මරණය නොමිලේ
“සක්‍රිය දුම්පානය” වාගේම දිගුකාලීන නිරාවරණයක් මඟින් සිදුවන මෙවැනි “අක්‍රිය දුම්පානයෙන් ද ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙනවා. ඇඳුම හා පපුවේ හතිය මහන්සිය නිතර කැස්ස සෑදීම වැනි ස්වසන රෝගත්, ගර්භණී සමයකදී නම් උපදින දරුවාට පත් ආබාධයක්, උපත් බර අඩු වීමත්, අඩු මාසෙන් ඉපදීමත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස දැක්වෙනවා.
සංජීව මගේ ළඟට ආවේ කැස්සට බෙහෙත් ගන්න. මීට දවස් කීපයකට කලින්. උණ, හෙම්බිරිස්සාව සෑදුණු ඔහුට දැන් තියන්නේ තදබල කැස්සක්. සාමාන්‍ය වෛරස් ආසාදයකට පස්සේ තරමක කැස්සක් සෑදෙන එක සාමාන්‍ය දෙයක් වුණත් සංජීවට තිබුණේ තරමක් තදබල එකක්. රෝග ඉතිහාසයේදී පීනස් ගතිය, පපුවේ සෙම, ඇදුමට නිතර නිතර භාජනය වන රෝගීන්ට මේ තත්ත්වය සුපුරුදු දෙයක් වුණත් සංජීවගේ රෝග ඉතිහාසය ටිකක් වෙනස් කතාවක් කියවුණා. සංජීවගේ වචන වලින්ම කියනවා නම්... ඩොක්ටර් මම කොළඹ අහවල් තරුපහේ හෝටලයේ තමයි රැකියාව කරන්නේ. Resturant and bar ලෙස හැඳින්වෙන (හෝටලයේ රැඳි සිටින විදේශිකයන් හා වෙනත් අමුත්තන්) මත්පැන් සහ විවිධ ආහාර පරිභෝජනය කරන අංශයක තමයි මට පසුගිය අවුරුදු 8ක පමණ කාලයක සිට සේවය කරන්නේ. මේ කුඩා ශාලාවේ රැඳී සිටින පිරිස මත්පැන් සමඟ අධික ලෙස දුම්පානය කිරීම සිරිතක් හා එක ජාතියක සම්ප්‍රදායක්. මේ නිසාම මේකේ ඇතුලේ ඇති වාතය නිතරම සිගරට් දුමෙන් හා සිගරට් ගඳෙන් පිරිලා තියෙනවා. හෝටලයේ අනිකුත් කොටස්වලට මේ සිගරට් ගඳ යන්නේ නැති විදිහට, මේ කුඩා ශාලාව සකස් කර තිබෙන නිසා, වාතාශ්‍රය නිසිලෙස ලැබීමක් සිදුවන්නේත් නැහැ. වායුසමනය මඟින් එක තැන තිබෙන වාතය පිටතට සංසරණය කිරීම සිදුවන්නේ නැහැ. මේ කථාව සිතා මතා මා වෙත සිදු කරන ලද පාපොච්ඡාරයකට වඩා, මා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුයි. සංජීවගේ දෛනික සේවා වැඩ මුරය පැය 12 පමණ වෙනවා. සමහර දිනවල මෙය පැය 18ක් දක්වා දිවෙනවා. අතිකාල මඟින් කීයක් හරි වැඩිපුර උපයා ගැනීමත්, හෝටලයේ ආගන්තුකයින් මඟින් ලැබෙන සංතෝසම් මුදල් කීයක් හෝ උපයා ගැනීමත් නිසා සංජීව මෙම අංශයේ වැඩට උනන්දුවක් දැක්වූවා. නමුත් සංජීව පසුපසින් ඇති අනාගත භයානක විනාශය ගැන නම් ඔහුට කිසිම දැනුමක් හෝ හැඟීමක් තිබුණේ නැහැ. සංජීව දිනකට පැය 12 බැගින් වසර 8ක පමණ කාලයක් එක දිගට සිගරට් දුමට විවෘතව ජීවත් වුණා. මේ කතාව සංජීවට පමණක් සීමා වූ දෙයක් නොවේ. මේ ඔහු සමඟ ඒ ආකාරයට සේවය කරනා අනිකුත් සේවකයන් හා රටපුරා විසිරී තිබෙන තවත් මෙවැනි අංශවල හා ක්ෂේත්‍රවල සේවය කරන දහසක් සංජීවලාගේ කතාවයි.
වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය “අක්‍රිය දුම්පානය” හෙවත් Passive Smoking ලෙස හඳුන්වනු ලබනවා. සක්‍රියව තමන් විසින් සිගරට් උරා බොමින් සිදු කරනා “සක්‍රිය දුම්පානය” වාගේම දිගුකාලීන නිරාවරණයක් මඟින් සිදුවන මෙවැනි “අක්‍රිය දුම්පානයෙන් ද ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙනවා. මෙම රෝග තත්ත්වයන් රුධිර සංසරණ පද්ධතිය තුළ ස්වසන පද්ධතිය තුළ විශේෂයෙන් පෙනහලු පිළිකා ලෙස විවිධ ආකාරයෙන් දක්නට ලැබෙනවා. 1986 සිට 2003 දක්වා ඇමෙරිකාවේ සිදු කරන ලද සමික්ෂණ ගණනාවකින් 1988 දී එංගලන්තයේ සිදු කරන ලද සමීක්ෂණයකින් හා 1997 දී ඕස්ට්‍රේලියාව මඟින් සිදු කරන ලද සමීක්ෂණ ඇතුලු විවිධ සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ අද අපි කතා කරන “සංජීවලාට” පෙනහලු පිළිකා වැළඳීමේ අවධානම අධික බවයි. ඒ වාගේම ස්වාමි පුරුෂයන් නිසා “අක්‍රීය දුම්පානය” සිදු කරන කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ අවධානම ද අධික වෙනවා. කුඩා ළමයින්ට මේ තර්ජනයේදී ඇති අවධානමක් වන්නේ මොළයේ පිළිකාවයි. පිළිකාවලට අමතරව කන් ඇසීම දුර්වල වීමේ අවස්තාවක් ද දක්නට ලැබෙනවා. හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැනි රුධිර සංසරණ පද්ධතියේ ඇතිවන රෝග සඳහා මේ මඟින් ප්‍රධාන දායකත්වයක් සපයන බව පාඨක ඔබ කොතෙකුත් අසා ඇති නිසා ඒ ගැන වැඩියමක් සඳහන් කිරීමට අදහස් කරන්නේ නැහැ. ඇඳුම හා පපුවේ හතිය මහන්සිය නිතර කැස්ස සෑදීම වැනි ස්වසන රෝගත්, ගර්භණී සමයකදී නම් උපදින දරුවාට උපත් ආබාධයක්, උපත් බර අඩු වීමත්, අඩු මාසෙන් ඉපදීමත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස දැක්වෙනවා. මීට අමතරව කුඩා දරුවන්ට දද වැනි සමේ රෝගත්, ඉක්මනින් දත් දිරායාමත්, බඩවැල් ආශි‍්‍රත සමහර රෝගත් ආදි ලෙස විවිධ වූ රෝග තත්ත්වයන්ට ලක් වෙනවා. ඒවාගේ වැඩිහිටි වියේ පසුවන්නන්ට මානසික ආබාධ, හොඳින් සිතා මතා ක්‍රියාකිරීමට බැරිවීම වැනි දුබල මානසික තත්ත්යන් ඇති වෙනවා. සංජීවගේ කතාව ගැන උනන්දුවූ මට සිතුනේ මේ පිළිබඳව අදාළ සේවා ස්ථානවල බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් හා සෞඛ්‍ය බලධාරීන් නිසි අවධානය යොමු කරන්නේ නම් මෙවැනි තත්ත්වයන් වැළැක්වීම කෙසේ වෙතත් අවම කිරීමක් හෝ සිදු කළ හැකි බවයි. ගතවන දිනක් දිනක් පාසා “දහසක් සංජීවලාගේ” ජීවිත ක්‍රම ක්‍රමයෙන් අවධානමට ලක්වීම වළක්වා ගන්න අමාරු බව අප සැවොම අවබෝධ කරගත යුතු වෙනවා.
උපුටා ගැනීම දිනමිණ