Biz Log
Classifields
Biz Log
Classifields

ඇසේ සුද කපන්න බෙහෙත් නෑ ඇසේ පීඩනයයි අධි රුධිර පීඩනයයි අතර කිසිම සබඳතාවකුත් නෑ

ඇසේ සුද කපන්න බෙහෙත් නෑ ඇසේ පීඩනයයි අධි රුධිර පීඩනයයි අතර කිසිම සබඳතාවකුත් නෑ

ඇසේ සුද ඇතිවීම පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කළ හැකි ද?

අපගේ ඇස කරා ගලා එන ආලෝක ධාරාවන්, අපට පෙනුම සලසන කුහරයේ පසුපස පිහිටි දෘෂ්ටි විතානයට නාභිගත කරන්නේ ඇසේ කාචය මඟින්. එය පිහිටා තිබෙන්නේ ‘ඇසේ ‘බබා’ ලෙස හැඳින්වෙන ස්වේච්ඡ මණ්ඩලයට පිටුපසින් ඇස තුළ ගිල්වී ඇති ආකාරයටයි. සමහර අයගේ ඇසේ පිහිටි එම කාචය ක්‍රමයෙන් සුදු පැහැය වීමට පටන් ගන්නවා. එය ඇසේ සුද මතුවීම ලෙස හඳුන්වනවා.

ඇසේ සුද ඇතිවීමට බලපාන හේතු සාධක මොනවා ද?

දියවැඩියාව ඇසේ සුද ඇතිවීමට හේතු කාරක විය හැකියි. ඒ වගේම යම් කෙනෙක් ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ පෙති වශයෙන් හෝ ඇස් දියර වශයෙන් හෝ දිගු කලක් පාවිච්චි කළේ නම් ඇසේ සුද මතුවීමට එය හේතුවක් විය හැකියි. ඇසට තදින් පහරක් වැදුණේ නම් එය ද පසු කාලීනව ඇසේ සුද මතුවීමට බලපෑ හැකියි. විදත් චුම්බක, කොස්මික් කිරණ, මයික්‍රොවෙව් සහ අධොරක්ත කිරණවලට නිරාවරණය වන අයට ද ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව සොයා ගෙන තිබෙනවා.

සමහර ළමයින්ට උපතින්ම සුද ඇති වෙනවා කියන කතාව ඇත්ත ද?

එය ඉතා කලාතුරකින් සිදුවන්නක්. දරුවා පිළිසිඳ ගත් මුල් අවදියේ දරු ගැබ තුළ සිදුවන ආසාදන, මව ගන්නා ඖෂධ වර්ග ආදිය නිසා එම තත්ත්වය ඇතිවිය හැකියි.

ඇසේ සුද ඇතිවීම කල්තියා හඳුනාගත හැකි ද?

ඇසේ සුද ඇතිවන්නේ බොහෝ විට වැඩිහිටි බවට පත් වූ පසුවයි. සමහර අයගේ එම තත්ත්වය ඇතිවීම සිදු වන්නේ බොහෝම සෙමෙන්. එම නිසා ඒ ගැන තේරුමක් නොවිය හැකියි. වයසත් සමඟ ඇස් දුර්වල වන බව සිතමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොපෙලඹෙයි. ඇසේ සුද මතුවීමේ දී මුලින්ම වෙනදා පෙනුණ තරම් පැහැදිලිව පෙනෙන ගතිය නැති වී යයි. සමහර කෙනෙකුට හිරු එළිය දෙස බැලීම අපහසු වේ. ඇසෙහි සුද මෝරන විට තමන් අසල ඇති දේ පවා හඳුනා ගැනීමට නොහැකි වේ. අවසානයේ දී හඳුනාගත හැකි වන්නේ ආලෝකයත් අඳුරත් පමණි. ඒ වගේම සාමාන්‍යයෙන් සුද ඇති වීමේදී පළමුව එක් ඇසක ඇතිවී පසුව අනෙක් ඇසට ද ඇති වේ. ප්‍රතිකාර නොකළේ නම් කාලයක් ගත වන විට ඇස් දෙකේම පෙනීම නැති වී යයි.

ඇසේ සුද මෝරන තෙක් එය ශල්‍ය කර්මයකින් ඉවත් කළ නොහැකි ද?

ඇසේ කාචය ඉවත් කිරීම ඕනෑම අවස්ථාවක කළ හැකියි. එහෙත් ඇසේ සුද මෝරා නැත යන්නෙන් අදහස් කෙරෙන්නේ එය ඉවත් කිරීමට සුදුසු අවස්ථාව එළඹී නැති බවයි. එය සරලව මෙසේ හඳුන්වා දිය හැකියි. ඇසේ කාචය ඉවත් කළ පසුවත් ඉතාම පැහැදිලි පෙනුමක් නොලැබේ. කාචය නැති නිසා සෑම දෙයක් ම හොඳින් දෘෂ්ටි විතානය මත නාභිගත නොවේ. ශල්‍යකර්මයට පෙර පෙනුණ ප්‍රමාණයට වඩා හොඳ පෙනුමක් ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන අවස්ථාව තෝරා ගැනීම වෛද්‍යවරයාගේ කටයුත්තක්. ඇසේ සුද මෝරා නැතැයි යන්නෙන් අදහස් කරන්නේ එම අවස්ථාවට තවම පත්වී නැතැයි යන්නයි.

ඇසේ සුද සඳහා කරන ප්‍රතිකාරය ශල්‍යකර්මය පමණ ද?

ඇසේ සුද ඇතිවීම ඇසේ කාචයේ මැද (න්‍යෂ්ටිය කොටසේ) පමණක් හටගෙන තිබේ නම් ඇසේ බබා එනම් ස්විච්ඡ මණ්ඩලය විශාල වන ඖෂධ ඇසට දැමීමෙන් ආලෝක කිරණ කාචයේ සුද ඇති නොවූ කොටස් හරහා ගලා යාමට සැලැස්වීමෙන් පෙනීම තරමක් වැඩිකර ගත හැකි වේ. එහෙත් බොහෝ අයගේ ඇසේ සුද මුළු කාචය පුරාම ඇතිවන නිසා ඇහැට බෙහෙත් වර්ග දැමීම තරමක් හෝ සාර්ථක වන්නේ ඉතාම සුළු රෝගීන් සංඛ්‍යාවකට පමණයි. එහෙත් ශල්‍ය කර්මය ඇසේ සුද සඳහා සාර්ථක ප්‍රතිකාරයක්.

ශල්‍ය කර්මයකින් ඇසේ සුද ඉවත් කළ පසු පෙනීම තරමක් අපැහැදිලි බව සමහර රෝගීන් පවසනවා. ඊට හේතුව කුමක් ද?

එයට හේතුව වන්නේ ඇසේ සුදු පැහැ ගැන් වූ කාචය ඉවත් කළ පසු ඇස තුළට ගලා එන ආලෝක කිරණ පාලනයකින් තොරව දෘෂ්ටි විතානය මත පතිත වීමයි. අවට තිබෙන දේ දෘෂ්ටි විතානය මත හොඳින් නාභිගත නොවීම නිසා ඒවා පෙනෙන්නේ අපැහැදිලිවයි. එයට ප්‍රතිකාර නම් ඉවත් කළ කාචයේ කාර්යභාරය ඉටු කිරීම සඳහා වෙනත් කාචයක් යොදා ගැනීමයි.

එය සිදු කරන ආකාරය පිළිබඳව විස්තර කළොත්?

මෙහි දී ක්‍රම තුනක් අනුගමනය කළ හැකියි. ඇසට ගැළපෙන කාචය සහිත ඇස් කන්නාඩි කුට්ටමක් පැලඳීම ඉන් එක් ක්‍රමයක්. ඇසට හේත්තු වී සිටින අයුරින් සිවි කාචයක් පැලඳීම අනෙක් ක්‍රමයයි. තුන්වැනි ක්‍රමය නම් ශල්‍ය කර්මය කරන අවස්ථාවේදීම ඇසේ කාචය ඉවත් කර ඒ වෙනුවට ඇස තුළ කෘත්‍රිම කාචයක් (Intra Occularlense) සවි කිරීමයි. එමඟින් බොහෝ දුරට පෙනීම පැහැදිලි වේ. වර්තමානයේ වැඩිපුරම භාවිතයට ගැනෙන්නේ ද එම ක්‍රමයයි.

ඇසේ සුද කැපෙන බෙහෙත් ඇති බව සමහර අය පවසනවා. එහි සත්‍යතාවක් තිබෙනවා ද?

ඇසේ සුද කැපෙන්නට බෙහෙත් දමා එය (කාචයේ සුදු පැහැ ගැන්වීම) සුව කරගත් කිසිම කෙනෙක් මෙතෙක් හමු වී නැත. එහෙත් ගොඩ වෙදකම් කරන්නට යාමෙන් ඇස සම්පූර්ණයෙන්ම නරක් කරගත් අය නම් හමු වී තිබේ. මේ තත්ත්වය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. බිත්තරයක් තැම්බීමෙන් පසු එහි සුදු මදයේ පාරදෘශ්‍ය ස්වභාවය එනම් විනිවිද පෙනෙන ගතිය නැති වී සුදු පැහැ ගැන්වීම ගන බවට පත්වන ආකාරය ඔබ දැක තිබේ ද? එය මොන යම් ක්‍රමයකින් හෝ නැවත මුලින් තිබු තත්ත්වයට එනම් විනිවිද පෙනෙන ස්වභාවයට පත්කළ නොහැකිය. ඇසේ සුද ද එවැනිය. කාචය සුදු පැහැ ගැන්වුණ පසු එය පාරදෘශ්‍ය කිරීමේ ක්‍රමයක් නවීන වෛද්‍ය විද්‍යාව මඟින් සොයා ගෙන නැත.

ඇසේ සුද ඇතිවීම හා ඇසේ පීඩනය හෙවත් ග්ලුකෝමාව අතර සම්බන්ධයක් තිබෙනවා ද?

ග්ලුකොමාව යන්නෙන් අදහස් වන්නේ ඇසෙහි පීඩනය වැඩිවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මෙම රෝගයේ දී ඇසෙහි පීඩනය වැඩි වීම නිසා ඒ තුළ ඇති සියුම් පටකවලට සහ දෘෂ්ටි ස්නායුවට හානි සිදු වී පෙනීම දුර්වල වේ. අවසානයේ දී අන්ධ භාවයට පත් වේ. ඇසේ පීඩනය බොහෝ විට එක ඇසක ඇති වුවද සමහර විට ඇස් දෙකටම එකවර ඇතිවීමට ද ඉඩ තිබේ.

ග්ලුකෝමා තත්ත්වය හඳුනා ගත හැකි වන්නේ කෙසේ ද?

ග්ලුකෝමා තත්ත්වයේ මුල් අවදියේ දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. රෝගියාට නොදැනීම, කාලයක් තිස්සේ ඇස් පෙනීම දුර්වල වීම රෝග ස්වභාවයයි. ග්ලුකෝමා තත්ත්වයට පත් වූ විට පෙනෙන්නේ හරියට බටයක් තුළින් යමක් දෙස බලන විට පෙනෙන ආකාරයටයි. අප මෙහිදී හොඳින් අවධාරණය කරගත යුතු දෙයක් තිබෙනවා. ග්ලුකෝමාව නිසා දුර්වල වූ පෙනුම නැවත ලබා ගත නොහැකි බවයි. එහෙත් වහාම ප්‍රතිකාර ඇරැඹුවේ නම් තව දුරටත් අන්ධ භාවයට පත්වීම වළක්වා ගත හැකියි.

ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට ග්ලුකෝමාව ඇතිවිය හැකි ද?

ඔව්. ඕනෑම කෙනෙකුට ග්ලුකෝමාව ඇතිවිය හැකියි. එහෙත් වයසට යාමත් සමඟ එම ප්‍රවණතාව වැඩි වේ. විශේෂයෙන් වයස අවුරුදු හතළිහ ඉක්ම වූ පසු රෝගය වැඩිපුර හැදීමේ ඉඩ තිබේ. ඇසේ පීඩනය වැඩිවීමට නියම හේතුවක් තවම අවබෝධ කරගෙන නැතත් එය පවුල්වල ආරයට යන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙක් අක්ෂි වෛද්‍ය විශේෂඥයකු ලවා කල්තියා ඇස් පරීක්ෂා කර ගැනීම ඉතා සුදුසුයි.

රෝගය ඇතිවීමේ අවදානම වැඩි කාට ද?

දියවැඩියාවෙන් පෙළෙන අය අතර ඇසේ පීඩනය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති බව පෙනී ගොස් තිබෙනවා. මේ නිසා එම රෝගයෙන් පෙළෙන අය වගේම වයස අවුරුදු හතළිහට වැඩි අය, පවුලේ ඥාතින් අතර ග්ලුකෝමාව ඇති අය, වෛද්‍යවරයකු හමු වී ඇසේ පීඩනය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්.

අධි රුධිර පීඩනයත්, ඇසේ පීඩනය වැඩිවීමත් අතර සම්බන්ධයක් තිබෙනවා ද?

මේ රෝග තත්ත්වයන් දෙක අතර කිසිඳු සම්බන්ධතාවක් නැත. එහෙත් එකම පුද්ගලයාට රෝග දෙකම එකම අවස්ථාවේදී තිබෙන්නට පුළුවන්.

ග්ලුකෝමාව නිසා තව දුරටත් අන්ධ වීම වැළැක්වීම සඳහා කරනු ලබන ප්‍රතිකාර මොනවා ද?

පළමු ප්‍රතිකාරය ඇසට ඖෂධ දියර වර්ග දැමීමයි. එය නිතිපතා කළ යුතුයි. මුල දී අපහසු දෙයක් ලෙස දැනුණ ද කල්ගත වීමේ දී එය පුරුද්දක් බවට පත් වේ. සමහර විට ජීවිතාන්තය දක්වාම ඇසට ඖෂධ දියර දැමීමට සිදුවිය හැකිය. දෙවන ප්‍රතිකාරය ශල්‍යකර්මයයි. එය කළ යුතු ද නැද්ද යන්න තීරණය කරන්නේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසිනුයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කළේ, රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ

Share This Article