Biz Log
Classifields
Biz Log
Classifields

“හාට් ඇටෑක්” ගැන බයෙන් ද?


කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ මහාචාර්ය චමිලා මෙත්තානන්ද

හෘදයාබාධ සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡා කෙරුණ ද විවිධ හේතු මත වර්තමාන සමාජය තුළ හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව වැඩිවීමක් දක්නට ලැබේ. යම් පුද්ගලයකු හෘදයාබාධයකට ලක්වීමෙන් පසු ඇතිවන අවදානම් තත්ත්වයන්ට මුහුණදෙනවාට වඩා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කිරීම වඩා වැදගත් වෙයි. හෘදයාබාධ සම්බන්ධ කරුණු රැසක් පැහැදිලි කරමින් සාකච්ඡාවකට එක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ඖෂධවේද අධ්‍යයන අංශයේ මහාචාර්ය චමිලා මෙත්තානන්ද යි.

● හෘදයාබාධයක් විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කොහොම ද?

හෘදයට රුධිරය සැපයීම අවම වීම නිසා හෘදයේ ඇති හෘද ශෛල මියයෑම සරලව හෘදයාබාධයක් කියලා හඳුන්වන්න පුළුවන්- විද්‍යාත්මක පැහැදිලි කිරීම සලකා බලනවානම්, හෘදය නිර්මාණය වී ඇත්තේ හෘද පේශීවලින්- ඊට අවශ්‍ය ඔක්සිජන්, ග්ලූකෝස් වැනි පෝෂක සපයනු ලබන්නේ රුධිරය හරහා යි- එලෙස හෘද පේෂීවලට රුධිරය සපයනු ලබන රුධිරවාහිනි හෙවත් ධමනි තුනක් තියෙනවා- මේ එක් එක් රුධිරවාහිනියෙන් හෘදයේ එක් නිශ්චිත ප්‍රදේශයකට රුධිරය සපයනු ලබනවා- මේ එක් නාලයක් ආශ්‍රිතව ඇතිවන අවහිරතාවක් නිසා ඉන් රුධිරය සපයනු ලබන හෘදයේ අංශය තුළ ඇති හෘද ශෛල මිය යෑමකට ලක් වෙනවා- එලෙස මියගිය හෘද ශෛල නැවත රෝපණය වීමක් ද සිදු වෙන්නෙ නෑ- ඒ අනුව හෘදයට රුධිරය සපයනු ලබන ධමනි ලේ කැටයක් හේතුවෙන් හදිසියේ අවහිර වීම නිසා රුධිර සැපයුම අඩාල වී හෘද ශෛල මියයෑමට ලක් වීම හෘදයාබාධයක් ලෙස විද්‍යාත්මක්ව විස්තර කරන්න පුළුවන්.

● හෘදයාබාධයක් වැළඳීමට පෙර හඳුනාගත හැකි පූර්ව ලක්ෂණ හෝ ඉඟි කිරීම් තියෙනවා ද?

ඔව් තියෙනවා- අපි ඒක “ඇන්ජයිනා” තත්ත්වය කියලා හඳුන්වනවා- මෙහි දී හඳුනාගැනීමට තියෙන රෝග ලක්ෂණ නම්, මහන්සී වී වැඩ කිරීමේදී පපුව මැද හිරවීමක් වැනි වේදනාවක් හට ගැනීම හා මහන්සි වීම නතර කළ විට එම වේදනාව පහව යෑම කියන කාරණාවන් ය- මෙම තත්ත්වයට බලපාන විද්‍යාත්මක හේතුව වන්නේ, රුධිර නාලයක් අවහිර වන මුල් අවධියේ දී, හෘදයට සැපයෙන රුධිරය මුළුමුනින්ම අවහිර වන්නේ නැති අතර, සැපයෙන රුධිරයෙන් යම් ප්‍රමාණයක් පමණක් අඩු වීමයි- මහන්සි වන අවස්ථාවක දී, හෘදයට, රුධිරය වැඩිපුර අවශ්‍ය වුවත්, රුධිර සැපයුම ලැබෙන්නේ නැති නිසා පපුව ආශ්‍රිතව වේදනාවක් ඇති වෙනවා- මහන්සි වීම නැවැත්වූ විට සාමාන්‍ය රුධිර සැපයුමක් ලැබෙන නිසා වේදනාව ක්‍රමයෙන් පහව යනවා. මේ තත්ත්වයේ දී හෘදයට අවශ්‍ය රුධිරය යම් පමණකින් හෝ ලැබෙන නිසා හෘද ශෛල මියයෑමක් සිදුවන්නේ නැහැ- නමුත් කාලයත් සමග අවහිරතාවයේ ප්‍රමාණය වැඩි වී රුධිර නාලයේ එම ස්ථානය පුපුරා යෑමකට ලක් වී රුධිර ගමන මුළු මුනින්ම අවහිර වී හෘද ශෛල මියයෑමකට ලක් වීම “හාට් ඇටෑක්” කියලා අපි හඳුන්වනවා.

● මෙම ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙක් කරන්න ඕන මොනවගේ දෙයක් ද?

දෙන්න පුළුවන් හොඳම උපදේශය තමා සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යොමුවීම කියන කරුණ. ඉන්පසු සිදුකරනු ලබන පරීක්‍ෂණ ගැන කතා කළොත් පළමුව E.C.G පරීක්ෂණයක් සිදු කරනවා. එහිදී ලැබෙන ප්‍රතිඵල අවදානම් රහිත වෙන්නත් පුළුවන්. හේතුව තමා එම අවස්ථාවේ ඔහු කිසිම මහන්සි වීමකට ලක් නොවී සිටීමයි. එම නිසා Exercise E.C.G කියන පරීක්ෂණයට යොමු කරනවා. එහිදී ඔහුව මහන්සි වීමකට ලක්කර E.C.G පරීක්ෂණයක් සිදුකරන නිසා රෝගය පිළිබඳ නිර්ණයකට එළඹීමට වෛද්‍යවරයාට හැකියාව පවතිනවා. ඉන් පසු අවහිර වී ඇති ස්ථානය හඳුනා ගැනීම සඳහා “කොරනරි ඇන්ජියෝග්‍රෑම්” (Coronary Angiogram) කියන පරීක්ෂණය සිදු කරනවා. එහිදී රුධිර නාල හරහා ඩයි වර්ගයක් ඇතුළත් කර අවහිර වී ඇති ස්ථානය කුමක් ද? කියලා තහවුරු කර ගැනීමක් සිදුකරනවා.

● මෙම තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රතිකාර ක්‍රම මොනවා ද ?

ප්‍රතිකාර ක්‍රමය තීරණය කිරීම කෙරෙහි වැදගත් සාධක කිහිපයක් බලපානවා. ඒ අතර අවහිරතාවයේ ස්වරූපය, පපුව රිදීම පටන්ගත් වේලාවේ සිට වෛද්‍ය උපදෙස් ලබාගත් වේලාව හා ඇතුල් වූ රෝහලේ ඇති පහසුකම් වැනි සාධක ප්‍රධාන යි. ඒ අනුව ඖෂධ මගින් රුධිර කැටිය දිය කිරීම සිදු කරන්න පුළුවන්. මීට අමතරව, රුධිරයේ ඝනත්වය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ ලබාදීම සිදුකරනවා. පූර්ව ප්‍රතිකාර ක්‍රම වශයෙන් එම රෝගයට හේතුවන සාධක විදියට හඳුනාගන්න පුළුවන් අධික කොලස්ට්‍රෝල්, අධික මේදය වාගේ ආහාර රටාව පාලනය කිරීම හා උපදෙස් ලබා දෙනවා. ඒ වගේම මේ සඳහා හේතුවන දුම්පානය, මත්පැන් භාවිතය ආදිය පාලනය කිරීමටත් උපදෙස් ලබා දීම සිදු කරනවා.

තවදුරටත් ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරනවා නම් “ස්ටෙන්ත්” (Strength) කිරීම නමින් හඳුන්වන ප්‍රතිකාර ක්‍රමය සිදු කරනවා. එහිදී කරනු ලබන්නේ අවහිරතාව සහිත රුධිර නාලය හරහා ඉතා සියුම් බටයක් ඇතුළු කර අදාළ අවහිරතාව ඉවත් කිරීමකට ලක් කිරීම යි. නමුත් මෙය සෑම අවස්ථාවකදීම සිදුකළ නොහැකියි. ඒකට හේතුව තමයි අවහිර වී ඇති ස්ථානය, එහි විශාලත්වය කොපමණ ද? වැනි සාධකවල ප්‍රබලත්වය කියන කරුණු. ඒ වාගේ අවස්ථාවල දී “බයිපාස්” (Bypass) නමින් හඳුන්වන සැත්කම සිදු කිරීමට ද සිද්ධ වෙනවා. එහිදී සිදු කරනු ලබන්නේ ශරීරයේ වෙනත් ස්ථානයකින් ලබාගත් රුධිර නාල කොටසක් එම අවහිරතාව සහිත ස්ථානයට බද්ධ කිරීම යි.

● හෘදයාබාධයක් හැදුණු කෙනකු තුළ දැකගත හැකි රෝග ලක්ෂණ මොනවා ද ?

මෙවැනි අයකු තුළ හඳුනාගත හැකි මූලිකම ලක්ෂණය තමා පපුව මැද ඉතා අධික වේදනාවක් දැනීම යි. මෙම වේදනාව සාමාන්‍යයෙන් පපුව මත ඉතා විශාල බරක් තබා ඇති අන්දමට සමාන බව පවසන්න පුළුවන්. ඒත් සමග දහඩිය දැමීම, වමනය පිටවීම හා පපුවේ ඇති වේදනාව අත් දිගේ පැතිරීම, ඇතැම් අයට බෙල්ල ආශ්‍රිත වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්.

● හෘදයාබාධ ඇති වීමේ විශේෂ අවදානමක් සහිත පුද්ගලයන් සිටිනවා ද?

හෘදයාබාධයක් වැළඳීමට බලපාන සාධක ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට වර්ග කර දක්වන්න පුළුවන්. ඒ වෙනස් කළ හැකි සාධක හා වෙනස් කළ නොහැකි සාධක විදියට යි. මෙහිදී දුම්පානයෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, අධික තෙල් සහිත ආහාර භාවිතයෙන් වැළකීම, දියවැඩියාව පාලනය කිරීම වැනි කරුණු වෙනස් කළ හැකි සාධක විදියට සලකන්න පුළුවන්. නමුත් වයස්ගත වීම, පරම්පරාවෙන් හෘදයාබාධවලට ගොදුරු වීම, පිරිමි අයට කාන්තාවන්ට වඩා වැඩි අවදානමක් පැවතීම යන සාධක වෙනස් කළ නොහැකි සාධක විදියට සලකන්න පුළුවන්. මෙතැනදී පරම්පරාවෙන් හෘදයාබාධයක් ඇතිවීම කියලා අදහස් කරන්නේ පිරිමි අයකු නම් වයස අවුරුදු 50ට පෙර හා කාන්තාවක් නම් වයස අවුරුදු 55ට පෙර හෘදයාබාධයකට ගොදුරු වී ඇතිනම් ඔහුගේ හෝ ඇයගේ පවුලේ උදවියට හෘදයාබාධයකට ගොදුරු වීමට ජානමය වශයෙන් යම් අවදානමක් පැවතීම යි.

● කාන්තාවකට වඩා පිරිමි අයකුට හෘදයාබාධවලට ගොදුරු වීමට වැඩි අවදානමක් පැවතීමට හේතු මොනවා ද?

මීට බලපාන විද්‍යාත්මක හේතුව ලෙස හෝමෝනවල පවතින වෙනස්කම් කියන සාධකය පෙන්වා දෙන්න පුළුවන්. ඊස්ට්‍රජන් නම් වූ හෝමෝනය නිසා රුධිර නාල ඔස්සේ සිදුවන රුධිර ගමනාගමනය හොඳින් පවත්වාගෙන යෑමක් සිදුවෙනවා. නමුත් කාන්තාවකට වුවත් අර්තවහරණයෙන් පසු, එනම් වයස අවුරුදු 55න් පමණ පසුව මෙම හෝමෝනය ශ්‍රාවය වීම දුර්වලවීම නිසා හෘදයාබාධවලට ගොදුරු වීමේ අවදානම පිරිමි අයකුට වගේම පවතිනවා.

● මත්ද්‍රව්‍ය හා හෘදයාබාධ අතර ඇති සම්බන්ධතාවයේ විද්‍යාත්මක බව කුමක් ද?

මත්ද්‍රව්‍ය හරහා බෝහෝ දුරට සිදු කරන්නේ ශරීරය උත්තේජනය කිරීම යි. ඒ හේතුවෙන් හෘදස්පන්දන වේගය වැඩි වීම, රුධිර නාල සංකෝචනය වීම වැනි දේ සිදුවෙනවා. මේ සඳහා බොහෝ දුරට හේතු වන්නේ ඇම්ෆිටැමීන් (අයිස්) නැමති මත්ද්‍රව්‍ය යි. කොකේන් නැමති මත්ද්‍රව්‍ය නිසා රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හෘදස්පන්දන වේගය වෙනස් වීමට ඉඩ පවතිනවා.

● හෘදයාබාධයකට ගොදුරු වූ පුද්ගලයකු හැසිරිය යුතු හා රැකබලා ගත යුතු ආකාරය කෙබඳු ද?

මෙම කාරණයේදී පළමුවෙන්ම ඔහු වෛද්‍යවරයා විසින් නියම කරන ලද ඖෂධ නියමිත මාත්‍රාවටම ලබා ගත යුතු යි. ඒ සමගම රෝගය සඳහා බලපානු ලබන සාධක පාලනය කිරීමක් ද සිදු කළ යුතු යි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධ නියමිත ලෙස ලබා ගැනීම ආදිය මීට අයත් වෙනවා. මේ සමගම රෝගියාගේ ජීවන රටාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. අධික තෙල් සහිත ආහාර, දුම් පානය ආදියෙන් ඈත් වීම ඉතාම වැදගත්. හෘදයාබාධයකට ගොදුරු වූ අයකුට යථා තත්ත්වයට පත් වීමට මාස තුනක් පමණ ගත වෙනවා. එසේම හෘද රෝගියකුගේ මානසික සුවය ද ඉතාම වැදගත් වෙනවා- හෘද රෝගියකු රැකබලා ගැනීමේ දී මේ කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

උපුටා ගැනීම දිවයින

Share This Article