කොයි කාටත් වදදෙන ගැස්‌ට්‍රයිටීස්
ළමා වියේ ඇතිවන සාමාන්‍ය අම්ල අජීර්ණ නොතකා හැරීම නිසා තරුණ විය පැමිණෙන විට එම තත්ත්වය මූලික ඇසිඩ් රෝග කාරකයක් විය හැක. තවද තරුණ වයස එළඹෙන විට ආහාර ජීර්ණය සඳහා අත්‍යාවශ්‍ය වන පාචක අම්ලය වැඩි වැඩියෙන් ඉනීම නිසා වැඩිපුර ආහාර ගැනීමට සිද්ධ වෙන බව අප කවුරුත් දන්නා දෙයකි. නමුත් අක්‍රමික ලෙස ආහාර ගන්නා යම් කෙනෙකුට සුළු අජීර්ණ ආබාධ ඇතිවීමට ඉඩ තිබේ. එය ගණනකට නොගෙන ඕනෑම ආහාරයක් වේලාව අවේලාව නොබලා ගැනීම නිසා ඇතිවන ආමාශ ගත විෂමතාවද අම්ලපිත්ත රෝගයට මග පාදයි. සෙම්ප්‍රතිශ්‍යාවකදී වුවත් පළමුවෙන්ම සිදුවන්නේ ආමාශයේ ආහාර දිරවීමේ ශක්‌තිය යම්තාක් දුරට හෝ දුර්වල වීමකි. මේ අවස්‌ථාවේ ඊට සුදුසු පිළියම් නොකොට අවිධිමත් ලෙස ආහාර ගැනීමද මෙම රෝගය වැළඳීමට මුල්විය හැකිය. නියමිත වේලාවට ආහාර නොගෙන සාපිපාසා ඉසිලීම වැනි නුසුදුසු ක්‍රීයා දිගටම කරගෙන යැමට සිදුවන අයටද මෙම රෝගය වැළඳීම බොහෝ සෙයින් දක්‌නට ලැබේ. අප ගන්නා ආහාර දිරවීමට අවශ්‍ය පාචකා අම්ල රසය නමින් හැඳින්වෙන දියර පදාර්ථය නිරන්තරයෙන් ආමාශය ඇසුරු කෙරේ. කෑම් බීම්, දේශගුණික වෙනස්‌වීම්, වෙනත් ලෙඩ රෝග වැනි කරුණු නිසා එම දියර වරෙක මෘදු වේ. තවත් වරෙක තියුණු වේ. මේ විෂමතාවය හේතුකොට ගෙන බොහෝ උපද්‍රව හටගනී. සමතත්වයෙන් පැවතීමෙන් නීරෝගී බව ආරක්‍ෂා වේ.
රෝගය මතුවන හැටි
අම්ලපිත්ත රෝගයේදී සිදුවන්නේ ඉහත සඳහන් පාචකාම්ල රසය විෂමවී එහි පවතින ඇඹුල් ගතිය හෙවත් ඇසිඩ් කොටස ලේවලට එකතුවීමකි. ඒ එකතුවෙන් කලක් ගතවූ පසු රෝගියාට වාත රක්‌ත ලක්‍ෂණ පහළ වේ. වරින්වර කසා පළු නැගීම සමේ වර්ණ වෙනස්‌වීම සෙංගමාල මුත්‍ර දෝෂ ඇතිවිය හැකිය. විෂ දියර ගලන දැවිලි, රුජා සහිත තුවාල කුෂ්ඨ පවා ඇතිවීමට මෙය හේතුවකි. රෝගයේ මූලාරම්භයේදී සැලකිලිමත් විය යුතුය. අබ, අච්චාරු, ජාඩි, කරවල, විනාකිරි, තක්‌කාලි, අන්නාසි, හරක් මස් වැනි කටුක ගිනියම් කෑම, මිරිස් වැඩියෙන් ගැනීම, සැර මත්පැන්, අධික දුම්පානය මෙන්ම අවශ්‍ය වේලාවට ආහාර නොගෙන සිටීම වැනි පිත කිපෙන සුළුÊකරුණු මීට හේතුවේ. බඩට වැටුණු ආහාර නොදිරවා පල්වීමෙන් ඇතිවන ඇසිඩ් ගතියද රෝගයට මූලික හේතුව වන අවස්‌ථාවන් තිබේ. මෙහිදී ඇතිවන ඇඹුල් ගතිය දරා සිටීමට ආමාශය අකමැතිය. ඒ නිසා එය කෙසේ හෝ පිට කිරීමට වෙහෙස ගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිතර නිතර රාම තෙල් ඒම, බඩේ පිපුම දැවිල්ල, කරකැවිල්ල, හිසේ ඇම්ම, බර ගතිය, මුත්‍රා බොරපාට වීම, ඇස් කහපාට වීම, සිරුරේ දාහය ආදී රෝග ලක්‍ෂණ පහළ වේ. මේ අම්ලපිත්ත රෝගයේදී නරක්‌වූ පිත ආමාශය මෙන්ම ග්‍රහණියද ඇසුරු කරන අවස්‌ථාවන් තිබේ. රාම තෙල් සමග එන සෙම් සහිත කෙළ කොළපාට හෝ නිල් පාට නම් ඒවා එන්නේ ආමාශයෙන් බව සිතිය යුතුය. ග්‍රහණියද ඇසුරු කළ අම්ල පිත්තයෙහි එන සෙම කහ පැහැවේ. දැවිලි සහිත හුලං පමණක් උගුරට එමින් තද බඩ දැවිල්ල පවතී නම් රෝගය බඩ වැල තෙක් පැතිර ඇති බව නිගමනය කළ හැකිය.
ඒ ඒ අවස්‌ථාවන් අනුව වමන විරේචන පමණක් නොව කූඩැල්ලන් ලවා රක්‌තමෝක්‍ෂණය කිරීමද නියම කර ඇතත් අද මේ කිසිවක් අම්ලපිත්ත රෝගයේදී කරන බවක් නොපෙනේ. උප්පත්තියෙන් පිත්තාධික මෙන්ම වාතරක්‌ත මුත්‍ර ආදියෙන් පෙළෙන අය මීට ගොදුරුවූ විට සුව කිරීම තරමක් අපහසුය. මළ බද්ධය හෝ අර්ශස් ඇත්නම් බඩ පිපීමත් සමග රාම තෙල් ඒම අධික විය හැකිය. පළමු සඳහන් දැවිල්ල, කරකැවිල්ල ආදියද වැඩිවීමට පුළුවන. සැර මත්පැන් ගන්නා අයගේ තත්ත්වය තවත් දරුණු වේ. දියවැඩියා රෝගය හා සම්බන්ධ පිත්ත ප්‍රමේහ රක්‌ත ප්‍රමේහ ආදි අග්න්‍යාශගත රෝග අවස්‌ථාද මෙම අම්ලපිත්ත රෝගයේ බලපෑම නිසා සුව කිරීම අපහසු බව පැහැදිලි අත්දැකීමකි. උෂ්ණාධික ආහාරපාන ඇවතුම් පැවතුම් හේතුකොට සියලුම ශාරීරික ක්‍රියාවන් සඳහා අත්‍යාවශ්‍ය පිත රසානයෙහි ඌෂ්ණ ගුණය වැඩි වූ ශරීර ගත අම්ලකර වාතය අධික ලෙස දහනය වීම නිසා වන යකඩ ධාතුව ඇතුළු වෙනත් නොයෙක් රසායන කොටස් ශරීරයට නොලැබී යැමද එවන් මූලික රසායන වර්ග ඌනතා නිසා ඇතිවන ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා මුල්වී සෑදෙන ශප්ත ධාතු දුර්වලතා සහ දෝෂ දූෂ්‍යතා මුල් කොට විවිධාකාර රෝග ජාලයන් ඇති කරයි. අජීර්ණාබාධ, ඇඹුල දැවිල්ල උගුරට ඒම, බඩ පිපීම, බරගතිය, පෙකණිය යට කැක්‌කුම, අවේලාවේ බඩගින්න, හිසරදය, නින්ද නොයැම, ආමාශයේ තුවාල, ලේ සීදන් යැම, අර්ශස්, මළමග බැහැරවීම, අධික කැසීම සහිත හමේ රෝග, හන්දි ඉදිමීම, රුජාව, අප්‍රාණික ගතිය, උගුර තොල කට වේලීම ආදියද ආහාර හරිහැටි නොදිරීම හේතුකොට ඇතිවන විටමින් ඌනතා ආදී උපද්‍රව රාශියක් ඇතුළුව අවදානම් සහගත අක්‍ෂි රෝගද කාන්තා පක්‍ෂයට නම්, විවිධ ගර්භාෂ ගත රෝගද ඇති කරයි. මෙම ඇඹුල්පිත් රෝගයෙන් ආමාශයේ උපදින විෂ වාතය සන්ධිගත වීමේ ඉදිමුම් අවස්‌ථා ගැස්‌ට්‍රයිටීස් (ආමවාතය) යනුවෙන් හැඳින්වීමට සිදුව තිබේ. ඇසිඩ් ශරීරය පුරාම පැතිරීම නිසා උෂ්ණය වැඩිවී අම්ලකර අඩුවීමෙන් ඇතිවන අති දරුණු ගණයේ නොයෙක් අතුරු ආබාධවලට ගොදුරුවීමට සිදුවන අතර කල්යත්ම මෙම අම්ලකර ඌනතාවය මිනිස් සිරුරේ ආයු කාලය පිරිහී යැමට ප්‍ර්‍රධානතම හේතුව බව සිහිබුද්ධියෙන් යුතුව අවබෝධ කර ගැනීම බොහෝ සෙයින් වැදගත්ය. මෙම අම්ලපිත්ත රෝගයම මුල්කරගෙන ඇතිවන ලේ විෂවීම් හේතුකොට වකුගඩු පීඩා මුත්‍රාශයේ ගල් ආශ්‍රිත තුනටියේ අමාරු මුත්‍ර විෂවීම්, මලබද්ධ අවස්‌ථාවන්ද මැදිවියේ කාන්තාවන්ට වඩා යෞවනියන් අතර පිත්තාශයේ ගල් නොහොත් පිත්තාශ්මරී නම් රෝගයද වැඩි වශයෙන් දක්‌නට ලැබේ. තරුණ වියේ සෑදී මැදිවියේදී අනිසි විපාක ඇති කරන අම්ලපිත්ත ලෙස මෙය හඳුන්වන්නේ ඒ නිසාවෙනි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පිත මුල්වීමෙන් හැදෙන පිත් රෝග හතළිහට මෙම අම්ලපිත්ත රෝගය ඇතුළත් වන බව තවදුරටත් තහවුරු වේ. අම්ල පිත්ත රෝගය පිත ප්‍රධාන උෂ්ණ රෝගයක් වුවත් ප්‍රතිකාර යෙදීමේදී වාතයේ සහ සමේ දෝෂ කෝප තත්ත්වයන් සැළකිල්ලට ගෙන දක්‍ෂ වෛද්‍යවරු කටයුතු කරති.
අම්ලපිත්ත රෝගීන්ට සුදුසු ආහාර පාන හා ඇවතුම් පැවතුම්
අම්ලපිත්ත රෝගියාගේ ආහාරපාන සෞම්‍ය විය යුතු අතර දිරවීමට පහසුවීම අත්‍යාවශ්‍යය. කරවිල, තුඹ කරවිල, තිත්ත තිබ්බටු, කිරි කොළ, ලුණුවිල, ගොටුකොල, තම්පළා, ඉරමුසු, හාතාවාරිය, අල සහ වෙනත් සිසිල් ගුණැති ළපටි පළා වර්ග කෝවක්‌කා, රසකිඳ කොළ, දියමිත්ත කොළ, කීකිරිදිය, පලා කෝමාරිකා මද ආදිය සුදුසු ක්‍රමයට සකස් කර ආහාර පිණිස ගැනීමද අළු පුහුල් ශාකයේ සියලුම කොටස් පිටි අඩු වට්‌ටක්‌කා, නොමේරූ කැකිරි පිපිඤ්ඤා, පතෝල, වැටකොළු, ළපටි කෙසෙල් ගෙඩි, කොහිල, නෙළුම් ආදි දියේ හට ගන්නා ශාක වර්ගද ඖෂධීය ඔසුපැන් වර්ග සෝඩා වතුර, සව්කැඳ, බාර්ලි, දියබත් මෙම රෝගීන්ට ගුණදායකය. නීරමුල්ලිය පොල්පලා ගුණයි. මුං ඇට, සෝයා, කොත්තමල්ලි, සූදුරු, ඉඟිනි ඇට ආදිය කබලෙන් බැද තම්බාගත් වතුර බීමෙන් දැවිල්ල පිපාසය සන්සිඳේ. උතුරවා සිසිල් කළ නැවුම් මුට්‌ටියේ ජලය වැඩිපුර පානය කිරීම හැම අම්ලපිත්ත රෝගීන්ටම මහත් ගුණයක් ලබාදේ. මුං ඇට, කිරිබත්, කොළ කැඳ, ළපටි ඉරිඟු, ළපටි කුරුම්බා මදය, විළඳ, සව්, බාර්ලි, හබල පෙති තවදුරටත් ගුණ ආහාර වේ.
සම්මානලාභී විද්‍යාපති වෛද්‍ය කීර්ති පණ්‌ඩිත ර.මු. ධර්මදාස
0115676702- 0757906906
උපුටා ගැනීම දිවයින පුවත්පත