විශ්‍රාම ගත් අය වැඩියෙන් නින්දට යෑම එතරම් ගුණදායක නෑ
තාත්තා සේවයෙන් විශ්‍රාම ගන්නා විට ඔහුට අවුරුදු හැට සම්පූර්ණවී සිටියේ ය. වසර ගණනක් තිස්සේ අප දුටුවේ උදෑසන කාර්යාලයට ගොස් සවසට නිවෙසට එන තාත්තාය. විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු දවස කෙසේ ගත කරනු ඇති දැයි අපට අවබෝධයක් නොතිබිණි. එහෙත් විශ්‍රාමික දිවියේදී නිවසේ රැඳි සිටින තාත්තාට කරන්නට ඕනෑ තරම් වැඩ තිබිණි. අපේ තාත්තා කවදත් අම්මාට පෙර අවදි වූයේ ය. හැම උදයකම මුළුතැන් ගෙයි ළිප දල්වා කේතලය උතුරවා තේ සෑදීමට කළමනා සකස් කළේ තාත්තා ය. ඉන්පසුව ඔහු සාලය, මිදුල පිරිසුදු කර මල් වට්ටියක් කඩා පහන් දල්වා බුදුන් පිදුවේ ය. ඒ අතර තුර ඔහු ගෙවත්තේ ඇවිද සිටුවා ඇති එළවළු මල් පාත්තිවලට සාත්තු කළේය. වතුර දැම්මේ ය. මේ සියල්ල ඉටුකර ඔහු නියමිත වේලාවට කාර්යාලයට ගියේ ය. සවසට නිවෙසට පැමිණි පසු ඔහු වැඩි වේලාවක් ගත කළේ ගහකොළ අතර ය. එදා අඳින ඇඳුම ඔහු සවස් වරුවේ සෝදා දැමුවේය. ඒ අතර අපට පොත පත කියා දුන්නේ ය. තාත්තා හිතුණොත් පොතක් පතක් කියෙව්වේ ද ගුවන් විදුලියට සවන් දෙන්නේ ද හැන්දෑවට ය. ඔහු නිවසේ දී අප සැම සමඟ සතුටින් ගත කළේ ය. ඔහු කාර්යය බහුල ය. කාර්යය බහුල තාත්තා විශ්‍රාම ගිය පසු ඔහුගේ දින චර්යාව වෙනස් වනු ඇතැයි අපි සිතුවෙමු. තාත්තා විශ්‍රාම යනවිට අප රැකියාවල නිරත ය. ගෙදර නතර වූවා කියා තාත්තාගේ කාල සටහනේ මහා ලොකු වෙනසක් සිදුවූයේ නැත. ඔහු සුපුරුදු වේලාවටම අවදි වූයේ ය. පෙරටත් වඩා ගෙවත්තේ බෝග වැවුවේ ය ඒ අතර බුලත්, දබල, වම්බටු, බණ්ඩක්කා මෙන් ම මෑකරල් ද විය. තාත්තා එළවළු පාත්ති අතරේ ම මල් වර්ග ද සිටවූයේය. අම්මා ද ඊට සහාය වූවා ය. තාත්තා නිවසේ නතර වීමෙන් පසුව ගෙදරට අමුතු සිරියාවක් ලැබිණි. ඔහු හැන්දෑවට කඩමණ්ඩියට ඇවිදින්නට ගියේ ය. අපේ තාත්තා දවල් කාලයේ නිදාගත්තේ නැත. ඔහු පෙරටත් වඩා නිරෝගී ලෙස සිටියේය.
එසේ වුවත්, තාත්තාත් සමඟ විශ්‍රාම ගිය එහා ගෙදර බොතේජු අන්කල් ගේ ජීවිතය ඊට හාත්පසින් ම වෙනස් විය. ඔහු රාජකාරිය කරන කාලය තුළ ලද මුළු වැටුප ම දරුවන් වෙනුවෙන් වියදම් කළේ ය. ඔහුගේ දරුවෝ හිතුවක්කාර ය. බොතේජු අන්කල් ගෙදර නතරවීමෙන් පසුව තව තවත් රෝගී වූයේය. ඔහුගේ දවස ගෙවුණේ බොහෝ විට වැරැන්ඩාවේ ඇති වේවැල් පුටුව මත ය. ඔහු බලාගත් අත බලාගෙන කල්පනා කරන්නට වූයේ ය. අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝගයන්ට ද ගොදුරු වී සිටි බොතේජු අන්කල් විශ්‍රාම ගෙන ටික කලකින් ම එක්තැන් වූයේ ය. දරුවෝ පිටරට ය. බිරිය ද රෝගීය මේනිසා ඔහුගේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණේ ය. රැකියාවට යන කාලයේ එතරම්ම රෝගී තත්ත්වයක් නොතිබූ බොතේජු අන්කල් විශ්‍රාම ගැනීමත් සමඟ ජීවිතයේ පසු බෑමකට ලක්වූයේ ඇයි? මෙය බොතේජු අන්කල්ගේ පමණක් ප්‍රශ්නයක් නොවේ. බොහෝ විශ්‍රාමික මවුපියවරු වර්තමානයේ මුහුණ දෙන ගැටලුවකි. කායිකව රෝගී වීම, මානසික පසුබෑමකට ලක්වීම තමන් තනිවූයේ යැයි සිතා හුදකලා වීම අද වඩ වඩාත් විශ්‍රාමිකයන් තුළින් අසන්නට දකින්නට ලැඛෙන දෙයකි. ඇයි මෙහෙම වෙන්නේ.
අපි මේ පිළිබඳව ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතා ගෙන් කරුණු විමසුවෙමු.
මහලු අවධිය හෙවත් ජ්‍යෙෂ්ඨ පුරවැසි අවධිය ඉතාම අවධානයට යොමු විය යුතු අවධියක්. ජීවිතයේ සැදෑසමය, විශ්‍රාමික දිවිය වශයෙන් හඳුන්වනු ලබන මේ කාලය ආරම්භ වන්නේ වයස අවුරුදු පනස් පහ හෝ අවුරුදු හැට ලැබීමත් සමඟයි. මිනිසුන්ට විවිධ ලෙස මානසිකව බලපාන කාලයක් තමයි මේ විශ්‍රාමික අවධිය කියන්නේ. මෙම කාලයේ ආරම්භයත් එක්කම මෙතෙක් කරගෙන පැමිණි රැකියාව, සේවාව හෝ වෙනත් ප්‍රධානතම ජීවන ක්‍රියාවලිවලට සමුදීමත් සිදු කැරෙනවා. මේ තත්ත්වය බොහෝ දෙනෙකුට මානසික සෞඛ්‍ය කෙරෙහි බලපාන දෙයක්. විශ්‍රාම ගැනීම යන්න අපට මෙහෙම හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ රජය සමඟ හෝ වෙනත් ආයතනයක් සමඟ තිබූ එක්තරා අන්දමක ‘ගිවිසුමක්’ එකක් අවසන් වූ කාලයක් කියන්නට පුළුවන්. විශ්‍රාම ගැනීමත් සමඟ විශ්‍රාම වැටුප එහෙම නැත්නම් පාරිතෝෂික දීමනා සේවක අර්ථසාධක අරමුදල් ආදිය ලැඛෙන්නට පුළුවන්. නමුත් විශ්‍රාම ගැනීමත් සමඟ තමන්ගේ හැකියාවන්, බුද්ධිය, අත්දැකීම්, දැනුම, අවබෝධය නිර්මාණ කුසලතා ආදියත් නැති වෙනවා කියලා කෙනෙකු සිතනවා නම් එය වැරදියි. විශ්‍රාමික දිවියක් ගෙවන කෙනෙක් මානසිකව අඩාල වීමට බලපාන හේතු කාරණා බොහොමයක් තිඛෙනවා. වසර ගණනක් දිනපතා සේවයට ගිය අයෙකු විශ්‍රාම ගැනීමත් සමඟ ඔහුට හෝ ඇයට මතුවන මෙවැනි දේ ඇතැම් විට දරා ගැනීමට පුළුවන්කමක් නැහැ. මෙතෙක් තමන් විසින් කාර්යාලයේදී කරනු ලබන කටයුතු නතර වීම, ආර්ථික තත්ත්වය පහළ වැටීම, තමන් විසින් දරා සිටි සමාජීය තත්ත්වය එකවරම නැතිවීම, වගකීම් ඉටු කිරීමට නොහැකිවීම හා දරුවන්ගේ දරුවන් බලා ගැනීම වැනි නවතම වගකීම් පැවරීම ද මෙහිදී දැක්වීම පුළුවන. එමෙන් ම සමාජයෙන් ලැඛෙන සැලකිලි හා පිළිගැනීම නැතිවී යාම, දරුවන්ගේ දුරස්වීම, අන් අය කියන විදියට ජීවත්වීමට සිදුවීම, තමන්ගේ ස්වාධීනත්වය නැති වී ගියැයි සිතීම, සමාජයේ විවිධ ආකල්ප වලට මුහුණ දීමට නොහැකිවීම ආදී වූ කරුණු නිසා මානසික සෞඛ්‍ය පිරිහී යෑමට ඉඩ තියෙනවා. මෙය මානසික ක්‍රියාකාරිත්වය සමඟ ඇතිවන්නක් වේ. කාලයක් එක දිගට කාර්යාල කටයුතුවල මෙන් ම නිවසේ කටයුතුවලදී ක්‍රියාකාරී පුද්ගලයකු වූ කෙනෙක් විශ්‍රාම ගිය පසු එක්තරා තැනකට කොටුවන විශ්‍රාමිකයා බොහෝ විට කල්පනා කිරීමට හුරුවේ. එහිදී අතීතයේ දී සිදුවූ විවිධාකාර පරාජයන්, කරදර මෙන් ම තමා විසින් කරන ලද විවිධ ක්‍රියාවන් පිළිබඳව මතක් වීමත් තමා මුහුණ දුන් කනගාටුදායක අවස්ථාවන් ආදිය පිළිබඳව වූ අශුභවාදී දේ, සිතට දුක ගෙන දෙන බිය ගෙන දෙන සිතුවිලි ඇතිවේ.
ඔවුන් මේ සිතුවිලි ඔස්සේ දිගින් දිගටම කාලය ගත කිරීමට හුරුවේ. තවත් දෙයක් තමයි මේ අය තුළ තමා අවට සිටින ආශ්‍රය කරන අය ගැන වැරදි මත ආකල්ප ඇතිවීම, එමෙන් ම විශ්‍රාම යාමත් සමඟ තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොතිබීමත් චිත්තවේග පාලනය කර ගැනීමට නොහැකියාවත් නිසා විශ්‍රාමිකයා බොහෝ ගැටලුවලට මුහුණ දේ. මේ ඉහත කී කරුණු පදනම් කොටගෙන, ඔවුන් තුළ කායික මානසික අපහසුතාවයන් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ අතර චර්යාමය වෙනස්වීම්, කේන්ති යෑම, තනිව ඇඬීම වැලපීම ආදි දේ වගේ ම ඇතැම් අවස්ථාවල වෛද්‍ය විද්‍යාත්මකව විස්තර කළ නොහැකි රෝග ලක්ෂණ මතුවෙනවා. උදාහරණ ලෙස කැක්කුම් වේදනා, ආදිය දැක්වීමට පුළුවන්. ඔබ දැක ඇති ඇතැම් වැඩිහිටියන්ට නින්ද නොයෑම, කථා නොකර සිටීම, තනිවී සිටීමට උත්සාහ දැරීම, කෑම ගැනීමට ඇති අකමැතිකම, මෙන් ම ඒ පිළිබඳව ආශාවක් නැතිකම. ආදිය ලක්ෂණ මෙන් ම ශාරීරික සෞඛ්‍ය පුරුදු වලින් ද ඔවුන් ඈත්වීමට උත්සාහ ගනී. තමන්ගේ මව පියා විශ්‍රාමික දිවියක් ගත කරන්නේ නම් ඔබට ඔවුන් තුළින් මේ තත්ත්වයන් හෝ ඉන් කිහිපයක් හෝ දැකිය හැකි වනු ඇත. ඇතැම් අවස්ථාවල එම තත්ත්වයට පත්නොවූ වැඩිහිටියන් ද සමාජයේ සිටිනවා. කෙසේ වෙතත් විශ්‍රාමික දිවියකට පත්ව සිටින හෝ අනාගතයේ එවැනි දිවියකට මුහුණදීමට සිටින අයට මෙන්න මේ විදිහට තම දෛනික ජීවිතය, ඔවුන්ගේ පැවැත්ම සකස්කර ගන්නවා නම් බොහෝ ගැටලු සහගත තත්ත්වයන්ගෙන් මිදීමට් පුළුවන්කම තිඛෙනවා. විශ්‍රාමික වැඩිහිටියන් තම සිත සැහැල්ලුවෙන් තබා ගැනීම තමයි මූලිකම දේ. සිතට සැහැල්ලුව ගෙන ඒමට නම් හිතට කරදරය ගෙන දෙන පරිසරය, පුද්ගලයන්ගේ ඇසුරෙන් බැහැරව සිටීම ඉතා ම වැදගත්. මනසට දුක ගෙන දෙන කතාවන්, සංවාද වලින් බැහැරවීම, හිතට සහනය දෙන පරිසරයක ගැවසීම වැදගත්. එහිදී පන්සල්, ආගමික පරිසර, උද්‍යාන, මුහුදු වෙරළ ආදියට යාම සුදුසුයි. සැහැල්ලු ව්‍යායාම වල යෙදීම, හොඳින් හුස්ම ගනිමින් සෙමින් හුස්ම පිටකරමින් ඇග සැහැල්ලුවට තබා ගනිමින් දිනකට දෙවරක් වරකට විනාඩි දහය බැගින් අඩුම වශයෙන් දිනකට විනාඩි විස්සක්වත් සැහැල්ලු ව්‍යායාම වල යෙදීම යෝග්‍යයයි. එමෙන් ම ගුවන් විදුලියට. සවන්දීම රූපවාහිනිය නැරඹීම, තමන් කැමැති පොත පත කියවීම වගේ ම නිවසේ කාමරයකට කොටුවී නොසිට පරිසරයට සවන්දීම දරුවන් සමඟ ගැවසීම ඔවුන් ක්‍රීඩා කරනු දැක සතුටුවීම, තම ජයග්‍රහණ ගැන ජීවිතයේ සාර්ථක බව පිළිබඳව හැම විටම සිතීම මානසික මෙන් ම කායික නිරෝගී සමයට ඉතාම වැදගත්. දාම්, චෙස්, කැරම් ආදී මනස ක්‍රියාකරන ක්‍රීඩාවල නිරත වීමත් සිතට නැඟෙන පරාජිත සිතුවිලි බැහැර කිරීමත් ජීවිතයේදී තමන් ලද හැකියාවන්, දියුණු කරගැනීමත් අනවශ්‍ය පුරුදු අත්හැර දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් තුළින් විශ්‍රාමික ජීවිතය වඩාත් සැනසිලි දායකව ගෙවා දැමීමට හැකිවනු ඇත.
බොහෝ විට දකින්නට ලැඛෙන දෙයක් තමයි වැඩක් නැහැ කම්මැලි යැයි කියමින් මේ අය දහවල් කාලයේ නින්දට හුරුවීම. නමුත් දහවල නින්ද මඟහැරීමත්, වෛද්‍ය උපදෙස් අනුව ආහාර පාන ආදිය ලබා ගැනීමත් වැදගත්. මේ මොන දේ කීවත් සැදෑසමය ගත කරන අය සුබවාදී ලෙස ජීවිතය දෙස නොබලන්නේ නම් ඔවුන් මානසිකව වැටෙනවා නම් ඔවුන් තුළ ඇති රෝගී තත්ත්වයන් වැඩිවන්නට පුළුවන්. අපි ඒවායෙන් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව ආරක්ෂා කර ගත යුතුයි. මේ කාර්යයේදී නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආදරය කිරීම, රැක බලා ගැනීම ඔහුගේ දරුවන් ඉතාම අවධානයෙන් හා අවබෝධයෙන් කළයුතු දෙයක්. ජීවිතේ සියලු ප්‍රශ්න හමුවේ බාධක අභියෝග ජයගනිමින් ඔවුන් වෙහෙස වූයේ මේ දරුවන් හැදීමට. ඉතින් ජීවිතේ සැදෑ සමයේ දී තම මව පියා රක්ෂා කිරීම, ඔවුන්ගේ සිත් නොතලා සිටීම, ඔවුන්ගේ ආත්ම අභිමානය ආත්ම විශ්වාසය ගොඩනැඟෙන අයුරින් කටයුතු කිරීමයි වැදගත්. මේ අයගේ අවශ්‍යතා පිරිමැසීම, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීම, ඔවුන්ට නිදහසේ සිටීමට පරිසරය සැකැසීම, දුක්බර පුවත් නොදන්වා සිටීම ආදිය කළ හැකි නම් මේ වැඩිහිටි ජීවිත වඩා සුවදායක වනු ඇත. එමෙන් ම තම පවුල් ප්‍රශ්න රැකියා ප්‍රශ්න ආදිය විශ්‍රාමික වැඩිහිටියන්ට නොකියා සිටීමත්, සිතට දුක භීතිය, ගෙන දෙන කලකිරෙන ප්‍රවෘත්ති නොදන්වා සිටීමත් වැදගත්. ඒ හැරුණු විට විශ්‍රාමික මව, පියා, වැඩිහිටියා සමාජයේ නිවසේ තනි නොකර ඔවුන්ව රැකබලා ගන්නට හැකියාව ඔබට තිබේ නම් එය ඉතා හොඳ ගුණයක්. වැඩිහිටියන්ව අගය කිරීමත් නිවසේ කාර්යයන් වලදී ඔවුන්ට මුල් තැන දීමත්, මේ අය සමඟ සුහදව කටයුතු කිරීමත් වගේ ම දේපළ, මුදල් ඉල්ල ඉල්ලා වද නොදීමත් දරුවන්ට මවුපියන් වෙනුවෙන් කළ හැකි දේ අතර වෙනවා. විශ්‍රාමික වැඩිහිටියා තමන් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වගේ ම, විශ්‍රාමික වැඩිහිටියන් අකමැති දේ කෙරෙහි ඔවුන්ව පොලඹවන්නේ නැතිව ආදරයෙන් කරුණාවෙන් ඔවුන්ව තේරුම් ගෙන ඔවුන්ට පවුල තුළ සමාජය තුළ නිසි තැන ලබාදීම තුළින් සැදෑසමයේදී ඒ අය තුළ ඇතිවන මානසික ව්‍යාකූල බව හා කායික රෝග පීඩා ආදියෙන් ඔවුන් ගලවා ගැනීමට ඔබට පුළුවන් වනු ඇත.
උපුටා ගැනීම සිළුමිණ පුවත් පත