සමාජ රෝග වරක් හැදුණට ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ නෑ - වැරැදි ඇසුරකදී නැවත නැවත බෝවිය හැකියි
සමාජ රෝග යනු මොනවා ද?
සමාජ රෝග යන වචනයට වඩාත් ගැළපෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හෙවත්, ලිංගිකව පැතිරෙන රෝග යන්නයි. අතීතයේ සිටම එය VD යන කෙටි නාමයෙන් ද හැඳින්වෙනවා. ඒ ‘Venerial Disease’ යන වචන දෙකේ මුල් අකුරු දෙක ගෙන කෙටි යෙදුමක් ලෙසයි. එහෙත් වර්තමානයේ මෙම රෝග Sexually Transmitted Diseases හෙවත් STD යන යෙදුමෙන් වඩාත් පැහැදිලිව අර්ථ දැක්වෙනවා.
VD යන කෙටි නාමය යටතට ගැනෙන රෝග මොනවා ද?
එය ලිංගිකව බෝවිය හැකි සෑම රෝගයකටම පොදුවේ භාවිත කරන නාමයයි. එවැනි රෝග 13 ක් පමණ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් සමහර රෝග ඉතා භයානකයි. සුව කළ නොහැකියි. සමහර රෝග භයානක වුවද නිවැරැදි ප්‍රතිකාර මඟින් සුව කළ හැකියි. ප්‍රතිකාර නොකළේ නම් රෝගය උත්සන්න වී රෝගියා මියයාමට ද පුළුවන්. තවත් සමහර රෝග භයානක නොවුණත් කරදරකාරියි.
එවැනි රෝගවලින් වැළකීමට පුළුවන් ද?
ඔව්. එය මතකයේ තබා ගත යුතු ඉතා වැදගත් කරුණක්. ලිංගිකව පැතිරිය හැකි රෝග බොහෝ විට බෝවන්නේ එම රෝගය වැලඳි ඇති තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමෙන්. එම නිසා එවැනි රෝගවලින් වැළකීම ඉතා පහසුයි. අවශ්‍ය වන්නේ නිවැරැදි ජීවන රටාවකට හුරු වීමයි. මීට අමතරව රුධිර පාරවිලනයෙන්, නික්ෂේපණ සහ මවගෙන් කළලයට ආදි ලෙස සමාජ රෝග බෝවිය හැකියි.
බහුලව දක්නට ලැබෙන සමාජ රෝග මොනවා ද?
අපේ රටේ ප්‍රධාන වශයෙන් පැතිරී ඇති මෙවැනි රෝග හතරක් තිබෙනවා. ගොනෝරියාව, උපදංශය (සිෆිලිස්), නොවිශේෂිත මුත්‍රා මාර්ග ආසාදනය සහ ලිංගික හර්පීස් ආදි රෝග ඒ අතර ප්‍රධානයි. මීට අමතරව ඉනිකුන්නන් බෝවීම, දිලීර ආසාදන, ට්‍රයිකෝමොනාසිස් ආසාදන වැනි රෝග ද දැකගත හැකියි. එමෙන් ම බහුලව පැතිර නැතත් ඒඩ්ස් රෝගය ද භයානක රෝගී තත්ත්වයක්. එය මාරාන්තිකයි.
උපදංශ රෝගය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ඒඩ්ස් රෝගය හැරුණු විට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතර භයානකම රෝගය උපදංශයයි. රෝගය ඇති කරන්නේ ට්‍රිපොනීමා පැලිඩම් නමැති බැක්ටීරියාවක් මඟින්. ලිංගික ඇසුරක දී අදාළ රෝගියාගේ සහකරුට හෝ සහකාරියට රෝගය බෝවෙයි. රෝගී මවකගේ දරු ගැබෙහි සිටින දරුවාට ද රෝගය බෝවී ඔහු උපතින් ම ආබාධිතයෙක් බවට පත්වීමට ද පුළුවන්. ගැබිනි කාලයේ දී පෙර ප්‍රසව සායනවල දී මවුවරුන්ගේ රුධිරය VDRL නමැති පරීක්ෂණය මඟින් උපදංශ රෝගය වැලඳි තිබේදැයි බලන්නේ ඒ නිසයි.
උපදංශ රෝගයේ රෝග ලක්ෂණ මොනවා ද?
විෂබීජය ශරීරගත වූ ප්‍රදේශයේ වේදනා රහිත තුවාලයක් හට ගැනීම මුලින්ම සිදු වේ. එය ලිංගික ප්‍රදේශයේ, ගුද ප්‍රදේශයේ හෝ මුඛයේ ඇතිවිය හැකියි. කලාතුරකින් එවැනි තුවාල හට නොගැනීමට ද ඉඩ තිබේ. එම නිසා සමහර අයට රෝගයේ මුල් අවස්ථාව මඟහැරී යාමට පුළුවන්. එමෙන් ම මෙම තුවාල ප්‍රතිකාර කළ ද නොකළ ද ටික දිනකින් සුව වේ. රෝගය පිළිබඳව දැනුම්වත් වීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි. ඒ වගේම රෝග ලක්ෂණ මතු වූ විගස සමාජ රෝග සායනයකට හෝ වෛද්‍යවරයකු කරා වහාම ගොස් තමාට රෝගය වැලඳි ඇත්දැයි පරීක්ෂා කරගැනීමට එමඟින් පෙලඹිය හැකියි.
උපදංශය නිට්ටාවට සුවකළ හැකි ද?
උපදංශය හෙවත් සිපිලිස් රෝගය සඳහා නොවරදින, නිට්ටාවට සුවකළ හැකි ප්‍රතිකාර තිබේ. එහෙත් එම ප්‍රතිකාර භාවිතය වඩාත් සාර්ථක වන්නේ රෝගය නිසි ලෙස හඳුනාගෙන කලට වේලාවට ප්‍රතිකාර කළේනම් පමණි. එසේ නොකළේ නම් රෝගය නිදන්ගත වී රෝගියා මිය යාමට ද ඉඩ තිබේ. පළපුරුදු වෛද්‍යවරයකුට රෝග විනිශ්චය ඉතා පහසුය. වී. ඩී. ආර්. එල්. (VDRL) රුධිර පරීක්ෂණය මඟින් රෝගී තත්ත්වය සනාථ කළ හැකිය.
ගොනෝරියා රෝග ලක්ෂණ මොනවා ද?
ගොනෝරියා රෝගය ඇති කරන්නේ ‘නයිසීරියා ගොනරි’ නම් තවත් බැක්ටීරියා විශේෂයක් මඟින්. ලිංගික ඇසුරක දී රෝගියකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවෙයි. ගොනෝරියා රෝගය වැලඳුණ කාන්තාවන් ගෙන් සියයට 80 ටම රෝග ලක්ෂණ මතු නොවන නිසා ඔවුන් තමන්ට රෝගය වැලඳි ඇති බව නොදැනීම මෙම රෝගයේ විශේෂත්වයක්. රෝග ලක්ෂණ ලෙස මුත්‍රා පිට කිරීමේ දී ඇතිවන දැවිල්ල, යටි බඩේ වේදනාව සහ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම දැනෙන්නේ රෝගී කාන්තාවන්ගෙන් සියයට 20 කට පමණි. යෝනි මාර්ගයෙන් ලබා ගන්නා ස්‍රාවය පරීක්ෂා කිරීමෙන් රෝග කාරක බැක්ටීරියාව හඳුනා ගත හැකියි.
ගොනෝරියා රෝග ලක්ෂණ පිරිමි හා කාන්තාවන් අතර වෙනසක් තිබෙනවා ද?
ඔව්. ගොනෝරියා රෝගයේ දී කාන්තාවන්ට වඩා පිරිමින්ට රෝග ලක්ෂණ මතුවන ආකාරය වෙනස්. අධික මුත්‍රා දැවිල්ල, මුත්‍ර මාර්ගයෙන් සැරව ගැලීම රෝගය වැලඳුණ සෑම පිරිමියකුටම දැනේ. සමහර ගොනෝරියා බැක්ටීරියාවන් පෙනිසිලින් ඖෂධයට ප්‍රතිරෝධතාවයක් දක්වයි. ඒ සඳහා වෙනත් ප්‍රතිජීවක වර්ග තිබේ. ගොනෝරියා රෝගීන්ට ප්‍රතිකාර කරන කාලයේ දී මත් වතුරින් වැළකී සිටීමත්, ලිංගික ඇසුරින් ඉවත්වීම වැදගත් වේ. ඒ වගේම මෙම රෝගයේ දී ඉතාම වැදගත් වන්නේ රෝගය වැලඳි ඇති, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන කාන්තාවන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමයි. විශේෂයෙන් ඇය බොහෝ පිරිමින් ඇසුරු කරන කාන්තාවක් නම් දින කිහිපයක දී විශාල පිරිසකට රෝගය පැතිරී යා හැකියි.
ගොනෝරියා රෝගය ඇති ගැබිනි මවකගෙන් දරුවාට රෝගය බෝවිය හැකි ද?
සාමාන්‍ය දරු ප්‍රසූතියේ දී ගොනෝරියාවෙන් ආසාදිත යෝනි මාර්ගයේ ඇති විෂබීජ දරුවාගේ ඇසෙහි රැඳී ආසාදනයක් ඇති කළ හැකියි.
ගොනෝරියා රෝගය වැලඳී සුව වීමෙන් පසු ප්‍රතිශක්තිය වර්ධනය වීම නිසා, නැවත රෝගය බෝ නොවෙනවා කියන කතාව ඇත්ත ද?
එය සම්පූර්ණයෙන් වැරැදි මතයක්. ගොනෝරියාව වරක් හැදුණාට එයට ප්‍රතිශක්තියක් වර්ධනය වන්නේ නෑ. එම නිසා විෂ බීජයට නැවත නැවතත් රෝගය ඇති වෙන්නට පුළුවන්.
විශේෂිත නොවන මුත්‍රා මාර්ග ආසාදනය ලෙස හැඳින්වෙන්නේ කෙබඳු රෝගී තත්ත්වයක් ද?
එම රෝගය බෝ කරන්නේ ක්ලැමීඩියා ට්‍රැනෝමාට්ස් සහ යූරිලයිටිකුම් නමැති ක්ෂුද්‍ර ජීවින් විසින්. එය ගොනෝරියා නොවන මුත්‍ර ආසාදනය ලෙස ද හැඳින්වෙනවා. ලිංගිකව පැතිරෙන රෝග අතරින් බහුලවම දක්නට ලැබෙන රෝගයක් වන මෙය සමහරවිට ප්‍රතිකාර කළ ද නැවත මතුවිය හැකි රෝගයකි. මුත්‍ර දැවිල්ල, නිතර නිතර මුත්‍ර පහකිරීමට සිදුවීම සහ මුත්‍ර මාර්ගයෙන් ශුක්‍ර තරලය වැනි අළු පැහැති දියරයක් පිටවීම ද සිදුවේ. ඒවා පරීක්ෂා කොට රෝග කාරක බැක්ටීරියාව හඳුනාගත හැකි වේ.
‘ජෙනිටල් හර්පීස්’ හෙවත් ලිංගික හර්පීස් රෝගය හඳුනා ගන්නේ කෙසේ ද?
මේ රෝගය ඇති කරන්නේ වයිරසයක් මගින්. බෝවන්නේ ලිංගික ඇසුරක දීයි. රෝගය නිසා හටගන්නා බිබිලි තට්ටම්වල, කලව සහ ගුදය අවට, ලිංග්‍රේන්ද්‍රියෙහි වැඩි වශයෙන් දක්නට ලැබේ. රෝගය වැලඳි ඇති මවකගෙන් දරු ප්‍රසූතියේ දී දරුවාට ද රෝගය දරුණු ලෙස සම්ප්‍රේෂණය විය හැකියි. රෝගය වැලඳුණු කාන්තාවන්ගේ ගර්භාෂ ගෙලෙහි පසු කලෙක පිළිකා ඇතිවීමේ අවදානමක් ද වේ. රෝගය නිට්ටාවට සුව කිරීම සඳහා මෙතෙක් ඖෂධ සොයාගෙන නැතත් රෝගයේ ප්‍රබලතාව අවම කළ හැකි ඖෂධ ඇත.
සමාජ රෝග වැලඳුණු පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රමවේදය කුමක් ද?
කෙනෙකු දෙස බාහිරින් නිරීක්ෂණය කොට ඔහුට සමාජ රෝගයක් තිබේ ද? නොතිබේ ද? යන්න නිශ්චය කළ නොහැකියි. ඉතා සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනෙන අයට පවා එවැනි රෝග වැලඳි තිබිය හැකියි. තමන්ට සමාජ රෝග වැලඳි ඇති ද යන සැකය ඇත්නම් වෛද්‍ය පරීක්ෂණ මඟින් එය ස්ථිරවම නිගමනය කළ හැකියි.
එවැනි සැකයක් ඇති කෙනෙක් කළ යුතු කාර්ය කෙබඳු ද?
එවැනි සැකයක් වේ නම් හැකි විගස වෛද්‍යවරයකු හමුවිය යුතුයි. මෙහිදී වෛද්‍යවරයාට රෝගය පිළිබඳව විස්තර නොසඟවා පැවසීම ඉතාම වැදගත්. බොහෝ සමාජ රෝග සඳහා නොවරදින ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. එසේ ප්‍රතිකාරවලට යොමු වීමෙන් තමන්ට රෝගය සුව කර ගැනීමට අවස්ථාව උදාවනවා සේ ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මැඬලීමට සහාය වීමට ද පුළුවන්.
සමහර සමාජ රෝග වැසිකිළි අසුනේ වාඩිවීමෙන් බෝ වෙනවා ද?
එය ඉතාම කලාතුරකින් සමහර රෝගයක දී පමණක් සිදුවන්නක්. ‘ට්‍රයිකොමොනයිසස්’ නමැති යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීමේ රෝගය තෙත් වූ වැසිකිළි සීට් එකකින් බෝවිය හැකියි. සමාජ රෝග බොහෝ විට බෝවන්නේ ලිංගික ඇසුරකදීයි.
සමාජ රෝග කාන්තාවකගේ වඳ බවට හේතුවක් ද?
සමාජ රෝග වැලඳුණ කාන්තාවක් වඳ බවට පත්විය හැකියි. ඊට හේතුව එවැනි කාන්තාවන්ගේ අභ්‍යන්තර ලිංගික අවයව ආසාදනයට ලක්වීම නිසා ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිදහස් වී පැලෝපීය නාලය දිගේ එන ක්‍රියාවලිය අවහිර විය හැකි අතර එය වඳ බවට පත්වීමට හේතුවක් වීමයි.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
උපුටා ගැනීම සිළුමිණ