නොසිතූ මොහොතක සිදුවන රුධිර වහනය ගබ්සාවීමක්ද
සරු කාලය :
උපතින්ම කාන්තාවකගේ ශරීරය නිර්මාණය වී ඇත්තේ දරුවකු පිළිසිඳ ගැනීමේ ධාරක ශක්තිය ඇතිවය. නමුත් දරු පිළිසඳ ගැනීමකට කායිකව හා මානසිකව සුදුසුම අවධිය වන්නේ වයස අවුරුදු 20ත් 30ත් අතර කාල සීමාවය. එම නිසා ඔබ නිරෝගී දරු සම්පතක් බලාපොරොත්තු වන්නේ නම් දරු පිළිසිඳ ගැනීමකට වඩාත් සුදුසු වන්නේ මෙම අවධියයි.
පිළිසිඳ ගැනීම හඳුනා ගැනීම :
කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රයේ පවතින විසමතා මගින්ද දරු පිළිසිඳ ගැනීම පිළිබඳ තහවුරු කර ගත හැකිය. එනම් සාමාන්‍යයෙන් ආර්තවය සිදුවීමට නියමිත දින ඉකුත් වී සතියකට වඩා පසුවෙයි නම් ඒ පිළිබඳ ඔබ තරමක් විමසිලිමත් වීම වැදගත්ය. නමුත් ඇතැම් අයගේ ශරීරයේ පවතින විවිධ සංකූලතා නිසා හෝ පවුල් සැලසුම් ප්‍රතිකාරවලට යොමුව සිටින්නේ නම් මෙම දින ගණන් මඟින් ඒ බව තහවුරු කරගැනීම නිශ්චිත නොවන අවස්ථාද ඇත.
පූර්ව ගර්භණී අවධියේදී :
කාන්තාවකගෙන් මෙවන් ගති ලක්ෂණ පහළ වීමෙන්ද ඒ බැව් තහවුරු කර ගත හැකිය. එම ලක්ෂණ අතර, උදේ කාලයේ වමනය යෑම, ක්ලාන්ත ගතිය, යටි බඩේ වේදනාව, පියයුරුවල වේදනාව ඇතිවීම, ආහාර අරුචිය ආදිය විය හැකිය. ඉහත ලක්ෂණ පෙන්නුම් කරමින් ආර්තවය නැවතී සතියකට වඩා ඉක්ම ගොස් ඇත්නම් ඒ බැව් මුත්‍රා පරීක්ෂණයකින් නිවැරැදිව තහවුරු කරගැනීමට පුළුවන. තවද පිළිසිඳගෙන සති 4ක් ඉක්ම ගිය පසු සිදු කරන රුධිර පරීක්ෂණයකින්ද මේ බැව් තහවුරු කරයි. පිළිසිඳ ගැනීමක් සිදුව සති 5ත් 6ත් අතර කාලයේදී සිදු කරන මුත්‍රා සාම්පල පරීක්ෂණයෙන් මේ බව පහසුවෙන්ම තහවුරු කරගත හැකි වන අතර එය ඉතාම පහසු හා ලාභදායී ක්‍රමයක්ද වේ. මෙලෙස දරුවෙක් පිළිසිඳ ගත් බව හඳුනා ගත් පසුව ඔබ වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතුමය. එහිදී ඔබගේ අවධානය ලබා දිය යුතු කරුණු කාරණා රාශියකි.
ලේ වහනය වීම :
ගර්භණී අවදියේදී සිදුවන ලේ වහනය වීමක් යනු ඔබේ දරු ගැබට ඇති අවදානම් සහගත තත්ත්වයකි. මෙය ගබ්සාවකට අනතුරු ඇඟවීමක් හෝ ගබ්සාවක ලක්ෂණයක් විය හැකිය. නමුත් ගර්භණී තත්ත්වය හඳුනා නොගෙන සිටින අයටත් මෙවැනි ලේ වහනයක් සිදුවීමට පුළුවන. එහෙත් අද අපගේ අවධානය යොමු වන්නේ ගර්භණීභාවය හඳුනාගත් විට වන ලේ වහනය වීමක් පිළිබඳය. මෙලෙස ලේ වහනය වීම් සිදුවන අවස්ථා 2ක් පවතියි. එනම් කළලය ඇතිවී මුල් මාස 3 ඇතුළත හා ප්‍රසූතියට ආසන්න සමයේදී වැදෑමහ පහත් වීමෙන්ද ගැබ්ගෙල ආසන්නයේ පිහිටීමත් නිසා ලේ වහනය වීමයි. අප පෙර සඳහන් කළ පරිදි මෙය ගබ්සාවක පූර්ව අනතුරු ඇඟවීමක් හෝ ගබ්සාවක් වූ බවට නිගමනය කළ හැකි සාධකයක් වීමට හැකියි.
ගබ්සාවක් වීම යනු :
නිසි ආකාරවම ගබ්සා වීමක් ලෙස හඳුනා ගන්නේ මෙවැන්නකි. එනම් කලලයට සති 28ක් සම්පූර්ණ වීමට පෙර දරු උපතක සිදු වුවහොත් එය සලකනු ලබන්නේ ගබ්සාවක් ලෙසටය. මන්ද මෙම දරුවා ජීවයක් සහිතව බිහි වුවද ලංකාවේ වෛද්‍ය තාක්ෂණය එම දරුවා ජීවත් කරවීමට තරම් සුදුසු තත්ත්වයක තවමත් නොමැති බැවිනි. එමෙන්ම ඉහත කී ආකාරයට යම් ලේ වහනය වීමක් සිදු වුවහොත් ළඟම ඇති රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවට යා යුතුමය. එවිට මව Scan පරීක්ෂණයකට භාජන කරමින් රෝහල්ගත කර සායනික ඉතිහාසය සොයා බලා නිසි ප්‍රතිකාර සිදු කරනු ලබයි. කළලයේ වැඩෙන දරුවාගේ ගැටලුකාරී තත්ත්ව පරීක්ෂා කර බැලීමට විවිධ ස්කෑන් පරීක්ෂණවලට භාජන කෙරේ. ප්‍රධාන වශයෙන් මෙම ස්කෑන් පරීක්ෂණ සිදු කරන අවස්ථා 3කි.
පළමුව ගර්භණී සමයේ මාස 10ක කාල වකවානුව කොටස් 3කට බෙදා ගනිමින් මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කරයි :
- එනම්, පළමු මාස 3න් පසු, දෙවැනි මාස 3න් පසු, අවසන් මාස 3න් පසු කාල සීමාවන්වලදීය. මින් පළමු ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ නිසි පැවැත්ම හා දරුවන් කී දෙනෙක් සිටීද යන්න පිළිබඳ දැන ගැනීමට ඔබට හැකිවනු ඇත.
- දෙවැනි ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ ආබාධිතභාවයක් පැවතුණහොත් එය හඳුනා ගැනීමට හැකිය.
- තෙවැනි ස්කෑන් පරීක්ෂණය සිදුවන්නේ දරු ගැබට සති 34-38ක් පමණ වන විටය. මෙහිදී දරුවාගේ පිහිටීම එනම් හැරී සිටින ආකාරය කලලයේ ඇති වතුර බෑගයේ Water bag දරුවාට ප්‍රමාණවත්ද? දරුවාට රුධිරය නිසි ආකාරව ලැබෙන්නේද යන්න පිළිබඳ පූර්ව නිගමනයකට එළැඹීමට පුළුවන. නමුත් ලංකාවේදී නම් පළමු ස්කෑන් පරීක්ෂණයක් සිදු කළද ඉන් එතරම් ප්‍රතිඵලයක් නොමැත. මන්ද මෙහිදී දරුවාගේ යම් යම් ගැටලුකාරී තත්ත්ව පෙර තියා හඳුනා ගත්තද එයට නිසි පිළියමක් ගැනීමට නෛතිකව ඉඩහසරක් නැති බැවිනි. දරුවාගේ ඔළුව වර්ධනය වී නොමැති නම් හෝ දැඩි අංගවිකල බවක් පවතින බව තහවුරු වුවත් එම කළලය විනාශ කිරීමට අපට නීතියෙන් ඉඩ නොදෙයි. නමුත් බටහිර රටවල නම් මේ සඳහා නීතියෙන් ඉඩ හසර ලබා දී ඇත. මවගේ ජීවිතයට හානිදායක තත්ත්වයක් මතුවන අවස්ථාවකදී පමණක් එලෙස දරු ගැබ ඉවත් කිරීමට ලංකාවේ අනුමැතිය දී ඇත.
කලලය ඉවත් කරන්නේ නම් :
මෙහිදී පළමු රුධිරය වහනය වූ දින සිටම ගබ්සාවක් සිදුවූ බව පරීක්ෂා කර එය වැළැක්වීමට සිදු කළ හැකි සියලුම ප්‍රතිකාර වෛද්‍යවරු විසින් සිදු කරති. මුල් මාස 3 ඇතුළතදී මෙවන් ගබ්සා වීමක් සිදුවන්නේ බොහෝ විට දරුවාගේ නිසි වර්ධනයක් නොමැති වීම හේතු කොටගෙනය. දරුවාගේ යම් විකෘතිතාවක් පවතී නම් එයට ප්‍රතිකාර කළ නොහැකියි. නමුත් මවගේ යම් දුර්වලතාවක් ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා ප්‍රතිකාර කිරීම වඩා සුදුසු වන්නකි. මෙම ප්‍රතිකාර සිදුකරනු ලබන්නේ ගබ්සාව සිදුව ඇති තත්ත්ව පිළිබඳ නිගමනයකට පැමිණීමෙන් පසුවය. යම් තරමක් ලේ වහනය වුවද එය කුස තුළ වැඩෙන දරුවාට අවදානමක් නොවන අවස්ථාද ඇත. එය තීරණය වන්නේ දරුවාගේ හෘද ස්පන්දනය නිසි ලෙස පරීක්ෂා කර බැලීමෙන් පසුවය. එලෙස ගබ්සාවක් සිදුව ඇත්නම් කලලය ඉවත් කරන නිසි ක්‍රමවේද මඟින් වෛද්‍යවරු විසින් එය සිදු කරන අතර එයට නිසි කාල සීමාවක් නොමැත.
මෙහි අවදානම :
මේ ආකාරයට එක්වරක් ගබ්සාවට ලක්වූ අයකුට දෙවැනි වර එලෙස සිදුවීමේ වැඩි අවදානමක් පවතියි. දෙවැනි හා තෙවැනි වර එසේ සිදුවේ නම් එම අවදානම තවත් වැඩිවීමට පුළුවන. මෙවන් අවස්ථාවක මව නිසි පරීක්ෂණවලට භාජන කරමින් දුර්වලතා හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ යුතුය.
ගර්භාෂයට පිටත පිහිටීම් :
ඇතැම් විට දරුවකුගේ පිළිසිඳගැනීමක් ගර්භාෂයෙන් පිටත සිදුවන දුර්ලභ අවස්ථාද තිබිය හැකිය. යම් නාළයක ඩිම්බ කෝෂ මත හෝ රුධිර කුහරයක් තුළ හෝ මෙම දුර්ලභ පිහිටීම විය හැකිය. මෙවැනි අවදානම් අවස්ථාවකදී වුවද ගබ්සාවීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. එවිට, යෝනි මාර්ගයේ ලේ ගලායෑම, යටිබඩ වේදනාව, ක්ලාන්ත ගතිය ආදී ලක්ෂණද පෙන්නුම් කරන අවස්ථා ඇත. එවිට වහාම සුදුසු ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාරවලට යොමු විය යුතුය. මෙම සංකූලතාවලින් කල්තියාම ඈත්ව සිටීමට නම් ඔබ නිවැරැදි චර්යාවන් පිළිබඳවද දැනුම්වත් විය යුතුමයි. එනම් ගර්භණී සමයේදී විශේෂයෙන්ම මුල් මාස 3දී පමණ ගැස්සීම්වලට භාජන නොවන සේ සිය ඉරියව් පවත්වා ගන්න. එමෙන්ම මානසික සැහැල්ලු බවත් මේ අවදියේදී මවකට අත්‍යවශ්‍යම සාධකයකි. ආහාර ගැනීමේදී ද සමබල ආහාර වේලකට යොමු වීමට නිතරම වගබලා ගත යුතුය. එමෙන්ම මවට ආසාත්මිකතා ඇති නොකරන ඕනෑම ආහාරයක් මෙම කාලයේදී වුවද ගැනීම අහිතකර නොවන්නක්. මේ අයුරින් ගර්භණී අවධියේදී සිදුවිය හැකි අවදානම් සහගත තත්ත්ව පිළිබඳ දැනුම්වත් වීමෙන් නිරෝගී දරුවකු බිහි කරගැනීමට ඔබටද හැකි වනු ඇත.
ශාලිකා රංගනී සමරදිවාකර
උපුටා ගැනිම මව්බිම පුවත්පත