Biz Log
Classifields
Biz Log
Classifields

විදුලි පිළිස්සුමකදී බාහිර රෝග ලක්ෂණ නොමැති වුවත් හෘදය වස්තුව ක්‍රියාවිරහිත විය හැකියි


පිළිස්සුමක් නිසා සමට විය හැකි හානි පිළිබඳව පසුගිය දෙසතිය පුරා විවිධ අංශ ඔස්සේ අප ඔබව දැනුවත් කළෙමු. අද තවදුරටත් පිළිස්සුමකින් පසුව සිදු කළ හැකි ප්‍රතිකාර විධි මෙන්ම බද්ධ කිරීමක් කළ හැකි තත්ත්ව මොනවාද යන්නත් සාකච්ඡා කෙරේ.

වේදනාවක් දැනෙනවා නම් හොඳයි

වේදනාව දැනීම යනු මතුපිට ස්නායුවල යහපත් ක්‍රියාකාරීත්වයයි. ඒ නිසා මෙවැනි සංවේදී පිළිස්සුම් තුවාල ගැන සැලකිලිමත් විය යුතුය. මෙවැනි පිළිස්සුම් තුවාල බොහෝවිට කිසිදු බද්ධයකින් තොරව සුවපත් කිරීමේ හැකියාව ඇත. එබැවින් පිරිසිදුව හා නිසි ප්‍රථමාධාර ලබාදී පළමු පැය 24 තුළ පහසුකම් සහිත රෝහලකට පැමිණීමෙන් මෙවැනි වේදනාවක් සහිත පිළිස්සුම් තුවාල සුවකළ හැකි වේ.

වෙලුම් දැමීම

පිළිස්සුම් රෝගියකු ඉදිමුමකට ලක් වු විට සිරුරෙන් ස්‍රාවයක් නිකුත් වන අතර එය දින කීපයක් පුරා පවතියි. එබැවින් එම තෙතමනය උරා ගැනීමට හැකිවන ආකාරයේ ්වෙළුම් දමන අතර විසබීජ ඇති නොවන ආකාරයේ රිදී අඩංගු සැරහුම් වර්ග අද බොහෝවිට භාවිතා කරයි. එවැනි සැරහුම් මිල අධික වුවත් විසබීජ නැසීමේ හැකියාව ඉතා ඉහළය.

ගැඹුරු පිළිස්සුමකදී

සංවේදීතාව අහිමි වේ. ස්නායු සංවේදී නොවේ. එසේ කිසිදු සංවේදීතාවක් නැති 70%ක පමණ ගැඹුරු පිළිස්සුම් සහිත රෝගියකුගේ ජීවිත අවදානම ඉතා ඉහළ වේ.

දරුණු පිළිස්සුමකට ලක්වූ රෝගීන් වෙතින් මෙවැනි ලක්ෂණ දිස්වනු ඇත. දුම්හුස්ම ගැනීමෙන්, පෙනහලු වලට ඔක්සිජන් නොලැබී යාම නිසා ඇතිවන නොසන්සුන්කම, කාබන්මොනොක්සයිඩ් වැඩිවීම නිසා ඇතිවන නොසන්සුන්භාවය කම්පනය නිසා ඇතිවන නොසන්සුන්තාවය වැනි දේ සිදුවේ. මෙවැනි රෝගියකුට කිසිදු වේදනාවක් නොදැනෙන අතර මෙවැනි තත්ත්වයකදී මියයෑමේ අවදානම ඉතා ඉහළය.

පිළිස්සුමකදී සුළු කොට නොතැකිය යුතු අවයව

අත්, මුහුණ,කන, ලිංගික අවයව, ඇස්, ආදිය පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතුවේ. මෙවැනි අවයවයටකට වන පිළිස්සුමකදී, පිළිස්සුමේ ප්‍රමාණය 5%ක් වැනි ප්‍රමාණයක් වුණත් පිළිස්සුම ගැඹුරු එකක් නම් එය කෙසේවත් සුළුකොට නොතකයි. එවැනි තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම රෝහලට යන්න.

රෝහල් ගත විය යුතු අවස්ථා

පිළිස්සුමට ලක්වූ තැනැත්තා වෙනත් රෝග තත්ත්ව වලින් පෙළෙනවා නම් (එනම් දියවැඩියාව හෘද රෝග, පිළිකා තත්ත්ව ආදී) පිළිස්සුම සුළු එකක් වුවත් රෝහල් ගත විය යුතුයි.

විදුලි පිළිස්සුම්

බාහිරින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්නුවත් මෙමඟින් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට බාධා විය හැකියි. එබැවින් මෙවැනි තත්ත්වයකදීත් රෝහල්ගතවීම ඉතා වැදගත් වේ.

පිළිස්සුමකදී දිය පට්ටා දැමීම

සම තට්ටු කිහිපයකින් යුක්ත අතර ඒවා එකිනෙක බැඳී තිබෙනුයේ අපගේ ආරක්ෂාව වෙනුවෙනි. එහි දී සමේ මතුපිට තට්ටුවලට තාපයෙන් ප්‍රතික්‍රියාවක් ඇති වූ විට ශරීරය ඇතුලතින් ඒවා තුළට දියර එකතු වීමෙන් දිය පට්ටා ඇති වේ.

දිය පට්ටා ඇති වන්නේ මතුපිට පිළිස්සුම් වලදී පමණය. මේවා ඉතාමත් වේදනාකාරී වුව ද බිය විය යුතු නැත. දිය පට්ටා සහිත පිළිස්සුම් තුවාල දින 7ක් තුළ සුව වේ. මෙහි දී උඩට පිම්බී ඇති මැරුණු සම කඩා ස්‍රාවය ඉවත්කර නිසි ප්‍රතිකාර කිරීමෙන් නැවත අලුත් සමක් නිර්මාණය වීමේ හැකියාව සහිත ය.

දිය පට්ටා පිළිබඳ මිත්‍යා මත

මීට කලකට පෙර මෙවැනි පිළිස්සුම් සඳහා නිසි ප්‍රතිකාර නොතිබූ බැවින් දිය පට්ටා කැඩීමට මිනිසුන් බිය වූ අතර අද ද ඒ බිය එසේම පවතී. එසේම තවත් සමහරුන් විශ්වාස කරන දෙයක් වනුයේ පිළිස්සුම් තුවාලයට වතුර දැමූ විට දිය පට්ටා ඇතිවන බවයි.

නමුත් ඇත්ත වශයෙන්ම පිළිස්සුමකදී ජල ප්‍රතිකාරය කිරීමෙන් ගැඹුරු විය හැකි පිළිස්සුමක් මතුපිට පිළිස්සුමකට සීමා කළ හැකියි. එනිසා වතුර දැමීමෙන් දිය පට්ටා මතු වුණත් එයින් ඇත්තටම යහපතක් බව සැලකිය යුතුයි.

දිය පට්ටා කැඩීම සුදුසු ද?

අප දන්නා පරිදි සන්ධියක් මතුපිට පිළිස්සුමක් ඇති වූ විට එම සන්ධිවල ක්‍රියාකාරීත්වය සීමා වෙයි. එනිසා එවැනි තත්ත්වයක දී දිය පට්ටා ඉවත් කළ යුතු වේ. දිය පට්ටා කැඩීමේ දී ඉතා සැලකිලිමත්ව කළ යුතු වන්නේ එමගින් ඇතිවිය හැකි ආසාදන වළක්වා ගත යුතු වන බැවිනි.

එසේම විනාශ නොවූ සෛල වලට හානියක් නොවන පරිදි එය කළ යුතු බැවින් රෝහලකට පැමිණීම ඉතා වැදගත් වේ. දිය පට්ටා ඉවත් කිරීමට තවත් හේතුවක් නම් දිය පට්ටා තුළ වනුයේ ප්‍රෝටීන අඩංගු දියර වීමයි. මෙම ප්‍රෝටීන අඩංගු දියර දිගුකල් රැඳීමෙන් බැක්ටීරියා වැඩීමට හිතකර පරිසරයක් මවන බැවින් මෙවැනි මතුපිට පිළිස්සුමකදී ඇතිවන දිය පට්ටා කඩා ප්‍රතිකාර යෙදීම සුදුසු ය.

පිළිස්සුම් රෝගියකු ශල්‍යකර්මයකට ලක් කිරීමට අවශ්‍ය සුදුසුකම්

  • රෝගියා ශල්‍යකර්මයකට යොමු කිරීමට පෙර වෙළුම් දමා තබා දින ගණනක් ස්ථාවර තත්ත්වයට පත්කළ යුතුය. රෝගියාට එවැනි සැත්කමක් කිරීමට තරම් ඔහුගේ පෙනහලුවල හානි අවම විය යුතුය. රෝගියා නිර්වින්දනය කළ හැකි ස්ථාවර තත්ත්වයක පසුවිය යුතුය.
  • ගැඹුරු පිළිස්සුමක් සඳහා කරන බද්ධයකදී විශාල වශයෙන් රුධිරය ගලා යාමක් සිදු වේ. පළමු පැය 1 -2 අතර එය ලීටර් 3 - 4 ක් වුවද විය හැකිය. එබැවින් රෝගියා අස්ථාවර තත්ත්වයෙන් පසුවන්නේ නම් එවැනි බද්ධයක් හදිසියේ කළ නොහැකි වේ. එමෙන්ම යම් ආසාදිත තත්ත්වයකදීත් බද්ධයක් කළ නොහැකි වේ.
  • දරුණු පිළිස්සුමකට ලක් වූ රෝගියකුට වැඩි කැලරි හා ප්‍රෝටීන ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ දරුණු පිළිස්සුමකදී සිරුරෙන් වැයවන කැලරි හා ප්‍රෝටීන ප්‍රමාණය අධික වන හෙයිනි.
  • මෙවැනි අවස්ථාවක නිසි කැලරි හා ප්‍රෝටීන ප්‍රමාණය සිරුරට නොලැබීමෙන් යම් ලෙසකින් රෝගියා කිලෝ දහයකට වඩා බර අඩු වූයේ නම් මරණයට පවා පත්විය හැකිය. නමුත් මෙවැනි තත්ත්වයක සිටින රෝගියකුට මුඛයෙන් ආහාර ලබා ගැනීමේ හැකියාවක් නැත.
  • එනමුත් පළමු පැය 24 තුළදී අවශ්‍ය ආහාර බටයක් මඟින් නාසය හරහා ආමාශයට ඇතුළු කළ යුතු වේ. පුද්ගලයකුට සිදුවන 20%ක පිළිස්සීමකදී වුවත් අවශ්‍ය කැලරි හා ප්‍රෝටීන ප්‍රමාණය එසේ බටයක් මාර්ගයෙන්ම දිය යුතු වේ.
  • පිළිස්සුණු තුවාලයක් දින 14ක කාලයක් නිරීක්ෂණය කරනු ලැබේ.
  • තුවාලය දින 14 ක් තුළ සුව නොවුණේ නම් අනිවාර්යෙන්ම බද්ධයක් කළ යුතු වේ. එසේ නැතිනම් අප කලින් සඳහන් කළ ලෙස මාස තුනක් ඇතුළත කැලල වෙනස්වීම් වලට බඳුන් වෙයි.

එවිට මෙවැනි ලක්ෂණ දැකිය හැකියි.

පැතලියට තිබුණු කැලල උඩට ඉස්සී සංකෝචනය වීම. එය අඟල් 3 -4 ක් දක්වා උඩට ඉස්සී ඒමට පුළුවන. එමෙන්ම මාස 3 සිට 9 දක්වා මෙම කැලල වර්ධනය වේ. එය පැතිරී ඇත්තේ සන්ධියක් අතර නම් ප්‍රතිරෝධයක් දක්වන තාක් සංකෝචනය වෙයි. උදාහරණයක් ලෙස තුවාලය බෙල්ලේ වූයේ නම් එය නිකට තෙක් වුවද සංකෝචනය විය හැකියි.

මේ තත්ත්වය වළක්වා ගැනීමට කුමක් කළ යුතුද?

පිළිස්සුම් තුවාල සුව වූ දිනයේ සිට පීඩන ඇඳුම්, කොලර් ආදිය පැළඳිය යුතු වේ. මෙම පීඩන ඇඳුම් දිනකට පැය 23 1/2 බැගින් අවුරුදු දෙකක් පුරා ඇඳිය යුතු වේ. උදාහරණයක් ලෙස එය මුහුණු ආවරණයක් විය හැකියි. නිකටට යොදන පටියක් විය හැකියි.

අතට දමන අත්මේස් විය හැකියි. නැතහොත් මුළු සිරුරටම යොදන ආවරණයක් විය හැකිය. මෙය හඳුන්වන්නේ රෝගියකුගේ දෙවැනි සම ලෙසයි. එමඟින් සිදුකරනුයේ කැලලට යම් පීඩනයක් ඇති කිරීමයි. මෙයින් සම සංකෝචනය වීම වළක්වයි. කැලලට වැඩීමට අවශ්‍ය රුධිර ප්‍රමාණය මෙම පීඩනය යෙදීමෙන් අඩු කිරීම අරමුණ වේ. මේ ප්‍රතිකාර ක්‍රමය නොනවත්වා සිදු කිරීමෙන් කැලල වැඩීම පාලනය කළ හැකියි. කැලල සම්පූර්ණයෙන් මැකිය නොහැකි වුණත්, වඩා හොඳ ප්‍රතිඵල මෙයින් ලබා ගත හැකියි. 

කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකය භාර, ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාන්දිනී පෙරේරා
උපුටා ගැනීම දිනමිණ

Share This Article

ලෙඩ සූව කිරීමට සිත බලපානවා

ලෙඩ සූවකිරීමටත් සිත බලපානවා. එහෙම කිව්වොත් ඔබ එකඟ වෙනවාද? එහි තර්කයක් නැහැ... එය එහෙමම තමයි. දැන් එය ඔප්පූවී ඇති කරුණක්. ලෙඩ...

ඔබ විෂාදයෙන් පෙළෙන බව හඟවන ලක්ෂණ 8ක්‌

විශාදය කියන්නේ අද වන විට බොහෝදෙනා තුල දක්නට ලැබෙන තත්වයක්. විශාදය “21වන සියවසේ වසංගතය” ලෙස ඇතැම්විට හඳුන්වන්නේත් එය එතරම්ම සුලබ තත්ත්වයක්...

බඩ වේළුණා කියා හිතුමතේට විරේක පෙති බොන්න එපා

ගර්භණී කාලයේ මුල් අවදියේ බොහෝ මවු වරුන්ට කෑම අරුචිය ඇතිවේ. සමහර අය තෝරා බේරා ගත් ආහාර පමණක් ම ගනී‍. එය මලබද්ධයට...

දවස් 21කින් බර අඩු කරගන්න පහසු මඟ

උසට සරිලන බර : මුලින්ම ඔබේ උසට සරිලන ලෙස ප්‍රමාණවත් බරක් ඔබ සතුවේ දැයි නිගමනය කළ යුතුය. මෙය ඔබටම තහවුරු කර ගත...

කෙට්ටු වෙන්න වගේම මැරෙන්නත් පුළුවන්.....

ඇය මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වූයේ වයස 19 දී තරබාරුව අඩුකර ගැනීම සඳහා භාවිතා කළ ඖෂධ වර්ගයක් හේතුවෙනි. අන්තර්ජාලය හරහා මිලදීගත්...

හොඳම උපත් පාලන ක්‍රමය...

කොණ්ඩම්කොණ්ඩමය පිරිමින් පමණක් පලඳින උපත් පාලන ක්‍රමයක්. සමාජ රෝගවලින් ආරක්‍ෂා වීමට මෙන්ම අනාරක්‍ෂිත ගැබ් ගැනීම්වලින් වැළකීමටත් කොණ්ඩමය උපකාර වනවා. ලිංගික කාර්යය...