Biz Log
Classifields
Biz Log
Classifields

ක්ෂය රෝගය බෝ වෙනවා - හඳුනා නොගත් රෝගීන් 4000ක් අප අතර

ක්ෂය රෝගය බෝ වෙනවා - හඳුනා නොගත් රෝගීන් 4000ක් අප අතර

මාර්තු 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙනි.

කැස්ස යනු මේ සමාජයේ අඩුම අවධානයක් සහිත රෝග ලක්ෂණයකි. නමුත් මේ අතිශය සාමාන්‍ය තත්ත්වයක් ලෙසින් පෙනෙන කැස්ස සඟවාගෙන සිටින බොහෝ බරපතල රෝගාබාධ පවා තිබිය හැකිය. ක්ෂය රෝගය ද එවැනි එකකි. ක්ෂය රෝගය ගැන අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ ක්ෂය රෝගය පිළිබඳ සමාජයේ ඇති මිත්‍යා මත හඳුනා ගැනීමට මෙන්ම දැන හෝ නොදැන ක්ෂය රෝගය සඟවාගෙන සිටීමෙන් තමාටත් සමස්ත සමාජයටත් විය හැකි හානිය අවබෝධ කොටගෙන එය වළක්වා ගැනීම යුතුකමක් වන බැවිනි.

ක්ෂය රෝගය

ක්ෂය රෝගය යනු බෝවන රෝගයකි. ඒ නිසාම අප ඒ ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. ක්ෂය රෝග කාරක විසබීජය වන්නේ මයිකොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නම් බැක්ටීරියාවය. ක්ෂය රෝගය පුද්ගලයකුගේ පුද්ගලයකුට බෝ වන්නේ එම විසබීජය සහිත වාතය ආශ්වාස කිරීමෙන්ය. එවැනි රෝගියකු කහින විට, කිවිසුම් යවන විට, කතා කරන විට, හෝ සිනාසෙද්දී රෝගා කාරක විසබීජ සහිත සෙම බිඳිති පරිසරයට එක් වී ආස්වාස කිරීම මඟින් තවත් පුද්ගලයෙකුගේ පෙනහලු තුළට ඇතුළු විය හැක. මෙලෙස කෙනෙකුගේ සිරුරේ පටක තුළට රෝග කාරක ක්ෂුද්‍ර ජීවියකු ඇතුළු වීම ආසාදනය වීමක් ලෙස හඳුන්වයි. මේ අයුරින් ක්ෂය රෝග ආසාදනයට ලෝකවාසීන් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකු ගොදුරු වී සිටින බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිකොට ඇත. නමුත් ක්ෂය රෝග ආසාදනය වූ පමණින් කෙනෙකු රෝගියෙකු වන්නේ නැත. අප සිරුරේ ප්‍රතිශක්ති ක්‍රියාවලිය මඟින් මෙම විසබීජ අඩපණ කර රෝගය වැළඳීම වළක්වයි. නමුත් ආසාදිතයෙකුට ප්‍රතිශක්තියේ දුර්වලතාවක් ඇති වූ අවස්ථාවක එය රෝගයක් බවට වර්ධනය විය හැක. මේ අයුරින් ක්ෂය රෝගය ආසාදන වූ අයගෙන් සෑම දසදෙනෙකුගෙන් එක් අයෙකුට රෝගය වැළඳෙන බවට විශ්වාස කරයි. නමුත් මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කරුණ නම් ක්ෂය රෝගය ආසාදනය වී අවුරුදු ගණනක් ගත වීමෙන් පසුව වුවද රෝගය ඉස්මතු වීමට හැකියාවක් ඇති බවයි. ක්ෂය රෝගය ප්‍රධාන වශයෙන් පෙනහලු ආශි‍්‍රතව ඇතිවන රෝගයකි. නමුත් අනිකුත් ඉන්ද්‍රියන් ආශි‍්‍රතව ඇතිවීමේ 20%ක පමණ හැකියාවක් ඇති බවද හඳුනාගත හැක. උදා. ස්නායු පටක, අන්ත්‍රවල, අස්ථි, ඇස්, සම, වසා ගැටිති වකුගඩු ආදී හුස්ම ගන්නා අප සියලු දෙනාගේ පෙනහලුවලට ක්ෂය රෝග කාරක විසබීජ ඇතුළු විය හැක. නමුත් සිරුරේ ප්‍රතිශක්තිය හීන වූ හෝ දුර්වල වූ අවස්ථාවලදී පුද්ගලයකුට ක්ෂය රෝග වැළඳීමේ අවදානම බොහෝ වැඩිය. 

උදා. දීර්ඝකාලීනව දියවැඩියාවෙන් පෙළෙන, වකුගඩු රෝග සහිත, මන්දපෝෂණයේ පෙළෙන අය, කුඩා දරුවන්, වයස්ගත අය, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයට යොමු වූ අය, HIV/AIDS රෝග තත්ත්වයන්ට ගොදුරු වූ අය, ඉන්ද්‍රිය බද්ධ කළ රෝගීන් වැනි අයට මේ අවදානම බොහෝ වැඩි වේ. නමුත් ක්ෂය රෝගය වැළඳීම වළක්වා ගත හැක. තවද, ක්ෂය රෝගය යනු ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි.

ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ

  • සති දෙකකට වඩා පවතින කැස්ස
  • රාත්‍රී කාලයේ පවතින මඳ උණ
  • අධික ලෙස දහදිය දැමීම
  • සිරුරේ බර අඩු වී යෑම
  • පපුවේ වේදනාව
  • කෑම අරුචිය
  • සෙම සමඟ යම් අවස්ථාවලදී රුධිරය පිටවීම

ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීමට

ශ්‍රී ලංකාව ගත්විට එහි පැතිරීම වැඩිපුරම දක්නට ඇත්තේ බස්නාහිර පළාත තුළය. විශේෂයෙන් තදබදයෙන් පිරි නාගරික පෙදෙස්වල අපිරිසුදු බව, නිසි වාතාශ්‍රය හා හොඳින් හිරුඑළිය නොවැටීම වැනි කරුණු මත මෙහි පැතිරීම පහසුවෙන් සිදුවන බව අප හොඳින් අවබෝධ කරගත යුතුය. විශේෂයෙන් සිරකඳවුරු වැනි ස්ථාන ආශි‍්‍රතව මිනිස් සෞඛ්‍යයට අහිතකර මෙවැනි සාධක බහුලය. ඒ නිසා, හැම පුද්ගලයෙකුම තමන් වාසය කරන ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි හිරුඑළිය ගලා එන පරිදි දොර ජනෙල් විවෘතව තැබීම වැදගත්ය. තවද මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකීම, තැන තැන කෙළ ගැසීමෙන් වැළකීම කැස්සකදී හෝ කිවිසුම් යාමකදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් මුඛය ආවරණය කර ගැනීම සිදු කළ යුතුය. දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් ක්ෂය රෝගය වැළඳීමට බලපාන නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට හැමවිටම අවධානය යොමු කිරීම වටී. තවද ඇදුම හා කල්පවතින බරපතල ස්වසන රෝග ද ක්ෂය රෝගය ඇති වීමට ඉවහල් වේ. ඒ නිසා එවැනි රෝග ඖෂධ මඟින් හොඳින් පාලනය කරගත යුතුය.

රෝග නිර්ණය කිරීම

මේ සඳහා ලෝකයේ සුලබව භාවිතා වන්නේ සෙම පටල පරීක්ෂාවයි. රෝගියෙකුගෙන් ලබා ගන්නා සෙම නිදර්ශකයන් මඟින් සෙම පටල අන්වීක්ෂයක් තුළින් නිරීක්ෂණය කිරීමෙන් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව හඳුනා ගනී. ඊට අමතරව පපුවේ හා පෙනහලුවල එක්ස් කිරණ ඡායාරූප මඟින් හඳුනා ගැනීම ද සිදු වේ. තවද නවතම gene - X - pert නම් යන්ත්‍රයෙන් රෝගියෙකුගේ සෙම පරික්ෂා කර රෝග කාරක බැක්ටීරියාවේ ජානමය ව්‍යුහය තහවුරු කර ගැනීමෙන් ද රෝගය නිර්ණය කර ගැනීමේ හැකියාව පවතී.

ප්‍රතිකාර

ක්ෂය රෝගය ප්‍රතිකාර කළ හැකි, සම්පූර්ණයෙන් සුවකළ හැකි බෝවන රෝගයකි. මාස 6ක් නොකඩවා නියමිත ඖෂධ, නියමිත ප්‍රමාණයෙන් ගැනීම අනුමත ප්‍රතිකාර ක්‍රමය වේ. තවද ඖෂධ වර්ග හතරක් සංයුක්ත කිරීමෙන් සාදාගත් බෙහෙත් පෙති නිපදවීම නිසා වරකට ගත යුතු බෙහෙත් පෙති ප්‍රමාණය 3 -4කට සීමා වේ. මේ වනවිට ප්‍රතිකාර ක්‍රමය වඩාත් සාර්ථකව සිදු කිරීමට මෙන්ම බෙහෙත් නොකඩවා ලබා ගැනීම සඳහා ඍජු නිරීක්ෂණ ප්‍රතිකාර ක්‍රමය (DOTS) නමින් ප්‍රතිකාර ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ. එහිදී ඒ පිළිබඳ පුහුණුවක් ලද සෞඛ්‍ය සේවකයකු හෝ සමාජයේ පිළිගත් පුද්ගලයකු මාර්ගයෙන් රෝගියාට දිනපතා ඖෂධ ලබාදීම සිදු කරයි. ඒ නිසා කරුමක්කාර හෝ කාළකණ්ණි ලෙඩක් ලෙස පිටුදකිමින් ඊට ගොදුරු වූ අය දුරස් කර දමමින් හා තමන්ට නම් එවැනි රෝගයක් වැළඳෙන්නේ නැතැයි සිතමින් ගෙවූ යුගය අවසන් කරමු. මන්ද මේ මොහොතේ පවා ඔබ හෝ මා ක්ෂය රෝග ආසිදිතයකු හෝ එය වැළඳුණු කෙනෙකු දැයි අපවත් නොදැන සිටිනවා විය හැකි බැවිනි. ඒ නිසා සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. එසේ නැතිනම් එවැනි ලකුණු පෙන්නුම් කරන ඔබේ මිතුරකු, ඥාතියෙකු, අසල්වැසියකු ඇත්නම් කාරුණිකව එම තැනැත්තාව වෛද්‍යරයෙකු වෙත යොමු කිරීමට දායක වන්න. එමඟින් ඔබේ හෝ අන් අයකුගේ ජීවිතය මරණයෙන් මුදවා ගත හැකිය. මුළු සමාජයක් සුවපත් කළ හැකිය.

උපුටා ගැනීම දිණමින

Share This Article