Biz Log
Classifields
Biz Log
Classifields

ඩිම්බ පිටවන දිනය හඳුනාගත හැකි ක්‍රමවේදය

ඩිම්බ පිටවන දිනය හඳුනාගත හැකි ක්‍රමවේදය

මහනුවර ශික්ෂණ රෝහලේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් අබේකෝන් මහතා මෙවර තොරතුරු ගෙන එන්නේ, මදසරුභාවයට ලක්ව ඇතැයි යම් තරමකට තහවුරු කළ කාන්තාවන් ඉදිරියේදී කළ යුතු පරීක්ෂණ සහ අදාළ කරුණු පිළිබඳවයි.  මෙම අවස්ථාව තෙක් සොයාගත් දත්ත මත ඉදිරි පරීක්ෂණ පිළිබඳව තීරණය කෙරෙනවා. කාන්තාවකගේ පරීක්ෂණ බොහොමයක් ආර්තව චක්‍රය හා සම්බන්ධ වන අතරම ඇය නිවසේදීම විමසිලිමත්ව සිටී නම්, පරීක්ෂණ බෙහෙවින් පහසු වෙයි. ඒ සඳහා පහසුව තකා අවධානයෙන් පසුවිය යුතු කරුණු පිළිබඳව සලකා බලමු. කාන්තාවකගේ ඩිම්බකෝෂයේ ඩිම්බ පිටවන නියම දිනය නිවසේදීම හඳුනාගත හැකි සරල ක්‍රම නම්, 

දිනපතා උදෑසන තේ පානයට පෙර ශරීර උෂ්ණත්වය මැන සටහන් කිරීම. 

මෙහිදී සාමාන්‍ය උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37 හෝ ෆැරන්හයිට් අංශක 98.4 මාසයේ දින 30 ඇතුළත දශම 5 හෝ ඒ ආසන්න ඊට වැඩි සංඛ්‍යාවක් පෙන්නුම් කරයි. එම දිනය ඩම්බයක් පිටවන දිනය ලෙස හඳුනා ගත හැකියි. 

යෝනි මාර්ගයෙන් ස්වභාවිකව නිකුත් වන ශ්‍රාවය පිරක්සීම. 

මෙහිදී මෙම ශ්‍රාවය සාමාන්‍ය දිනයන්හිදී වතුර මෙන් ගලායන ස්වභාවයක් පවතී. එහෙත් ඩිම්බයක් පිටවන දිනයේදී එම ශ්‍රාවය තරමක් ඇදෙන හෝ ඇලෙන සුළු ගතියකින් යුක්ත වෙයි. දියුණු රටවල නම් හෝමෝන වෙනස් වීම නිවසේදී පරීක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි, පටු තීරයන් (strip) ඔසුහල්වල ඇති මුත් ශ්‍රී ලංකාවේ එවන් පහසුකම් නැත. කෙසේ වුවද ඩිම්බයක් පිටවන දිනය නිවසේදී අනුමානව හෝ සොයාගත හැකිවේ නම්, එදිනට ලිංගිකව සම්බන්ධ විය හැකි නම්, බොහෝවිට ගැබ් ගැනීමක් ඇතිවීමේ ඉඩකඩ වැඩිය. මේ හැරුණුවිට, පර්යේෂණාගාරයක පරීක්ෂණ වෙත, යොමුවන්නේ නම්, වෛද්‍ය උපදෙස් අනුව නිසිකලට වේලාවට, ඒ සඳහා යොමුවිය යුතුයි. දින විසිඅටකට වරක් නිශ්චිතවම ඔසප්වීම සිදුවන කාන්තාවකට නම්, නොවරදවාම දින විසි එකකදී ලේ සාම්පලයක් ලබාදී පරීක්ෂණ වාර්තාව අනුව ඩිම්බ පිටවන්නේ ද නැද්ද යන්න පිළිබඳව සහ ඩම්බ පිටවන දිනය පිළිබඳව දැනගත හැකියි. ඩිම්බ පිටවීම සහ ඩිම්බයේ ස්වභාවය පිළිබඳව නිශ්චිත තොරතුරු දැන ගැනීමට , ස්කෑන් ක්‍රමයක් ද තිබෙයි. එහිදී යෝනි මාර්ගය හරහා ඇතුලු කරන ලද කුඩා කැමරාවක් ආශ්‍රයෙන් ඩිම්බය පිළිබඳව සොයා බලනු ලබයි. එහි තවත් වැදගත් අවස්ථාවවක් වන්නේ, මෙමඟින් ඩිම්බයක් ක්‍රියාශීලී පරිදි (මෝරා ඇත්ද නැද්ද යනවග) තිබෙන්නේ ද යන්න නිගමනය කළ හැකි වෙයි. එම නිගමනයන් අනුව ඩිම්බ පිටනොවන්නේ නම්, ඩිම්බ වර්ධනය වීම සඳහා ඖෂධ ලබාදී නැවත නැවතත් පරීක්ෂණ වෙත භාජනය කොට, ගැටලු නිරාකරණය කිරීමට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා කටයුතු කරයි.  

ඇතැම්විට දරු උපත් ප්‍රමාද වීමට බෙහෙවින් බලපාන තවත් කරුණක් වන්නේ, පැලෝපීය නාලවල අවහිරතාවයක් හෝ වෙනත් ප්‍රශ්නයක් ඇතිවීමයි. 

මේ පිළිබඳව නිවසේදී පරීක්ෂණයක් පැවැත්විය නොහැකි අතරම වෛද්‍ය උපදෙස් මත, ලැපරස්කොපි පරීක්ෂණයක් සිදු කර ගත යුතුයි.  සිහිනැති කරමින් කුඩා කැමරාවක් උදරයට ඇතුලු කර, පියවි ඇසට ගර්භාෂය අභ්‍යන්තරය දැකගත හැකි අතරම පැලෝපීය නාල, ඩිම්බකෝෂ සහ ඒ ආශි‍්‍රතව ඇති සියලුම ගමන්මග පැහැදිලිව ඇත්ද දැනගැනීමට පහසු වෙයි. මෙයට අමතරව පැලෝපීය නාල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට, ඩයි යොදමින් සිදු කරන එක්ස්රේ පරීක්ෂාවක් සිදු කරනු ලබයි. ඒ අතරම ලැපරස්කොපි පරීක්ෂාව මඟින්, ගර්භාෂය අභ්‍යන්තරයේ සංකූලතා, ගර්භාෂයේ ගෙඩි වැනි තත්ත්වයන් ද දැකගත හැකියි. 

තවත් පරීක්ෂණ ක්‍රමවේදයක් වන්නේ හෝමෝන පරීක්ෂාවයි. 

හෝමෝන පරීක්ෂාවට ලක් කළ යුත්තේ, හයිපොතැලමසයේ පිටියුටිරියේ තෛයිරොයිඩ් ග්‍රන්ථියේ සාඵලතාවක් හෝ දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගයක් ඇති අයෙකුය. මෙවන් පුද්ගලයින් අදාළ රුධිර පරීක්ෂාවට ලක්ව තමන්ගේ සිරුරේ හෝමෝන සම්බන්ධයෙන් ඇතිව තිබෙන බලපෑම පරීක්ෂා කරවාගත යුතුය. 

තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ කාන්තාවන්ගේ ලිංගාශි‍්‍රත රෝග පිළිබඳව සොයා බලා ප්‍රතිකාර කිරීමයි. 

මෙම තත්ත්වයේ ස්වරූපය අනුව ද ගැබ් ගැනීම ප්‍රමාද වීමේ ඉඩ තිබේ. සියලුම පරීක්ෂණ මත කාන්තාව පත්ව ඇති අපහසුතාව සහ ගැබ් ගැනීමට ඇති බාධාව පිළිබඳව නිගමනයකට පැමිණ, නිසි ප්‍රතිකාර ඖෂධ මඟින් හෝ එන්නත් මඟින් හෝ සියුම් කුඩා ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර ලබාදීම ඇරඹෙයි. මෙම සෑම ප්‍රතිකාරයක්ම වෛද්‍ය උපදෙස් මත ලබාදීම අතිශය වැදගත් වෙයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, තම අභිමතය පරිදි ඖෂධ හෝ එන්නත් ලබා ගතහොත්, අතුරු ආබාධවලට හෝ ශරීර අභ්‍යන්තරයේ සැගව ඇති වෙනත් රෝගවලට දැඩි බලපෑම් ඇති වී බරපතල තත්ත්වයක් උද්ගත වීමට ඉඩකඩ සැලසෙයි. මේ නිසාවෙන් සෑම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතුය.

මහනුවර ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. අබේකෝන්.
උපුටා ගැනීම දිනමිණ

Share This Article