Biz Log
Classifields
Biz Log
Classifields

හිසරදය තුළ සැඟවුණු බරපතල රෝග

හිසරදය තුළ සැඟවුණු බරපතල රෝග

හිසරදය සාමාන්‍යයෙන් වැඩිදෙනෙකු සැලකිල්ලට නොගන්නා රෝග ලක්ෂණයකි. නමුත් හිසරදය සුළු වුවත්, දැඩි වුවත් ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ කිසියම් අවස්ථාවක ඒ තුළ සැඟවුණු යම් බරපතල ඇඟවුමක් තිබිය හැකි බැවිනි. ඒ අනුව ගිය සතියේ විවිධ හිසරද තත්ත්ව පිළිබඳ පැහැදිලි කෙරෙන ලිපියක පළමුවැන්න පළවූ අතර අද පළවන්නේ එහි දෙවැනි කොටසයි.

පොකුරු හිසරදය

මෙම හිසරදයට බලපාන හේතු නිශ්චිත නැතත් මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගේ හයිපොතැලමසයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවන බව හඳුනාගෙන ඇත. තවද මෙය පවුලේ අය අතර ද ඇතිවන තත්ත්වයක් වන බැවින් ඊට ජානමය බලපෑමක් ද ඇති බවට පිළිගැනීමක් ඇත.

පොකුරු හිසරදය ඇතිවීමට බලපාන හේතු :

  • නිදාගන්නා රටාවේ වෙනසක් සිදුවීම.
  • ඇතැම් ඖෂධවලින් ඇතිවන බලපෑම (උදා. නයිට්‍රොග්ලිසරින්)
  • දුම්පානය, මත්පැන් පානය ඇතැම් අහාර වර්ග (චොකලට් වැනි)
පොකුරු හිසරදයේ රෝග ලක්ෂණ :

මෙම හිසදරය එක දිගට සතියක් හෝ සති කීපයක් පැවතිය හැක. තවද එය දවස තුළ එක්වරක් හෝ දෙවරක් එකම වේලාකදී ඇතිවිය හැකියි.(උදා. උදෑසන 10.00 ට හා රාත්‍රී 8.00ට වශයෙන්) එය අවම වශයෙන් විනාඩි තිහක් හෝ විනාඩි අනූවක් පමණ පැවතිය හැකි වේ. එමෙන්ම මෙම හිසරදය දරා ගැනීමට නොහැකි වන අතර බොහෝවිට මෙවැනි තත්ත්වයක සිටින රෝගියකු හිසෙන් බිත්තියට හෝ පොළොවට වුවද පහර දෙනු හඳුනාගත හැක. මෙම වේදනාව බොහෝවිට ඇති වන්නේ ඇස වටා හෝ ඇස පිටුපසය. තවද ඇස රතු විය හැකි අතර කඳුළු ගලන සුළු තත්ත්වයක් ද ඇති වේ. මෙලෙසම නාසයෙන් ද බර ගතිය හා දියර ගලන සුළු ගතිය ඇතිවිය හැක. පොකුරු හිසරද තත්ත්වය බහුලව දක්නට නොලැබෙන අතර පුරුෂයන් අතර වැඩිපුර දක්නට ලැබේ.

ප්‍රතිකාර :

මෙහිදී පොකුරු හිසරදය වැඩි කරන සාධකවලින් වැළකීම වැදගත්ය. තවද ප්‍රතිකාර ක්‍රම දෙකකට සිදු කරනු ලැබේ. එනම්, රෝගය පවතින විට සිදු කරන ප්‍රතිකාර හා රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා සිදු කරන ප්‍රතිකාර වශයෙනි.

හිසරදය සහිත අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා :

  • රෝගියාට එය තම ජීවිත කාලයේදී වැළඳුණු දරුණුම හිසරදය ලෙසින් දැනෙන අවස්ථාවකදී
  • හිසරදය ඔබට වැළඳෙන සාමාන්‍ය හිසරදයට වඩා වෙනස් ආකාරයට දැනෙන අවස්ථාවලදී ක්ෂණයකින් ඇතිවන හිසරදය.
  • ශරීරය වෙහෙසට පත්වීම, කැස්ස හෝ ලිංගිකව එක් වීමේදී ඇතිවන හිසරදය, හිසරදය සමඟ නොනවත්වා පවතින ඔක්කාරය හෝ වමනය, හිසරදය සමඟ ඇතිවන උණ හෝ බෙල්ලෙ තද ගතිය, හිසරදය සමඟ ඇතිවන වලිප්පු තත්ත්වය, හිසරදය සමඟ දෘෂ්ටියේ හෝ කතා කිරීමේ හෝ හැසිරීමේ වෙනස්කමක් ඇතිවීම.
  • හිසරදය සමඟ ශරීරයේ කොටසක ඇතිවන හිරිගතිය හෝ පණ නැති ගතිය.
  • එදිනෙදා වැඩකටයුතුවලට බාධා වන අන්දමින් ඇතිවන හිසදරය.
  • හිසේ ඇතිවන තුවාලයකට හෝ හිසේ අනතුරකට පසුව ඇතිවන හිසරදය.
  • නොකඩවා උදෑසන කාලයේ ඇතිවන හිසරදය.

මෙවැනි තත්ත්වවලදී වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යය.

ද්වියිතික හිසරදය

මෙය මොළයේ පටකවල ආබාධ නිසා හටගන්නා හිසරද තත්ත්වයක් ලෙස සලකයි. උදා. මොළයේ ඇතිවන ලේ ගැලීම්, පිළිකා හෝ ආසාදන

ද්වියිතික හිසරදයට හේතු :

  • හිසට හෝ බෙල්ලට ඇතිවන තුවාල හේතුවෙන්, මොළය වටා හෝ මොළය ඇතුළත ලේ ගැලීම හා ලේ ගැලීමකින් තොරව ඇතිවන තුවාල.
  • මොළයේ හෝ බෙල්ලේ රුධිර නාලවල ඇතිවන ආබාධ එහිදී, අංශභාගය (එනම් ක්ෂණිකව සිදුවන රුධිර නාලවල අවහිරතා නිසා මොළයේ යම් ප්‍රදේශ අඩපණ වීම.)
  • රුධිර නාල බිත්ති තුනී වී පිටතට නෙරා ඒම, රුධිර නාල ප්‍රදාහය ආදී තත්ත්ව ඊට හේතු ලෙස ක්‍රියාකරයි.
  • මොළයේ සෛලවල ඇතිවන ආබාධ.
  • මොළයේ හටගන්නා ප්‍රාථමික හෝ ද්වියිතික පිළිකා වර්ග, වලිප්පුව, මොළයේ කුහර තුළ පීඩනය අධික වීම මීට බලපායි.
ඖෂධ :

විවිධ ඖෂධ වර්ග ද මීට බලපාන බව හඳුනාගෙන තිබේ.

මොළය හා මොළය ආශි‍්‍රත ආසාදන

  • එහිදී එන්කෙෆලයිටීස් තත්ත්වය මොළයේ ආසාදන තත්ත්වයට උදාහරණයක් වන අතර මෙනින්ජයිටීස්, මොළය වටා පටලවල ආසාදිත තත්ත්වයක් ලෙසින් හඳුනාගත හැක. ඊට අමතරව අනිකුත් අවයව වල ඇතිවන ආසාදන ද හඳුනාගත හැක. (උදා. නියුමෝනියාව)
  • සිරුරේ වෙනත් අවයව වල ආබාධ හේතුවෙන් ඇතිවන රසායනික අසමතුලිතතාව.
  • අධික රුධිර පීඩනය, විජලනය, මන්දතයිරොයිඩතාව, වකුගඩු, අක්මා ආබාධ නිසා ඇතිවන හිසරදය මෙහිදී හඳුනාගත හැක. එසේම ඇස්, කන්, නාසය, උගුර, දත් හෝ බෙල්ලේ ඇතිවන ආබාධ ද බොහෝවිට හිසරදයට හේතු වේ.
  • ඊට අමතරව මානසික රෝග තත්ත්වයන් ද හිසරදයට බලපායි.

ද්වියිතික හිසරදය හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ

  • රුධිරය පරීක්ෂා කිරීම (ඒ යටතේ ESR, FBS වැනි පරික්ෂණ සිදු කරයි.)
  • සීටී ස්කෑන් - මොළයේ ලේ ගැලීම්, ඉදිමීම් හා ඇතැම් පිළිකා මෙම පරික්ෂණයෙන් හඳුනාගැනීමේ හැකියාව පවතී.
  • එම්ආර්අයි ස්කෑන් - මෙමඟින් මොළයේ ව්‍යුහය මෙන්ම එහි ආබාධ ඉතා සියුම් ලෙස පරීක්ෂා කළ හැක.
  • මස්තිෂ්ක සුෂුම්නා තරලය පරීක්ෂා කිරීම - මෙහිදී කුඩා කටුවක් ආධාරයෙන් කොඳු ඇට පේළියේ ස්නායු පද්ධතියට පහළින් වූ කොටස ආශ්‍රයෙන් මස්තිෂ්ක සුෂුම්නා තරලය ගනු ලැබේ. මෙමඟින් මොළයේ පටලවල ආසාදන ඇති කරන විසබීජ වර්ග මෙන්ම එම පටලවල ලේ ගැලීම් ද හඳුනාගත හැක. තවද එමඟින් මොළය තුළ ඇති පීඩනය හඳුනා ගැනීමට ද හැකියාව පවතී.

වෙනත් හිසරද

මේ සඳහා මොළය ආශි‍්‍රතව ඇතිවන විවිධ ස්නායු ආබාධ ඊට බලපායි. උදා. නියුරැල්ජියා. නියුරැල්ජියා යනු වේදනා සෛල උද්දීපනයෙන් තොර තනි හෝ ස්නායු කීපයක ඇතිවන වේදනාවකි. මෙම වේදනාව දරාගත නොහැකි වේදනාවකි. ආබාධයට ලක් වූ ස්නායුව අනුව වේදනාව ඇතිවන ස්ථානය ද වෙනස් වේ. තවද මොළයේ හෝ සිරුරේ වෙනත් ප්‍රදේශවල ඇති ස්නායුවල මෙම තත්ත්වය ඇතිවිය හැක. මෙම තත්ත්වයට හේතුව නිශ්චිතව හඳුනාගෙන නැතිමුත් ස්නායු සෛලවල ලවණ පාලනයේ වෙනසක් සිදුවන බව හඳුනාගෙන තිබේ.

උපුටා ගැනීම දිනමිණ

Share This Article