හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි
විෂබීජ, හෝමෝන සහ තෙල් යන ප්‍රධාන සාධක තුනක් හේතුවෙන් හටගන්නා කුරුලෑ යෞවනයේ රෝගය ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් රුව පිළිබඳ විමසිලිමත් වන තරුණ තරුණියන් අසහනයට පත්කරන කුරුලෑ වගේ ම ඉන්නන් ද චර්මගත රෝගයන්. ඒවා නිට්ටාවට සුව කරගත හැකි ද? වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද? හිතුමතේ ප්‍රතිකාරවලට යොමු වීම අහිතකර ද? අද ඔබ දැනුම්වත් කරන්නේ මේ පිළිබඳවයි.
කුරුලෑවක් ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
සමෙහි ඇති ස්වේද ග්‍රන්ථිවල වැඩිපුර ස්වේද නිපදවන විට එම ග්‍රන්ථියෙන් පැන නඟින කෙස් ගස මැරී යනවා. එවිට ග්‍රන්ථි තුළ සිරවන ස්වෙද හා සෛල අවට ඇති සම ආසාදිත තත්ත්වයකට පත් කරනවා. ටික දිනකින් එම ග්‍රන්ථිය සුදු රුධිරාණු හා බැක්ටීරියාවන් ගෙන් පිරුණු සැරව කුහරයක් බවට පත් වෙනවා. කුරුලෑවක් ලෙස හැඳින්වෙන්නේ එවැනි තත්ත්වයක්. මෙම සැරව පිරි කුරුලෑව කඩා මිරිකා නොදැම්මොත් බොහෝ විට ඉබේම පුපුරා ඉවත් වෙනවා. එහි සම ටික දිනකින් යළි ස්වභාවික තත්ත්වයට පත් වෙනවා.
සමහර කුරුලෑ ඉවත් කිරීමට කුඩා සැත්කම් පවා සිදු කරනවා නේද?
ඔව්. එහෙත් කලාතුරකින් සිදුවිය හැකි දෙයක්. සමහර කුරුලෑ සමේ ගැඹුරින් පිහිටනවා. එවිට එය තරමක් විශාල සැරව ගෙඩියක් බවට පත් වෙනවා. කුඩා සැත්කමක් මඟින් කපා ඉවත් කරන්නට සිදු වන්නේ එවැනි කුරුලෑවක් පමණයි. එය කලාතුරකින් ඇතිවිය හැකි තත්ත්වයක් පමණයි.
කුරුලෑ සැදෙන්නේ මුහුණේ පමණ ද?
නෑ කෙනෙකුගේ පිට සහ පපු ප්‍රදේශයේ පවා කුරුලෑ ඇතිවිය හැකියි. සමහර අයගේ පිටෙහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සිදුරු සහිත ස්වේද ග්‍රන්ථි පිහිටා තිබෙනවා. ඒවා පහසුවෙන් ආසාදනයට ලක් විය හැකියි. පිට ප්‍රදේශය තමන්ට පහසුවෙන් සබන් යොදා පිරිසුදු කර ගැනීමට ඇති අපහසුතාව එවැනි කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුවක්. අපිරිසිදු ප්‍රදේශවල විෂබීජ වර්ධනය වීම ඊට බලපානවා. මේ නිසා ස්නානය කරන අවස්ථාවන්හි තව කෙනකු ගේ උදවුවෙන් පිට ප්‍රදේශය හොඳින් පිරිසුදු කර ගැනීම වඩාත් යෝග්‍යයි.
කුරුලෑ මිරිකා හැරීමෙන් තව තවත් වර්ධනය වනවා කියන කතාව ඇත්ත ද?
සමහර කුරුලෑ වේදනාකාරීයි. ඒ වගේම අවලස්සනයි. එහෙත්, වේදනාකාරී හෝ අවලස්සන හෝ වූ පමණින් කුරුලෑවක් මිරිකීම නුවණට හුරු නෑ. ඇඟිලි සහ නිය මත ඇති විෂබීජ (බැක්ටීරියා) මඟින් ආසාදනය වැඩි විය හැකියි. එසේ වුවද කුරුලෑවක් සැරවවලින් පිරී, පිපිරීමට ආසන්නව තිබේනම්, හොඳින් සබන් දමා අත් පිරිසිදු කර එක්වරක් පමණක් සාමාන්‍ය ප්‍රමාණයට මිරිකා, එළියට එන සැරව පිරිසුදු පුළුන් හෝ කපු රෙදි කැබැල්ලක් මඟින් ඉවත් කිරීම වරදක් නොවේ.
කුරුලෑ බෝවනවා ද?
කුරුලෑවක තිබෙන්නේ ‘ප්‍රොපියොනි බැක්ටීරියම් ඇක්නිස්’ හා ‘ස්ට්‍රෙප්ටොකොකස් ඇල්බස්’ යන බැක්ටීරියාවන්. මෙම බැක්ටීරියා මුහුණේ ස්පර්ශ වුවහොත්, ඒ වගේ ම මුහුණේ කුරුලෑ ඇතිවීමට අවශ්‍ය පරිසර තත්ත්ව පවතී නම් එය කෙනෙකු ගෙන් තවත් කෙනකුට බෝ විය හැකියි. සමහර විට සිප ගැනීමකින් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි වුවද බොහෝ විට කුරුලෑ බෝවන්නේ මුහුණේ ඇති එවැනි ආසාදනයන් නිතර ස්පර්ශ කිරීම නිසා නිය තුළට යන විෂබීජ මුහුණේ තවත් තැනක ස්පර්ශ වීමෙනුයි. මේ ලෙස වැඩිපුරම බෝ විය හැක්කේ කුරුලෑ ඇති කෙනෙකු ගේ ම මුහුණේ එක් තැනක සිට තවත් තැනකටයි.
කුරුලෑ හට ගැනීමට බලපාන විශේෂ හේතු මොනවා ද?
මානසික පසු තැවීම, තරගකාරී ක්‍රීඩාවල නිරත වීම හා අවිවේකි බව සමඟ කුරුලෑ ඇතිවීමේ සම්බන්ධතාවක් තිබෙනවා. මීට අමතරව ආහාර පිසීමට භාවිත කරන තෙල් වර්ග, ආර්තවය, රූපලාවණ්‍ය කටයුතු සඳහා මුහුණේ ආලේප කරන තෙල් සහිත ද්‍රව්‍ය ආදිය කුරුලෑ ඇතිවීමට බලපානවා. සම තදින් ඇතිල්ලීම හා නොමේරූ කුරුලෑ නිතර තදින් මිරිකීමත් යෝග්‍ය නෑ.
මලබද්ධය හා කුරුලෑ අතර සම්බන්ධයක් තිබෙනවා ද?
මලබද්ධය ඇති අයට කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවක් නැතත් මලබද්ධය වැළැක්වීම සඳහා උදවු වන ආහාර එනම් එළවළු සහ පලතුරු කෙනෙකු ගේ සම, නිරෝගීව තබා ගැනීමටත් උදවු වෙනවා. නිරෝගී සමක් ඇති විට කුරුලෑ ඇතිවීම අඩු වෙනවා.
ගැහැනු ළමයින්ට වැඩිපුර කුරුලෑ ඇතිවන්නේ ඇයි?
කුරුලෑවලට ගැහැනු පිරිමි භේදයක් නෑ. දෙපිරිසටම කුරුලෑ ඇතිවිය හැකියි. පිරිමි ළමයින් ගේ ස්වේද ග්‍රන්ථිවලින් ‘ස්වේදය’ වැඩි වශයෙන් ශ්‍රාවය වීම නිසා ඔවුන්ගේ කුරුලෑ පැසවීම වැඩිවිය හැකියි. ගැහැනු දරුවන්ගේ නම් ආර්තවය දින ළං වන විට කුරුලෑවල වර්ධනයක් දැක ගත හැකියි.
මුහුණ පුරා කුරුලෑ වැඩුණු යොවුන් වියේ දරුවන් සමාජයට මුහුණ දෙන්නේ ලජ්ජාවෙන්. එවැනි දරුවන්ට දිය හැකි පණිවුඩයක් තිබෙනවා ද?
ඔව්. මෙහිදී වැඩි වගකීමක් පැවරෙන්නේ මවුපියන්ට. තමන්ගේ දරුවාගේ මුහුණේ ඇති කුරුලෑ පිළිබඳවත්, ඇය පත්ව සිටින අසහනකාරී තත්ත්වය පිළිබඳවත් මවුපියන් අවබෝධයකින් සිටිය යුතුයි. එය යොවුන් වියේ දී ඇතිවන තත්ත්වයක් බවත් එය කනගාටුවට කරුණක් නොවන බවත් වටහා දීම ඉතා වැදගත්. දරුවකු යෞවන වියට එළඹීමේ දී ශරීරයේ ඇති හෝමෝන පද්ධතිය හොඳින් උද්දීපනය වී ක්‍රියාත්මක වන බව මුහුණේ හට ගන්නා කුරුලෑවලින් සංකේතවත් කරන බවත් එය කිසිසේත් ම ලජ්ජාවට කරුණක් නොවන බවත් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි. යම් හෙයකින් දරුවා දිගින් දිගටම මේ අසහනකාරි බවින් පෙළුණේ නම් අධ්‍යාපන කටයුතු පවා අඩාළ කරග හැකි බැවින් වැඩිහිටියන් ඔවුන් ගැන වැඩි අවධානයක් දිය යුතුයි.
කුරුලෑ සඳහා නිවසේ දී කළ හැකි ප්‍රතිකාර මොනවා ද?
කුරුලෑ අවම කර ගැනීමට ශරීරයේ පිරිසුදු බව ඉතා වැදගත්. කුරුලෑ සහිත ප්‍රදේශ හොඳින් සබන් යොදා දිනකට කිහිප වරක් සේදීම, ඒ විගසම පිරිසුදු තුවායකින් පිස දමා සම වියළිව තබා ගැනීම කළ යුතුයි. කේක්, චොක්ලට්, දොදොල්, මස්කට් වැනි පැණි රස හා තෙල් සහිත ආහාර අඩු කොට එළවළු සහ පලතුරු වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගත යුතුයි. ඒ වගේ ම වේදනාවක් සහිත කුරුලෑවක් ඇති විට දිනකට දෙවරක් පමණ එය උණු වතුරෙන් තැවීමෙන් වේදනාව සමනය කරගත හැකියි. විශේෂයෙන් කුරුලෑ පිළිබඳව මානසික අසහනයට පත්වීම ද ඒවා වැඩි වීමට හේතු වන නිසා මේ පිළිබඳව පවුලේ ඥාතීන්, හිතවතුන් නිවැරැදි ආකල්පයකින් කටයුතු කිරීම ඉතා වැදගත්. එවිට අදාළ තැනැත්තා ගේ අසහනකාරී බව මඟහැර කුරුලෑවකින් ඇතිවන කායික කැළල මෙන් ම මානසික කැළල ද මකා දැමිය හැකියි.
කුරුලෑ නිට්ටාවට සුව කර ගත නොහැකි ද?
නිවැරැදි ආහාර රටාව, පෞද්ගලික ස්වස්ථතාව හා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම මෙහිදී වැදගත්. කුරුලෑ සඳහා ප්‍රතිකාර වර්ග කිහිපයක් තිබෙනවා. කෙනෙකුට ගැළපෙන ප්‍රතිකාරය කුමක් ද යන්න වෛද්‍යවරයකුට තීරණය කළ හැකියි. කවර ප්‍රතිකාර ක්‍රමයක් භාවිත කළ ද යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අවම වශයෙන් මාස දෙකක් පමණ ගත වන බව ද දැන ගත යුතුයි.
කුරුලෑ සඳහා ලබාදෙන ප්‍රතිකාර මොනවා ද?
කුරුලෑ සඳහා ඇතැම් වෛද්‍යවරු දියර, ජෙලි හෝ ක්‍රීම් ලෙස ඔසුසල්වලින් ලබාගත හැකි බෙන්සොයිල් පෙරොක්සයිඩ් නිර්දේශ කරනවා. සියයට 2.5 හා සියයට 5 සාන්ද්‍රණයන් ගෙන් ලබා ගත හැකි එම ඖෂධය දිනපතා නින්දට යාමට පෙර සම මත ආලේප කළ යුතුයි. ආලේපයට පෙර සබන් ගා මුහුණ හොඳින් පිරිසුදු කර වියළා ගැනීම වැදගත්. ඒ ඖෂධ සමහර අයට අසාත්මිකතා ඇති කළ හැකියි. එවැනි අය සහ මාස දෙකක් තුළ හොඳ ප්‍රතිඵල නොලැබෙන ඇය ඖෂධය නිතර කළ යුතුයි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ද මෙහිදී වැදගත්.
කුරුලෑ සඳහා ප්‍රතිජීවක ඖෂධ තිබෙනවා ද?
ඔව්. ප්‍රතිජීවක කුරුලෑ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ගයකි. පෙති හෝ කරල් වශයෙන් හෝ සමෙහි ආලේපයට දිය හෝ ක්‍රීම් වශයෙන් මේවා ලබා ගත හැකියි. සුදුසු වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණක් මේ ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්.
කුරුලෑවලට හෝමෝන ප්‍රතිකාර ලබා දෙනවා ද?
ඔව්. ඊස්ට්‍රඩියෝල් අඩංගු පවුල් සැලසුම් පෙති කුරුලෑ ඇති කාන්තාවන්ට සුදුසුයි. ඩෙක්සමෙතසෝන් නමැති ස්ටීරොයිඩය ද ඉතා සුළු මාත්‍රාවක්, ප්‍රති. ඇන්ඩ්‍රොජන් ඖෂධ සමඟ භාවිත කළ හැකියි. එහෙත් හිතුමතේ මේ ඖෂධ ගැනීම නම් කිසිසේත් ම සුදුසු නොවන බව මතක තබා ගත යුතුයි.
ඊස්ට්‍රඩියෝල් අඩංගු පවුල් සැලසුම් පෙති යොවුන් වියේ ගැහැනු දරුවන්ට සුදුසු ද?
එම ඖෂධ නියම කරන්නේ කුරුලෑ බහුල ලෙස ඇති අයටයි. යොවුන් වියේ ගැහැනු දරුවන් දරුවන් බලාපොරොත්තු නොවන නිසාත්, එම ඖෂධ නිසා ආර්තව චක්‍රයේ වෙනසක් නොවන නිසාත් එම ඖෂධය ගැනීම ගැටලුවක් නොවේ. දරුවන් බලාපොරොත්තු වන හා ගැබිනි මවුවරුන්ට මෙය නුසුදුසුයි. ඒ වගේම වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම පෙති භාවිත කළ යුතුයි.
තදබල ලෙස කුරුලෑ පැතිරුණ අයකුට දෙන ඖෂධ මොනවා ද?
ඉතා තදබල ලෙස කුරුලෑ ඇති අයට වෛද්‍යවරුන් ‘අයසොට්‍රෙට්නොයින්’ නමැති ඖෂධය නියම කරනවා. දිනපතා පෙති හෝ කරල් 1 බැගින් සති 15 - 20 ක් පමණ කාලයක් ගත යුතු නිසා මේ ඖෂධ මඟින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. ගැබිනි මවුවරුන්ට කිසිසේත් ම මේ ඖෂධය ලබා නොදෙන්නේ ඉපදෙන දරුවන් අංගවිකල වීමට හෝ ගබ්සාවක් ඇතිවීමට ඉඩ ඇති නිසයි.
හිස්හොරි ඇති අයට කුරුලෑ වැඩිපුර හැදෙනවා කියන කතාව ඇත්ත ද?
නෑ. හිස්හොරි හා කුරුලෑ අතර කිසිඳු සම්බන්ධයක් නෑ.
කුරුලෑ සුව වුවත් සමහර අයගේ කැළැල ඉතිරි වනවා නේද?
කුරුලෑ ඇති වුණේ සම මතුපිට නම් කැළැල පවතින්නේ නෑ. මුහුණේ වළවල් වැනි තත්ත්වයක් ඇති වන්නේ කුරුලෑ සමට යටින් පැතිරුණොත් පමණයි. සැරව ගෙඩිය සමට වඩා පහළට ගියේනම් එය සුව වෙන්නේ තන්තුමය පටලයෙන්. එවිට සම මතුපිට කැළල් ඇති වීමට පුළුවන්. එහෙත් නිසි ප්‍රතිජීවක ඖෂධවලට යොමු වීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකියි.
කෙනෙක් පානය කරන ජල ප්‍රමාණය හා කුරුලෑ අතර සම්බන්ධයක් තිබෙනවා ද?
ඕනෑම කෙනෙක් සිරුරේ සාමාන්‍ය ප්‍රමාණයට ජල මට්ටම පවත්වා ගැනීම ඉතා වැදගත්. දහදිය හොඳින් පිටවීම නිසා එවැනි අය ගේ සමෙහි තෙතමනය රඳා පවතිනවා. සම විෂබීජ වලින් ද තොරයි. එවැනි සමක කුරුලෑ ඇතිවීම අවම කරගත හැකියි.
කුරුලෑ වගේ ම ඉන්නන් ද කෙනෙකු ගේ රුව අවලස්සන කරනවා. අසහනකාරී ස්වභාවයක් ඇති කරනවා. ඇත්තටම ඉන්නන් කියන්නේ මොනවා ද?
ඉන්නන් යනු අප සිරුරට අහිතකර නොවන සම මතුපිට හට ගන්නා ගැට විශේෂයක්. වෛරසයක් මඟින් ඇතිවන මේ ගැටිති ඉංග්‍රීසි බසින් "wart" ලෙස හැඳින්වෙනවා. එහි ඇත්තේ සම මතුපිට ස්ථානගත වී ඇති වෛරසය ක්‍රියාත්මක වීමෙන් හටගත් මියගිය චර්ම සෛල රොත්තක්. සමහර අයගේ ඉන්නන් කිහිප දෙනෙක් පමණක් දැකගත හැකි වුවත් කලාතුරකින් ඇඟ පුරා ඉන්නන් පැතිරී සිටින රෝගීන් ද දැකගත හැකියි. සමහර විට මුහුණේ, සහ ලිංගේන්ද්‍රියන් ගේ පවා ඇති වෙනවා. කකුල්වල යටි පතුලේ හටගත් ඉන්නන් හඳුන්වන්නේ ගල් තැලුම් හෝ කටු පිළිකා නමින්. මෙසේ සිරුරේ විවිධ ප්‍රදේශවල ඉන්නන් ඇති කරන (Human Papilloma Virus) වෛරස් ප්‍රභේද පනහක් පමණ හඳුනාගෙන තිබෙනවා.
ඉන්නන් සුව කිරීමට ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද?
නෑ. කිසිඳු ප්‍රතිකාරයක් නොකර සිටියත් අවුරුද්දක් අවුරුදු එකහමාරක් පමණ කල් යන විට ඒවා ඉබේම නැතිව යනවා. ඉන්නන් ඇති කරන වෛරසයට විරුද්ධව අපේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වීම ඊට හේතුවයි. එසේ ඇතිවන ප්‍රතිශක්තිය නිසා වෛරස විනාශ වී යන අතර ඉන්නන් ද අතුරුදන් වෙනවා.
ඉන්නන් සුව කර ගැනීමට නිවසේ දී කළ හැකි ප්‍රතිකාරයක් තිබෙනවා ද?
නිවසේ දී මෙන් ම වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන්නන් එකක් දෙකක් නම් සුළු ශල්‍ය කර්මයකින් ඉවත් කළ හැකියි. මෙහිදී අදාළ ස්ථානය එන්නතක් මඟින් හිරි වැටීමට සලසනවා. විදුලි බලයෙන් රත්කළ කම්බියක් මඟින් පුළුස්සා ඉවත් කිරීමෙන් ද ඉන්නන් සුව කළ හැකියි. ඉන්නන් සුව කළ හැකි පහසුම ක්‍රමය ප්ලාස්ටරයක් ඇලවීමයි. ඕනෑම ඔසුසලකින් මිලදී ගත හැකි මෙම ප්ලාස්ටරය ‘කෝන් ප්ලාස්ටර්’ ලෙස හැඳින්වෙනවා. විවිධ වෙළෙඳ නම්වලින් ඒවා මිල දී ගත හැකියි. මේ ප්ලාස්ටරය මැද ඉන්නන් විනාශ කරන ඖෂධයක් තිබෙනවා. එය අළවා ටික දිනකින් ඉන්නා ගැලවී යනවා.
ඉන්නන් බෝ වනවා ද?
ඔව්. වෙනත් කෙනෙකු ගේ ඉන්නෙක් ස්පර්ශ වීමෙන් තවත් කෙනෙකුට පහසුවෙන් බෝවිය හැකියි. ඉන්නන් ඇති අය පිහිනුම් තටාකවල නාන විට පවා බෝවිය හැකි අතර එය සිදුවන්නේ ඔහුගේ සිරුරේ වයිරසයට ප්‍රතිවිරුද්ධ ශක්තිය ඒ වන විටත් වර්ධනය වී නොතිබේ නම් පමණයි. යම් හෙයකින් මේ වෛරසය කෙනකුගේ සිරුරට ඇතුළු වූයේ නම් ඉන්නන් මතුවීම සඳහා මාස කිහිපයක් ගත විය හැකියි.
ඉන්නන් ඇති කෙනෙක් වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය ද?
එය වෛද්‍යවරයකුට පෙන්වීමට තරම් කලබල නොවිය යුතු වුවද ඔබට සෑදී ඇත්තේ ඉන්නන් ද එසේ නැතිනම් වෙනත් රෝගයක් ද යන්න පිළිබඳ සැකයක් තිබේනම් වෛද්‍යවරයකු හමුවීම නුවණට හුරුයි. ඊට හේතුව සමහර විට ඉන්නන් ලෙස පෙන්වන රෝග ලක්ෂණ පිළිකාවක් හෝ වෙනත් භයානක රෝගයක, මුල් අවස්ථාව වීමට ඉඩ ඇති නිසයි. එහෙත් ‘ඉන්නෙක්’ පිළිකාවක් බවට පත් නොවන බව ද මතක තබා ගත යුතුයි. මීට අමතරව මුහුණේ හෝ ලිංගේන්ද්‍රියේ ඉන්නන් තිබේ නම් වෛද්‍යවරයකුට පෙන්වීම වැදගත්. ඊට හේතුව මුහුණේ ඇතිවන ඉන්නන්ට ආවාට ගියාට ප්‍රතිකාර කිරීමෙන් කැළැල් ඇතිවිය හැකි වීමයි. ඒ වගේම ලිංගේන්ද්‍රියන් ගේ හට ගන්නා ඉන්නන් සමාජ රෝගයක් ලෙස ලිංගික ඇසුර මඟින් බෝවිය හැකියි. එවැනි පුද්ගලයෙක් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගත යුතු වන්නේ ඒ සමග වෙනත් සමාජ රෝග ද වැලඳීමට ඉඩකඩ ඇති නිසයි.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත