස්වීම නිසා හෘද රෝග අවදානම, යෝනි මාර්ගයේ වියළි බව සහ ලිංගික ජීවිතය සම්බන්ධවත් යම් යම් ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. 

මෙම වයස් පරාසය වන විට දරුවන් ස්වාධීනව ජීවිතය ගොඩනගාගත් පිරිසක් බවට පත්ව ඇති නිසා මානසිකවත් හුදකලා චරිත වීමේ හැකියාවන්ද තිබෙනවා. ඒ නිසා මානසික ආතතිය, විශාදය වැනි මානසික රෝගාබාධයන්ටත් පහසුවෙන් ගොදුරු වීමේ අවදානම ගැනත් නොසලකා සිටිය යුතු නැහැ.

ආර්තවහරණයෙන් පසුව ඇතිවන සංකුලතාවන්ගෙන් ආරක්ෂා වීමට නම්… 

කාන්තාවන් තුළ මේ ගැන පූර්ව දැනුවත් වීමක් තිබීම අවශ්‍යයි. එය ඇයට පමණක් නොව පවුලේ සියලු දෙනා සම්බන්ධයෙන්ම ඉතා වැදගත්. වෙනදා නොමැති ලෙසින් මවගේ,බිරිඳගේ වෙනස ගැන පවුලේ උදවියටත් දැනුවත්වීමක් තිබීම අවශ්‍යයි. ඒ නිසා සමාජය තුළ කාන්තාවන්ගේ ආර්තවහරණය පිළිබඳව වූ දැනුවත් බව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්.

  • සමබල සහ පෝෂණීය ආහාර රටාව.
  • යෝග වැනි ව්‍යායාම.
  • භාවනා කිරීම.
  • සමාජ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම.

මීට අමතරව හෝමෝන ප්‍රතිකාර ලබා දීමත් සඳහන් කළ යුතුයි.ආර්තවහරණය ස්වභාවික සංසිද්ධියක් වුණත් එයින් ඇතිවන අතුරු සංකුලතාවන් නිසා ඇතිවන අපහසුතාවන් කල්තබා හඳුනාගෙන සිටීමත් ඉතාම වැදගත් බැව් මෙහිදී සඳහන් කිරීම ඉතා වැදගත්.

ප්‍රසව සහ නාරි රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත්
උපුටා ගැනීම නවලිය

Share This Article