පිළිතුර හරි බව දැන දැනත් එකම ගණන පස් හය වතාවක් හදල බලන ලෙඩේ ඔබේ දරුවාටත් තිබෙනවාද
යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම ඇතිවන සිතිවිලි, එසේත් නැතිනම් තේරුමක් නැතිව එකම ක්‍රියාවක දිගින් දිගටම නියැළීමට තමන් තුළම පෙලඹීමක් ඇතිවීම නිසා ඔබ කරදරයට, පීඩාවට පත්ව සිටී ද, ඒ හා බැඳුණු නොසන්සුන් ගතියකින්, කාන්සාවකින් පෙළේ ද? එසේ තේරුමක් නැති බව දැන දැනත් දිගින් දිගට ම එකම කාර්යයක නිරත වීම, විකාර රූප සිතිවිලි ගලා ඒම ‘ග්‍රාස්තිය’ එසේත් නැතිනම් OCD රෝගයේ ලක්ෂණ බව ඔබ දන්නවාද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ එම රෝගය පිළිබඳවයි.
ග්‍රාස්තිය හෙවත් OCD රෝගයේ මූලික ලක්ෂණ මොනවාද?
මෙම රෝගයේ ප්‍රධාන වශයෙන් මූලික ලක්ෂණ තුනක් තිබේ. යම් සිතිවිල්ලක් හෝ ක්‍රියාවක් හෝ තමන්ට කරදරකාරීවන ලෙස නැවත නැවත ඇතිවීම, ඒ හා බැඳී පවතින නොසන්සුන් ස්වභාවය හෙවත් කාන්සාව, අර්ථයක් නොවන බව සහ නිශ්ඵල බව දැන දැනත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකිව ඒ කාර්යයෙහි ම නිරත වීම ඒ අතර වේ.
මේ රෝග ලක්ෂණ පිළිබඳව නිදර්ශන මඟින් පැහැදිලි කර දිය හැකිද?
ඔව්. එක් අවස්ථාවක ගණිතය විෂයයට බොහෝ දක්ෂ දරුවෙක් සිටියා. එහෙත් සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු එම විෂයයට සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ පිළිබඳව දරුවාගෙන් කළ විමසීමේදී පැහැදිලි වුණේ ටික කාලයක සිට ඔහු යම් මානසික පීඩාකාරී බවකින් සිටින බවයි. ඒ යම් දෙයක් නිවැරැදිව කළාද යන සැකය දිගින් දිගටම ඇතිවීමයි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදීත් ඔහුට එම තත්ත්වයට මුහුණ දීමට සිදුවී ඇති අතර ගණනක් නිවැරැදිව සාදා තිබුණත් එය වැරදී ඇත යන සිතිවිල්ල දිගින් දිගටම ඇතිවීම නිසා එකම ගණන පස් හය වතාවක් සාදා බැලීමට ඔහුට සිදු වුණා. පිළිතුර නිවැරැදි බව දැන දැනත් එහිම නියැළුණේ ග්‍රාස්තිය නමැති රෝග තත්ත්වය නිසයි. එකම දේ නැවත නැවත කරන්නට යාම නිසා මේ දරුවාට නියමිත වේලාවට පිළිතුරු ලියා අවසන් කළ නොහැකි වීම නිසා විභාගය අසමත් වුණා.
පිරිසුදුකම හා පිළිවෙළ පිළිබඳව අනවශ්‍ය තරමට සිතීමත් ග්‍රාස්තිය රෝගයට සම්බන්ධ ද?
ජීවිතයේ දී පිරිසුදුකම හා පිළිවෙළ අත්‍යවශ්‍යයයි. එහෙත් දෛනික කටයුතු අඩපණ කර ගන්නා තරමට කෙනෙක් පිරිසුදුකම හා පිළිවෙළ ගැන සිතනවා නම් එය ගැටලුවක්. සමහර අය විභාගයක් වැනි අවස්ථාවක පවා අත්වල විෂබීජ තැවරී ඇතැයි සිතා ශාලාධිපතිවරයාට විවිධ දේ පවසමින් අත සෝදාගෙන එන අවස්ථා තිබෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය බෙදූ අය ගේ දෑත්වල ඇති විෂබීජ ඒවායෙහි ස්පර්ශ වී ඇති බව සිතමින්. ඒ වගේම කාර්යාලයක දොරක් ඇරියත් සමහරු හිතන්නේ බොහෝ දෙනෙක් එය ස්පර්ශ කරන නිසා විෂබීජ ඇති බවත් තමන්ගේ දෑතේ එම විෂබීජ තැවරී අසනීප විය හැකි බවත්. ඒ නිසා ම ඔවුන් අනවශ්‍ය ලෙස බොහෝ වේලා වැය කරමින් නැවත නැවත දෑත් පිරිසුදු කරනවා. අනවශ්‍ය ලෙස පිළිවෙළට වැඩ කරන්නට යාම නිසා බොහෝ වැඩ කටයුතු, සමහරවිට දුම්රියට බස්රියට, කාර්යාලයට, පාසලට වේලාවට යාම නොහැකි වීම ආදී ලෙස විවිධ අවස්ථා මඟ හැර ගන්නවා. එය විශාල ගැටලුවක්. මෙසේ එකම සිතිවිල්ල නැවත නැවත ඇතිවීම නිසා එකම ක්‍රියාවක නැවත නැවත නියැළීම එම රෝගීන්ගේ ස්වභාවයයි.
මේ රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කාට ද?
සාමාන්‍යයෙන් මෙවැනි සිතිවිලි නොඑන කෙනෙක් සොයා ගැනීම අපහසුයි. අප කාටත් කවදා හෝ දිනෙක එවැනි සිතිවිලි ඇතිවිය හැකියි. එහෙත් එම තත්ත්වය රෝගයක් ලෙස සලකන්නේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට තරම් අපහසු තත්ත්වයකට පත්වනවා නම් පමණයි. උදාහරණ ලෙස රාත්‍රී නින්දට ගිය පසු නිවෙසේ දොර ජනෙල් වසා තිබේදැයි සැක සිතී වරින්වර පැමිණ ඒවා පරීක්ෂා කරනවා නම් එය නින්දට බාධාවක්. එමඟින් සිතේ කරදරකාරී කාන්සාවක් ඇතිවනවා නම්, පසුදිනට නියමිත කටයුතු අතපසු වනවා නම් වෛද්‍යවරයකු මුණගැසී ඔබ මුහුණ පා සිටින තත්ත්වය පවසා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. සැබැවින් ම මානසික වෛද්‍ය සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 25 ත් අතර ප්‍රමාණයක් ග්‍රාස්තියෙන් පෙළෙන බව පෙනෙනවා. බටහිර රටවල නම් කරන ලද සමීක්ෂණ අනුව ජනගහනයෙන් සියයට තුනක් සමහරවිට ඊටත් වැඩි ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළදී මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වී තිබෙනවා.
මේ රෝගයට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
ග්‍රාස්තියට එසේත් නැතිනම් OCD රෝගයට බලපාන නිශ්චිතම හේතුවක් සොයා ගෙන නැතත් මේ පිළිබඳව විවිධ න්‍යායන් ගොඩනඟා තිබෙනවා. එය උපතින්, ජානවලින් ගෙනෙන ලක්ෂණයක් විය හැකියයි සමහරුන් ගේ විශ්වාසයයි. තවත් කෙනෙක් අදහස් කරන්නේ මිනිසුන්ගේ චර්යාවන් පාලනය කරන, මොළයෙහි ක්‍රියාකාරීත්වයනට බලපාන රසායනික ප්‍රතික්‍රියා පද්ධතීන්ගේ ඇතිවන වෙනස්වීම් ඊට හේතුවිය හැකි බවයි.
ග්‍රාස්තිය රෝගීන් තුළ දැකිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද?
තේරුමක් නැති, අමතක කළ නොහැකි සිතිවිලිවල පැටලී අනර්ථවත් දේ කරන බොහෝ ග්‍රාස්තිය රෝගීන්ට ඇතැම් විට තමන් කළ දේ ගැන තමන්ටම සිනහ යන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම රෝගීන් අතර සමහර කෙනෙකුට, ආගමික සිද්ධස්ථානයකට පැමිණ ආගමික වතාවත් කරන අතරතුරදී පරුෂ වචන වගේ ම පාපතර අදහස් සිතට නැඟීම නිසා ආගමික කටයුතු කර ගත නොහැකිව සිත් තැවුලට පත්වෙනවා. තවත් සමහර කෙනෙකුට තමන්ගේ නිදන කාමරයේ සියල්ල එක පිළිවෙළකට සකසන තුරු නින්ද නොයයි. තවත් කෙනකුට ස්නානයට පැය ගණන් ගත වෙයි. අනවශ්‍ය තරම් වේලාව ගනිමින් සිරුර පිරිසුදු කරයි. මේ ආකාරයට ග්‍රාස්තිය රෝගීන් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.
ග්‍රාස්තිය රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුමද?
ඔව්. යම් පුද්ගලයෙක් තමන්ගේ වෘත්තීය කටයුතු සහ සමාජ කටයුතු ඵලදායි අයුරින් කිරීමට නොහැකි තත්ත්වයට රෝගය උත්සන්න වී ඇත්නම් ප්‍රතිකාරවලට යොමුවීම නුවණට හුරුයි. ඊට හේතුව ඔහුට මානසික රෝගයක් වැලඳී තිබීමයි. වෛද්‍යවරුන් මෙම රෝගය පිළිබඳව හොඳින් දන්නා හෙයින් අවශ්‍ය ප්‍රතිකාර ඔවුන් විසින් තීරණය කරනු ඇති. එමෙන් ම රෝගය තදබල ලෙස බලපා නොතිබේ නම් ඒ පිළිබඳව අවබෝධ කරගැනීමත්, වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමත් (උපදේශනය) සුළු ඖෂධ ප්‍රතිකාරයකුත් ප්‍රමාණවත් වේ. මෝහන ප්‍රතිකාරය ද ඒ සඳහා භාවිතා කළ හැකි තවත් ප්‍රතිකාර ක්‍රමයක්.
මේ රෝගය තදබල ලෙස රෝගියාට බලපෑම් කරන්නේ නම් කළ යුතු වන්නේ කුමක්ද?
රෝගය තදින් ඇත්නම් ඖෂධ ප්‍රතිකාර, උපදේශනවලට අමතරව ප්‍රතිචාර නිවාරණය නමැති චර්යා ප්‍රතිකාරය ලබාදීමට සිදුවනු ඇත. මෙහිදී රෝගියා බියට පත් කළ තත්ත්වයට නැවත පමුණුවා (උදාහරණ ලෙස විෂබීජ බිය ඇති කෙනෙක් නම් ඔහුගේ දෑත්වල, බිය ඇති කළ දේ තවරා) ප්‍රතිකාර ලබා දෙන අය ගේ අධීක්ෂණය යටතේ ඔහුට සාමාන්‍ය වැඩ කටයුතු කිරීමට සැලැස්වීම සිදු කෙරේ. එවිට කාලයාගේ ඇවෑමෙන් රෝගියාගේ නිරර්ථක සිතිවිලි දුරු වී කාන්සාව පහව යන හෙයින් තේරුමක් නැති ක්‍රියාවන් හි නිරත වීම ඔහුටත් නොදැනීම පහව යයි.
මෙවැනි රෝගියෙක් පිළිබඳව පවුලේ සාමාජිකයන් ගේ හැසිරීම කෙබඳු විය යුතු ද?
හොඳම දේ රෝගියා තේරුම් ගැනීමයි. ඒ වගේ ම ඔහු සමඟ උරණ නොවී කරුණාවෙන් සහ දයාවෙන් ඇසුරු කළ යුතුයි. ඒ වගේ ම හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ද වැදගත්.
ග්‍රාස්තිය රෝගියකු ප්‍රතිකාරවලට යොමු නොකළේ නම් කුමක් සිදුවේද?
එවැනි රෝගියකුට නිසි කලට ප්‍රතිකාර නොලැබුවේ නම් ඇතැම් විට ඔවුන්ගේ පවුල් ජීවිතය පවා අවුල් විය හැකියි. දක්ෂ දරුවෙක් වුව ද අනවශ්‍ය ලෙස එකම දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම නිසා ඔහුගේ අනාගත ජීවිතයම අඳුරු විය හැකියි.
කුඩා දරුවන්ටත් මේ රෝගය ඇතිවිය හැකිද?
ග්‍රාස්තිය ඇතිවන්නේ මනුෂ්‍යයා සමාජගත වීමත් සමඟයි. අවුරුදු තුනෙන් පසුව දරුවකුට වුව ද රෝගය ඇති විය හැකියි. ඒ වගේ ම එවැනි දරුවන් සම්බන්ධව මවුපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. දරුවට තරවටු කිරීම සුදුසු නොවේ. ආදරයෙන් කරුණාවෙන් දරුවාට සමීප වී ඔහුට ඇති තත්ත්වය තේරුම්කර දිය යුතුයි. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ද ඉතා වැදගත්. විශේෂයෙන් විභාගයකට පාඩම් කරන දරුවකු නම් වහාම පවුලේ වෛද්‍යවරයාට හෝ මානසික වෛද්‍යවරයකුට යොමු කළ යුතුයි.
සමහර අය කැරපොත්තන්, මීයන් ආදී සතුන්ට අසාමාන්‍ය බියක් දක්වනවා. එයත් ග්‍රාස්තිය රෝගයේ රෝග ලක්ෂණයක් ද?
නෑ. මෙය ‘ෆෝබියා’ නැමැති රෝගයේ ලක්ෂණයක්. සමහරු මෙය හඳුන්වන්නේ ‘බයයි බයයි භීතිකාව’ නමින්. කැරපොත්තන් වැනි කෘමීන්ට දක්වන බිය. කෘමි භීතිකාව ලෙසින් එය සිංහලයට පරිවර්තනය කළ හැකියි. සමහර අය සතුන්ට බය නෑ. එහෙත් එළිමහනට යන්නට පාරේ ඇවිදීමට බයයි. මළගෙවල් , මඟුල් ගෙවල් වැනි තැනක දී හුස්ම හිර කරනවා වැනි ස්වභාවයක් දැනීම , හදවත වේගයෙන් ස්පන්දනය වීම, සිරුර වෙව්ලීම වැනි තත්ත්ව පෙන්නුම් කරයි. සමහර අවස්ථාවන්හි ක්ලාන්ත වේ යැයි බියෙන් පසුවේ. මේ තත්ත්වය එළිමහන් භීතිකාවයි. එය දුර්වල තත්ත්වයක් ද නොවේ. තවත් සමහර අය බස් රියේ දුම්රියේ ගමන් කිරීමට බියයි. ජනෙල් වැසූ බස් රථයක නම් ඒ බිය දෙගුණ වන්නේ හුස්ම හිරවී යැයි සිතෙන නිසයි. මෙවැනි සමහර රෝගීන් නිවෙසක දොර ජනෙල් වසා නිදා ගැනීමට පවා අකමැතියි. එම තත්ත්වයත් ෆෝබියාව’ ට අයත්. මේ ආකාරයට බිය හට ගත හැකි හේතු සිය ගණනක් තිබෙනවා. සතුන්ට බිය වීම, තනිවම සිටීමට බිය වීම ලේවලට බිය වීම, කරුවලට බියවීම, උස තැන්වලට බිය වීම, කසාදයට බියවීම, මීයන්ට බියවීම, ගැහැනුන්ට බිය වීම, සමාජයට බියවීම ආදිය ඉන් සමහරක්.
භීතිකාවක් යනු කුමක්දැයි තවදුරටත් පැහැදිලි කර දිය හැකි ද?
යම් දෙයක් හෝ අවස්ථාවක් කෙරෙහි ඇති වන තේරුමක් නැති අස්ථාන බියක් ලෙස එය හැඳින්විය හැකියි. යමක් පිළිබඳව සාමාන්‍යයෙන් ඇතිවන බිය ඊට අදාළ නොවේ. භීතිකාව නම් යම් දෙයකින් විය හැකි අනතුරට වඩා අස්වාභාවික ආකාරයෙන් වැඩිපුර බියට පත්වීමයි. සමහර විට මෙවැනි රෝගීන්ට එය බොරු බියක් ලෙස අවබෝධ කරගත්ත ද එය සිතින් පහ කරගැනීමට නොහැකි වේ. ඒ නිසා ම ඔවුන් එවැනි අවස්ථා මඟ හැරීමට උත්සාහ කරන අතර එය එදිනෙදා ජීවිතයට ද බලපෑ හැකියි.
මේ අස්ථාන භීතිකාව සුවකර ගත හැකි ද?
ඔව්. එහෙත් බෙහෙත් පෙති හා එන්නත්වලින් නොවේ. පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වීමෙන් පසු ඔහු රෝගියා විශේෂ පුහුණුවලත් චර්යා ප්‍රතිකාරවේදීන් වෙත යොමු කරවනු ඇත. එවිට සිතෙහි හට ගන්නා බිය ජනක හැඟීම් පාලනය කිරීම සඳහා අවශ්‍ය සිත සන්සුන් කරවන ක්‍රම සඳහා රෝගියා පුහුණු කෙරේ. මෝහන ප්‍රතිකාරය ද අස්ථාන බිය නැති කර ගැනීම සඳහා සාර්ථකව යොදාගත හැකි තවත් ප්‍රතිකාර ක්‍රමයක්.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
සාකච්ඡා කළේ, රමණී සුබසිංහ