අධික රස්නය නිසා චර්ම රෝග ඉහළට!
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. සමහර ප්‍රදේශ ආශ්‍රිත උණුසුම් දර්ශකය 39 - 45 අතර ‘‘අවදානම්” මට්ටමට ළඟා වී ඇති බව වාර්තා වේ. මෙම උණුසුම් කාලගුණය සමඟ ලෙඩ රෝග රැසක්ද අත්වැල් බැඳ පැමිණිය හැකි බව සෞඛ්‍ය අංශ දැන් අනතුරු අඟවා තිබේ. ඒ සමඟම අවධානය දිනාගන්නා ප්‍රමුඛ කාරණාවක් වන්නේ සම මත ඇතිවන පිළිස්සීම් සහ දහදිය බිබිලි ඇතුළු ආසාදන තත්ත්වයන්ය.
මූලික වශයෙන් අධික උණුසුම නිසා නිතර දහදිය දැමීමෙන් ශරීරගත ජලය ඉවත්ව යාම නිසා විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඬු පෙරළීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපණ වී ආඝාත තත්ත්වය ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
මේ උණුසුම් තත්ත්වය සමඟ අපේ සම ආශ්‍රිතවද විවිධ පිලිස්සීම් - Sunburn, ඇතුළු රෝග ගණනාවක් හටගත හැකි බව අප කළ විමසීමකදී විස්තර කර දුන්නේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිටය. ඒ අනුව පවතින අධික රස්නය සහිත කාලගුණයත් සමඟ සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ මිනිස් සිරුරට පතිත වීම වැඩි වී ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි. ඇය සඳහන් කළේ, දුඹුරු සමක් සහිත ලාංකිකයන්ට වුවද මේ වන විට පවතින දැඩි හිරු රශ්මිය සමඟ ගැටීමේ දී ශරීරයේ දැඩි අපහසුතාවයක් දැනීමට එය ප්‍රධාන හේතුවක් වන බවයි.
“පාරජම්බුල කිරණ දර්ශකය (UV Index) 3ට වඩා වැඩි නම් සුදු සමක් සහිත පුද්ගලයන්ට හිරු රශ්මියට නිරාවරණය නොවන ලෙසට වෛද්‍ය සම්මතය අනුව උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් දුඹුරු සමක් සහිත පුද්ගලයන් වුවද එම දර්ශකය අනුව ගණන් බලා කටයුතු කිරීමට වඩා එළිමහනේ ගමන් බිමන් යන විට තමන්ට අධික හිරු එළිය නිසා සිරුරට දැනෙන අපහසුතාවය අධික නම් බොහෝ වේලාවක් හිරු එළියට නිරාවරණය වී සිටීම හොඳ නැති බව ඇය පෙන්වා දෙයි.
ඇතැම් විශේෂ චර්ම රෝග ඇති පුද්ගලයන් ද මෙම කාලසීමාවේදී තම සෞඛ්‍ය ගැන විශේෂ අවධානයකින් පසුවිය යුතු බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි.
“උදාහරණයක් ලෙස ශරීරය පුරා සුදු කබර රෝගයෙන් පෙළෙන අයකු නම්, දුඹුරු සමක් ඇති පුද්ගලයකුට වඩා මේ දිනවල පවතින අධික හිරු එළියෙන් ආරක්ෂා වීමට කටයුතු කිරීමට වග බලාගත යුතුයි.” මෙහිදී විශේෂයෙන්ම උපතින්ම සුදු පැහැති (ඇලිබිනිසම්) පුද්ගලයන්, මෙන්ම හිරු එළියට සංවේදීභාවය වැඩි පුද්ගලයන් සහ ‘සිස්ටීමික් ලූපස් එරිතීමටෝසිස්’ (Systemic lupus erythematosus/SLE) රෝගීභාවයෙන් පෙළෙන පුද්ගලයන් වැඩි අවධානයකින් සිටීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි.
මේ දිනවල ඇති අධික රස්නය නිසා බහුලව ඇතිවන චර්ම රෝග අතර අප දහදිය බිබිලි ලෙස හඳුන්වන තත්ත්වය අධිකව පැතිර ගොස් ඇති ආකාරය හඳුනාගත හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.
පරිසරයේ පවතින ආර්ද්‍රතාවය වැඩි නිසා පවතින රස්නය හේතුවෙන් මිනිස් සිරුරෙන් පිටවන දහදිය වාෂ්ප වීම ප්‍රමාද වීම නිසා කුඩා දරුවන්ගේ සම මත දහදිය බිබිලි ආදිය ඇතිවීම මේ කාලයේ දී වැඩි වශයෙන් දක්නට ලැබීම සුලභය.
“දහදිය බිබිලි එනවා කියන්නේ දරුවන්ගේ සම උෂ්ණයි කියන එක. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දහදිය බිබිලිවලට ගාන්න ක්‍රීම් වැනි ආලේපයක්. නමුත් එවැනි ආලේපනයක් ගැල්වීමට වඩා වැදගත් සම ටිකක් සිසිල් කර ගැනීම." යැයි ඇය කියයි.
කුඩා දරුවකුට වෙනත් අසනීපයක් නොමැති නම් එම දරුවා නැහැවීමේදී සහ සිරුර සේදීමේදී ඇල් ජලය භාවිත කිරීම යහපත් බව ඇය පෙන්වා දෙයි. එමෙන්ම දහදිය බිබිලි ඇතිවී තිබෙන දරුවකු නම් වෙනදාට වඩා වැඩි වාර ගණනක් දිනපතා සිරුර ජලයෙන් සේදීම වැදගත් බවත් එවැනි අවස්ථාවලදී සබන් ගැල්වීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර මෙය වැඩිහිටියකුට වුවත් අනුගමනය කළ හැකි දෙයක් බවත් ඇය පැහැදිලි කර දෙයි. රස්නය අධිකව පවතින කාලසීමාවක දී සිරුරේ සබන් ගැලවීම සුදුසු නොවේ. කෙසේ වුවත් අඛණ්ඩව සිරුරේ දහදිය බිබිලි පවතී නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් යැයි ඇය කියයි.
මේ සමඟ එන තවත් බහුල රෝගී තත්ත්වයක් වන්නේ සමේ බැක්ටීරියා ආසාදන ඇතිවීම ය. පරිසරයේ පවතින ආර්ද්‍රතාවය වැඩිවීම නිසා කුඩා දරුවන්ගේ සමේ බැක්ටීරියා ආසාදන ඇතිවීම සුලබය. මේවා ඇඟ පුරා ඇති සැරව බිබිලි ලෙස බොහෝ විට ඉස්මතු වේ. සාමාන්‍යයෙන් මුහුණ පුරා සහ ඇස් යට සැරව බිබිලි ඇතිවී තිබෙනවා නම්, ඊට අමතරව උණ තිබෙනවා නම් වෛද්‍යවරයකු වෙත රැගෙන යාම වැදගත් බව වෛද්‍යවරිය කියයි.
කුරුලෑ බහුලව ඇතිවීම ද බරපතළ ගැටලුවකි. මෙයට හේතුව අපගේ සම මත රැඳෙන දහඩිය දූවිලි, කුණු ආකර්ෂණය කර ගැනීමයි. කුණු, දූවිලි මගින් සමේ සිදුරු වැසී යන අතර බැක්ටීරියා වර්ධනයට සුදුසු පරිසරයක් ලබා දෙයි. මේ සඳහා ඇති පහසුම විසඳුම කුරුලෑ අවම කිරීම සඳහා සම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කිරීමයි.
එසේම අධික රස්නය සහ නිතර දමන දහදිය හේතුවෙන් දිලීර ආසාදනයන් ඇතිවීම ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි. පවතින දිලීර රෝග ශරිරයේ වෙනත් තැන්වලට ව්‍යාප්තව යාමත් අලුත් දිලීර රෝග බෝවීමත් සිදුවිය හැකිය.
ශ්‍රී ලංකාව තුළ බොහෝ රෝගීන්ට දිලීර ආසාදනය ඇතැම්විට ගැටලුසහගත තත්ත්වයක් බවට පත්ව තිබේ. දිලීර රෝග තත්ත්වය සමේ තෙත්භාවය පවතින ස්ථානවල ඇතිවීම ඊට ප්‍රධාන හේතුවයි. විශේෂයෙන් දහදිය දැමීම අධික පුද්ගලයන්ගේ සිරුරේ කිහිලි, ඉකිලිවල සහ කාන්තාවන්ගේ පියයුරු යට, තට්ටම්වල බොහෝ දුරට දිලීර ආසාදනය සිදුවෙයි. මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණයත් සමඟ දිලීර රෝග ව්‍යාප්තිය බහුල වන බව ඇය පෙන්වා දෙයි. නමුත් මෙම ආසාදන සඳහා විවිධ ඖෂධ සහ ආලේපන හිතුමතේ වෙළෙඳපොළෙන් රැගෙන භාවිත නොකළ යුතු බවත් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදේශන මත ප්‍රතිකාර කිරීම වඩා වැදගත් බවත් ඇය පෙන්වා දෙයි.
උපුටා ගැනීම දේශය