Biz Log
Classifields
Biz Log
Classifields

සම රැලි වැටීම වලකන ඔසු ශාකය මදුරු තලා

සම රැලි වැටීම වලකන ඔසු ශාකය මදුරු තලා

අද අප අවට පරිසරයේ සිටින මදුරුවන් තරමටම මදුරු දඟර වර්ග තිබුණ ද දැනට කලකට පෙර මදුරු දඟර කියා දෙයක් තිබුණේ නැත. අද තරමට මදුරුවන් ද නොසිටි එම කාලයේ මදුරු උවදුරින් ගැලවෙන්නට විවිධ ස්වභාවික දේ යොදා ගැනුණි. මෙසේ යොදා ගත් එක් දෙයක් වූයේ "මදුරුතලාය". Madurthala මදුරුතලා යනු කුඩා ගස් වර්ගයකි. වල් පැළෑටියක් ලෙස වැවෙන මේවා ගලවා ගෙනැවිත් හොඳින් තලා දුම් අල්ලනු ලැබිණි. මේවා එකල මෙම කාර්යය හැරුණුවිට මදුරු තලා අන් කිසිවක් සඳහා ප්‍රයෝජනයට නොගැනුණි. එහෙත් එය ඖෂධ පැළෑටියක් වග නම් වැඩිහිටියෝ දැන සිටියහ. Ocimum tenuiflorum යන විද්‍යාත්මක නම්වලින් හඳුන්වනු ලබන මෙම පැළෑටිය පිළිබඳ මෙසේ කතා කරන්නට හේතු වූයේ ප්‍රංශය වැනි යුරෝපයේ මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවන රටවලින් මේවා සඳහා ලොකු ඉල්ලුමක් පැවැතීම නිසාය. විශේෂයෙන් මදුරුතලා අමුද්‍රව්‍යයක් වශයෙන් නිපද වන ඖෂධ මගින් සමෙහි රැලි වැටීම් සහ වියපත් දුරු කරන බව ඒ සම්බන්ධ පරීක්ෂණ මගින් සනාථ වී තිබේ. අලංකාර සමක් ලබාගැනීම සඳහා නිපදවන විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා එම රටවල් මදුරුතලා ඉතා විශාල වශයෙන් ආනයනය කරයි. නමුත් රූපලාවන්‍ය කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස මදුරුතලා යොදා ගන්නා බවක් අප රටේ බොහෝ දෙනෙක් නොදනිති. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් මදුරුතලා දක්නට ලැබේ. මදුරුතලා වර්ග ගණනාවකි. අප රටෙහි මෙය දේශීය ඖෂධයක් පමණක් වුවද ඉන්දියාවේ තත්ත්වය එයට වඩා වෙනස්ය. ඉන්දියාවේ මෙය වන්දනීය පැළෑටියකි. තුල්සි හෝ බැසිල් යන නම්වලින් හඳුන්වන මෙම පැළෑටිය ඔවුනට ශුද්ධ වස්තුවකි. මෙය ශරීරයේ ස්පර්ශ වීමෙන් පමණක් වුවද පව් සේදී යන බැව් ඔවුහු විශ්වාස කරති. ඔවුහු මෙය දිනපතා වන්දනාමාන කරනා පැළෑටියකි. මරණයේ දෙවියා වූ "යම" මුලා කරන්නට මෙම පැළෑටියට හැකියාව ඇතැයි විශ්වාස කරනා ඔවුහු සිය ගෙවත්තේ මේවා සිටුවා ගැනීමට විශේෂ උනන්දුක් දක්වති. ක්‍රිෂ්ණා දෙවියන් මෙම පැළෑටිය වගා කළ බවට මතයක් පවතින නිසා එම දෙවියන් වන්දනාමාන කිරීම සඳහා මදුරුතලා විශේෂයෙන් යොදා ගැනෙයි. මේවා ආගමික විශ්වාස පමණක් වුව ද සැබැවින්ම මදුරුතලාවල ඇති ඖෂධීය වටිනාකම අතිමහත්ය.

රූපලාවන්‍ය නිෂ්පාදනයන්ට ප්‍රසිද්ධියට පත්ව ඇති යුරෝපීය රටවලින් ද මෙම ශාකයට සෑහෙන ඉල්ලුමක් තිබේ. මෙයින් තෙල් වර්ගයක් නිපදවා ගන්නා අතර එය සමෙහි නිරෝගී බව රැක ගන්නට අනාදිමත් කාලයක සිටම ඉන්දියානුවෝ හුරුපුරුදුව සිටිති. මෙය සමෙහි ඇති අහිතකර බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන බැව් පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත. එමෙන්ම සමෙහි අලංකාර වර්ණවත් බවක් ඇතිකිරීම සඳහා ද මෙම පැළෑටියෙන් නිපදවා ගන්නා ඖෂධ භාවිතා කෙරේ. මේවා වෙළෙඳපොළේ දක්නට ලැඛෙන්නේ ද ‘හෝලි බැසිල්’ යන ඉන්දියාවේ මේවා හඳුන්වනු ලබන නමිනි. මිලි ග්‍රෑම් 500 පෙති වශයෙන් ඇති මෙම ඖෂධ නිසි පරිදි භාවිත කිරීමෙන් සම අලංකාරවීම හා නිය ශක්තිමත්වීම සිදුවන බැව් පැවැසේ. එමෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පහසු කරවීම, සිරුරේ ග්ලූකෝස් මට්ටම සමබර කිරීම ආදියටද හේතුවන බැව් සොයාගෙන තිබේ. මීට අමතරව මදුරුතලා පැළෑටියේ තවත් බොහෝ ඖෂධීය ගුණාංග දක්නට ලැබේ. මේවායේ කොළ වියළා තනා ගන්නා කුඩු පානය කිරීමෙන් සුළඟින් බෝවන රෝගවලින්, පාරිසරික වෙනස්කම් නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන, කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ආදියෙන් ආරක්ෂාව ලබාදෙයි.

මීට අමතරව ස්වසන පද්ධතිය ශක්තිමත් කිරීමට, ගැස්ට්‍රයිටිස් වැනි විවිධ උදරාබාධවලින් සහනය ලැබිමට, මුත්‍රා පද්ධතියේ නිරෝගී බව රැක ගැනිමට ද මදුරුතලා පැළෑටියේ ඖෂධීය ගුණය හේතුවේ. එමෙන්ම සමෙහි පිළිකා නසන්නට ද මෙහි අපූරු හැකියාවක් ඇති බැව් පෙනෙන්ට තිබේ. මදුරුතලා පිළිබඳ නිරන්තර පර්යේෂණවල යෙදී සිටින ඉන්දියාවේ රාජස්ථාන් සරසවිය මෑතකදී මෙයින් ගත හැකි තවත් අපූරු ප්‍රයෝජනයක් පිළිබඳ ලොවට හෙළි කළේය. ඒ ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ඉවත් කිරීමට මෙහි අපූරු හැකියාවක් තිඛෙන බවය. අප රටෙහි ද උතුරු මැද පළාතේ ජීවත් වන බොහෝ දෙනෙක් එහි පවතින අධික ෆ්ලොරයිඩ් නිසා විවිධ දත් රෝගවලින් පීඩා විඳිති. එබැවින් මෙම ප්‍රයෝජනය අප රටට ද පොදුය. මෙම පැළෑටිය යොදාගනිමින් ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ඉවත් කිරීමට වැය වන්නේ ද අඩු මුදලකි. දැනට පවතින තාක්ෂණයට අනුව ජලයේ ඇති වැඩි ෆ්ලෝරයිඩ් ඉවත් කිරීම සඳහා අධික මුදලක් වැය වේ. අනෙක් එම තාක්ෂණය පරිසර හිතකාමී ද නොවේ. මදුරුතලා පත්‍ර ජලයේ පොඟවා තැබිමෙන් අධික ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් ඉවත් කරන්නට හැකි බැව් රාජස්ථාන් සරසවිය කළ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. අනෙක මෙම අඩුවන මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජලයේ තිබිය යුතුයැයි නිර්දේශ කොට ඇති ප්‍රමාණයටද ඉතා ආසන්නය. අප රටෙහි ඉතා අඩු සැලකිල්ලකට ලක්ව, බොහෝ විට වල් පැළෑටියක් යැයි සිතමින් උදුරා විසි කරනා මදුරුතලා පැළෑටියේ ඖෂධීය ගුණ සැබැවින්ම තවත් බොහෝය. නමුත් අප රටෙහි ඇති අනෙකුත් ඖෂධ පැළෑටි සේම මෙයින්ද කිසිවකු එතරම් වටිනා ප්‍රයෝජනයක් ගන්නා බව නම් පෙනෙන්නට නැත.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත

Share This Article