සුෂුම්නාව අනතුරකට ලක් වූණොත් සිදුවන දේ
අනතුරු පිළිබඳ කතා කිරීමේදී වර්තමානයේ ලෝකය පුරා අනතුරු පිළිබඳ සිදුවන වාර්තා බොහෝමයකි. එයින් ප්‍රධානතම ස්ථානය ගන්නේ මාර්ග අනතුරුය. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම නිසා මාර්ග අනතුරු බහුල වශයෙන් සිදුවන බැව් නිරන්තරයෙන් රථවාහන පොලීසිය අනතුරු හඟවයි. එසේම උසකින් බිමට වැටීම ප්‍රචණ්ඩ ක්‍රියා ආදිය නිසාත් ගෘහස්ත අනපේක්ෂිත සිදුවීම් නිසාද අනතුරු බහුල වේ. අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවත්, සදාකාලිකව අබ්බාගාත තත්ත්වයට පත්වන පිරිසත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. රඹුටන් කාලෙට ගස්වලින් වැටී රෝහල් ගත කරන බොහෝදෙනෙකුගේ තත්ත්වය බරපතල වන්නේ සුෂුම්නාවට අනතුරු වීම නිසාය. විශේෂයෙන්ම තරුණ පුතුන් සහ අඩු ආදායම්ලාභී පිරිමි පක්ෂයට මුහුණ දීමට තිඛෙන මේ ගැටලුව නිසා ජීවිතය පුරාම ලෙඩ ඇඬේ සිටීමට සිදුවන්නේ කීයක් හරි හම්බ කර ගන්නට වෙහෙසීමෙන් ලැඛෙන අනසි ප්‍රතිඵල ලෙසය. වසරකට 1500 - 2000 ක් පමණ සෂුම්නා අනතුරු නිසා රෝහල්ගත කෙරෙන බවද වාර්තා වී ඇත. මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ යම්කිසි අනතුරකදී ඔබගේ සුෂුම්නාවට යම්කිසි අනතුරක් සිදු වූවොත් ඔබට අත්වන ඉරණම පිළිබඳවයි. ඊට ප්‍රථම සුෂුම්නාව යනු කිමෙක්දැයි අවබෝධයක් ලබා ගනිමු.
සුෂුම්නාව යනු ස්නායු තන්තු මිටියකි. මෙය ස්නායු සෛල ලක්ෂ ගණනකින් යුක්ත වේ. දිගින් අඟල් 18 -20 පමණ වන අතර ඝනකම අඟලක් පමණ වේ. සුෂුම්නාව පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් මොළයේ සිට පහළ ප්‍රදේශය දක්වාය. කොඳු ඇට පෙළ අස්ථි පද්ධතියට අයත් වන අතර සුෂුම්නාව අයත් වන්නේ ස්නායු පද්ධතියටය. සුෂුම්නාවට හානි සිදු වූවහොත් ශරිරයේ කොටස් අප්‍රාණික වේ. සුෂුම්නාව පිළිබඳ තවදුරටත් පැවසීමේදී ශරීරයේ සිදුවන සියලුම ක්‍රියා පාලනය වන්නේ මොළයෙනි. මේ සියලුම ක්‍රියා හොඳින් පාලනය වීමට නම් ශරීරයේ අනෙකුත් අවයවවලින් මොළයට පණිවිඩ පැමිණිය යුතුය. එසේම මොළයේ සිට පණිවිඩ අනෙකුත් අවයව කරා ගමන් කළ යුතුය. පණිවිඩ මොළයෙන් ආරම්භ වී අනෙකුත් ඉන්ද්‍රියයන් කරා පැමිණිය යුතුය. අප ශරීරය තුළ මාංශ පේශි 600 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා ක්‍රියාත්මක වන්නේ මොළයේ සිට එන පණිවිඩ මඟිනි. මොළය හා අනෙකුත් අවයව අතර පණිවිඩ ගෙන යාම සුෂුම්නාවේ ප්‍රධානතම කාර්යයි. එබැවින් යම්කිසි අනතුරකින් සුෂුම්නාවට හානි වූවොත් මොළය සහ අනෙකුත් අවයව අතර පණිවිඩ හුවමාරුව සිදු නොවේ. මෙහිදී අනතුරට ලක් වූ සුෂුම්නාවේ කොටසට පහළ තිඛෙන කොටසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වීමට පටන් ගනී. එවිට සිදුවන්නේ සුෂුම්නාවේ අනතුර සිදු වූ ස්ථානයෙන් පහළ කොටස අප්‍රාණික වීමය. අනතුර සිදු වූ ස්ථානයේ පහළ කොටසේ ක්‍රියාකාරීත්වයට අනතුරුන් බලපෑම් ඇති කරන නිසා අතුරු ආබාධ ඇති වීමත්, සමෙහි දැනීම නැති වී පීඩන තුවාල ඇති වීමද සිදුවිය හැකිය. මුත්‍රාශය හා බඩවැල් පේශිවලට මොළයේ සිට පණිවිඩ නොලැඛෙන නිසා මළ මුත්‍රා පාලනයකින් තොරව සිදු වේ. මේ අයගේ ඇද තුවාල පවා ඇතිවිය හැක. සුෂුම්නා අනතුරකදී ඇතිවන මුල්ම අවස්ථාව ස්නායු කම්පනයයි. එය පැය කිහිපයක් හෝ සති ගණනාවක් (සති 6ක්) පමණ පැවැතිය හැකිය. හානියේ ප්‍රබලතාවය වැඩි වූ තරමට කම්පනය පවතින කාලය ද වැඩි වේ. සුෂුම්නාව අනතුරකට ලක් වූ විට අස්ථියක් බිඳීමකදී හෝ වෙනත් ඉන්ද්‍රියයක් අකර්මණ්‍ය වීමේදී කළ යුතු ප්‍රතිකර්ම කිසිවක් කළ නොහැක. සුෂුම්නාව සෑදී ඇත්තේ මොළේ සෑදී ඇති පටකවලින් බැවින් කිසි දිනක යථා තත්ත්වයට පත් කළ නොහැක.
දීප්ති ෆොන්සේකා
උපුටා ගැනීම දිනමිණ