Biz Log
Classifields
Biz Log
Classifields

කාන්තාවන්ට වැඩිපුරම හර්නියා ඇතිවන ස්‌ථාන

කාන්තාවන්ට වැඩිපුරම හර්නියා ඇතිවන ස්‌ථාන

හර්නියා ආබාධිත තත්ත්වය, අණ්‌ඩවාතය, බඩවැල පාත්වීම හෝ අන්ත්‍රවෘද්ධිය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුළ බහුලව දක්‌නට ලැඛෙන අසනීප තත්ත්වයක්‌ වන අතර, උපදින අවස්‌ථාවේ සිට මහලු විය දක්‌වාද, ස්‌ත්‍රි පුරුෂ භේදයක්‌ නොතකා සෑම කෙනෙකුටමද ඇතිවිය හැකි ආබාධිත තත්ත්වයකි. මිනිස්‌ කය පෙදෙස, උර කුහරය සහ උදර කුහරය වශයෙන්, මහාප්‍රාචීරය නම් ප්‍රාවරය මගින් වෙන්වී ඇති අතර උර කුහරය තුළ පෙනහලු සහ හෘදයද, උදර කුහරය තුළ අක්‌මාව, අග්න්‍යාස්‍රය , ප්ලිහාව, වකුගඩු ඇතුළු මුත්‍රාවාහිනි පද්ධතිය වැනි අවයව ද, ආමාශය, කුඩා අන්ත්‍රය (කුඩා බඩවැල) සහ මහාන්ත්‍රය (මහා බඩවැල) වැනි ආහාර මාර්ග පද්ධතියට අයත් අවයවද පිහිටා ඇත. හර්නියා ආබාධ සුලභවම දක්‌නට ලැඛෙන්නේ උදර කුහරය හා සම්බන්ධවය. එදිනෙදා යෙදෙන කටයුතුවලදී උදර කුහරය තුළ අධික පීඩනයක්‌ ඇතිවිය හැකි අතර, එවැනි අවස්‌ථාවන්හිදී මෙම උදරයේ බිත්ති හෙවත් මාංශපේශිවල ඇති දුර්වල වූ ස්‌ථානයකින් අන්තර් අවයව පිටතට තෙරපීම හේතුවෙන් හර්නියා ආබාධය ඇතිවිය හැක. මෙය ක්‍රමක්‍රමයෙන්, දීර්ඝ කලක්‌ තුළ දී වර්ධනය වන අතර, මෙම තත්ත්වය නොසලකා සිටීමෙන් ඉතා සංකීර්ණ, ව්‍යාකූල වූ හර්නියා ආබාධිත තත්ත්වයක්‌ බවට පරිවර්ථනය වීමටද ඉඩ ඇත. 

හර්නියා රෝග ලක්‌ෂණ : 

හර්නියා ආබාධ බහුලවම දක්‌නට ලැඛෙන්නේ ඉකිළිය අවට වන අතර විශේෂයෙන්ම කාන්තාවන්ට පෙකනිය හෝ නාභීය අවටද හර්නියා ඇතිවිය හැක. තවද උදරයේ පෙර කළ ශල්‍යකර්මයක කැලල දුර්වලසේ සුවවී ඇත්නම්, එවැනි ස්‌ථාන තුළින්ද හර්නියා මතුවීමට ඉඩ ඇත. එබැවින් මේ සෑම අවස්‌ථාවකදීම, උදර බිත්තියේ ඇති දුර්වල වූ අවකාශ හරහා හර්නියා මතුවන බව පැහැදිලි වේ. යටි බඩේ හෝ හර්නියාව ඇති පෙදෙස අවට ඇතිවන වේදනාව, හර්නියාව වර්ධනය වන මුල් අවදියේදී දක්‌නට ලැබේ. මෙය බොහෝවිට ඇතිවනුයේ මිනිසා සෘජු ඉරියව්වෙන් සිටීම හෝ අන්තර් උදර පීඩනය වැඩිවන්නා වූ ක්‍රියාවලින් වන කිවිසීම, කැස්‌ස, අධික බර දෙයක්‌ එසවීම ආදි දේවල යෙදෙන විටදීය. විවේකීව යහනක වැතිර සිටීමෙන් මෙම වේදනාව අඩු කරගත හැකි බව හර්නියා ආබාධය ඇති රෝගින් දන්නා කරුණකි. උදරයේ නිරතුරුවම ඇතිවන අධික පීඩනයත්, මාංශ පේශි බිත්තිවල ඇති දුර්වල වූ ස්‌ථානත් හේතුවෙන්, මෙම කුහරය තුළ ඇති අන්තර් අවයව, හර්නියා පැසක්‌ ලෙස මෙම ස්‌ථාන තුළින් පිටතට නෙරා මතුවීම මෙම ආබාධයේ ඇතිවන අනෙක්‌ රෝග ලක්‌ෂණය වේ. හර්නියා පැස (කුඩා මල්ලක්‌ වැනි) තුළ නොයෙකුත් අන්තර් උදර අවයව තිබිය හැකිය. කුඩා අන්ත්‍රය, මහාන්ත්‍රය බහුලවම දක්‌නට ලැඛෙන ඉන්ද්‍රියයන් වේ. මෙම පැස සහ එහි අඩංගු ඉන්ද්‍රියයන් උදර බිත්තියේ අවකාශයක්‌ තුළින් පිටතට නෙරා මතු වුවද, ඊට මතුපිටින් සම සහ එහි මේද ස්‌තරයක්‌ද ඇත. මෙලෙස හර්නියාව පැසක්‌ ලෙස නෙරා මතුවන අවස්‌ථාවන්හිදීද වේදනාවක්‌ පැවතිය හැකි අතර මෙය මුල් අවධියේදී ඇති වේදනාවට වඩා අධික වීමට ඉඩ ඇත. ඊට හේතුව වනුයේ අන්තර් ඉන්ද්‍රිය බිත්ති අවකාශය තුළින් උදර කුහරයේ පිටතට ඇදෙන හෙයින් සහ මාංශ පේශි මගින් පැස සහ එහි අඩංගු දෑ තෙරපීමක්‌ හෙයිනි. පැස හී අඩංගු අන්තර් අවයව සමග පිටතට නෙරා ප්‍රථමව සිදුවන අවස්‌ථාව ඉතාමත් වේදනාකාරි වන අතර, මෙම සංකීර්ණත්වය හේතුවෙන් රෝහල්ගතවීමටද ඉඩ ඇත. බොහෝ විට මෙවන් අවස්‌ථාවන්හිදී ශල්‍ය කර්මයක්‌ කර සම්පූර්ණයෙන්ම සුවකර ගැනීම උචිත වන අතර මෙය නොසලකා සිටීමෙන් නොයෙකුත් ව්‍යාකූල තත්ත්වයනට පත්විය හැක. පැස ස්‌ථිරවම පිටතට නෙරා එහි අඩංගු අවයව නැවත උදර කුහරයට ඇතුළු නොවී තිබීම පැස තුළට මද රුධිර ධාවනයක්‌ පැවතීම හේතුවෙන් එහි ඇති ඉන්ද්‍රියවල පටක මිය යැම සහ පැස තුළ අඩංගු ඉන්ද්‍රියවලට විෂබීජ පැතිරයාමෙන් ආසාදනය වී ජිවිතයට පවා තර්ජනාත්මක වීම, හර්නියා සම්බන්ධව දක්‌නට ලැඛෙන ව්‍යාකුල තත්ත්වයන් වේ. 

කාන්තාවන් අතර දක්‌නට ලැඛෙන හර්නියා : 

පෙකනිය හෙවත් නාභීය වටා ඇතිවන හර්නියා ආබාධ. පිරිමින්ට සාපේක්‌ෂිකව, පස්‌ගුණයකින් කාන්තාවන්ට සෑදීමේ ප්‍රවණතාවක්‌ ඇත. වයස 35 ත් 50 ත් අතර මැද පසුවන කාන්තාවන් අතර මෙය සුලභව දක්‌නට ලැඛෙන අතර තරබාරුකම, උදර බිත්තියේ මාංශපේශි දුර්වල වී තිබීම, වැඩිවාර ගණනක්‌ ගර්භනී වී සිටීම, මීට හේතුවේ. මෙවන් හර්නියා ක්‍රමක්‍රමයෙන් විශාල ලෙස ඉදිරියට නෙරා පැමිණිය හැකි අතර, නිතරම හටගන්නා උදර වේදනාවන්ද මෙවන් හර්නියා නිසා විය හැක. මෙම හර්නියා වල දක්‌නට ලැඛෙන හර්නියා අවකාශය ඉතා කුඩා වන හෙයින්, හර්නියා පැසහී අඩංගු දෑ අවහිර වනසේ හිරවීමට ඇති හැකියාවද වැඩිය. එහි ඇති ඇලෙන සුළු ස්‌වභාවය හෙයින්ද, මෙය අවකාශය තුළින් පිටතට පැමිණ පැස තුළ සිරවී, ඉතාමත් සංකීර්ණ තත්ත්වයක්‌ ඇති කළ හැක. තවද තරබාරුකම, දියවැඩියාව, වයෝවෘද්ධ බව වැනි සාධක හේතුවෙන් ජීවිතයට පවා තර්ජනයක්‌ වීමට මෙම හර්නියා වර්ගය නිසා හැකියාවක්‌ ඇත. ෆෙමරල් හර්නියා කාන්තාවන් අතර බහුලවම දක්‌නට ලැඛෙන තවත් හර්නියා වර්ගයකි. කාන්තාවන්ට ඇතිවිය හැකි හර්නියා අතර 20% ක්‌ පමණ මෙවන්නක්‌ දක්‌නට ලැඛෙන අතර මෙහිදී හර්නියා පැස පිටතට නෙරා පැමිණිම, ඉකිලිය අවට, එනම් පාදයේ ඉහළම ප්‍රදේශයේ සිදුවේ. ෆෙමරල් හර්නියාවද ඉතාමත් වේදනාකාරි වන අතර, කාන්තාවන්ගේ ශ්‍රෝණිය හෙවත් උකුල පළල්ව පිහිටා තිබීම මෙම හර්නියා වර්ගය, කාන්තාවන් අතර බහුල වීමට විශේෂ හේතුවක්‌ වේ. මෙම හර්නියාවලද හර්නියා අවකාශය ඉතාමත් කුඩාව පිහිටීම හේතුවෙන් වේදනාව අධික වීමත්, ඉන් ඇතිවන ව්‍යාකූලතා සුලභවීමත් දක්‌නට ලැබේ. වයස අවුරුදු 20 ත් 40 ත් අතර බහුලවම ඇතිවිය හැකි මෙම හර්නියාව දැනගත් විගසම ශල්‍යකර්මයක්‌ මගින් යථා තත්ත්වයට පත්කිරීම අත්‍යවශ්‍යයවේ. උදර බිත්තියේ පෙර කළ ශල්‍යකර්මයක දුර්වල වූ කැලල තුළින්ද හර්නියා ඇතිවිය හැකි අතර මෙවැනි හර්නියාද කාන්තාවන් තුළ දක්‌නට ලැබේ. මෙවන් හර්නියා වල ඇතිවන වේදනාව මුල් දිනවලදී ඉතා අවම විය හැකි අතර, ක්‍රමයෙන් අශෝබන ලෙස විශාල වන හර්නියා පැස හේතුවෙන් බොහෝ දෙනෙකු වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීමට සිදුවේ. පිරිමින්ට ඇතිවන ඉන්ග්වයිනල් හර්නියා හෙවත් වෘක්‌ෂණ හර්නියා කාන්තාවනට ඉතාමත් කලාතුරකින් ඇතිවිය හැක. මෙවැනි හර්නියා ඇතිවනුයේ ඉකිලිය අවට එනම් උදරයේ පහලතම ප්‍රදේශයේය. 

හර්නියා ප්‍රතිකාරය : 

හර්නියා සම්බන්ධ රෝග ලක්‌ෂණ වන වේදනාව හෝ පිටතට නෙරන පැස දැනගත් විගසම ශල්‍ය වෛද්‍ය උපදෙස්‌ ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. හර්නියා රෝග නිශ්චය කිරීම සඳහා විශේෂ වූ පරික්‌ෂණ ක්‍රම නොමැති වුවත්, ස්‌කෑන් පරික්‌ෂණ මගින් ඉතාමත් මුල් අවධියේ ඇති හර්නියාවක්‌ පහසුවෙන් හඳුනාගත හැක. හර්නියාවක්‌ සුව කළ හැක්‌කේ ශල්‍යකර්මයකින් පමණි. එබැවින් හර්නියාවක්‌ හඳුනාගත් විගසම, එය ශල්‍යකර්මයකින් සුවකර ගැනීම සුදුසු වේ. හර්නියා ශල්‍යකර්මය එම ප්‍රදේශය විවෘත නොකර, ලැපරොස්‌කොපි නැමති කැමරා ආශ්‍රිතව කරන ශල්‍යකර්ම මගින්ද සිදු කළ හැක. මෙහිදී ඇතිවන වේදනාව පමණක්‌ නොව, කැලල්ද ඉතා අවම මට්‌ටමක පැවතීම මෙහි ඇති විශේෂත්වයයි.

හර්නියා ශල්‍ය කර්මයකින් පසු විවේකීව සහ අන්තර් උදර පීඩනය වැඩිවන්නා වූ ක්‍රියාවලින් වන, අධික බර දෑ එසවීම, කිවිසීම, කැස්‌ස ආදියෙන් මග හැර සිටීම උචිත වේ. මේ සඳහා සති 4 ක්‌ හෝ 6 ක්‌ වැනි කාල සීමාවක්‌ සුදුසු වන අතර නිසි වෛද්‍ය උපදෙස්‌ පිළිපැදීමද අවශ්‍යය වේ.

උපුටා ගැනීම නවලිය

Share This Article