Biz Log
Classifields
Biz Log
Classifields

දෙවියන් එක්ක කතා කරන කෙනෙක් ඔබේ පවුලෙත් ඉන්නව ද

භින්නෝන්මාදය යනු කුමක්දැයි සරල හැඳින්වීමක් කළ හැකි ද?

‘භින්නෝන්මාදය’ යන රෝගය ‘ස්කිසෝප්‍රිනියා’ යන නමින් හැඳින්වෙනවා. යම් පුද්ගලයකුගේ මානසික ක්‍රියාකාරීත්වයේ බෙදීම හෙවත් ඔහුගේ මනස තුළ බුද්ධියෙහි සහ ආවේගයන්ගේ භින්න වීම ‘ස්කිසොප්‍රිනියා’ යන්නෙන් අර්ථවත් වෙනවා. එය සිංහල බසින් අර්ථවත් වන්නේ ‘භින්නෝන්මාදය’ නමින්. මෙම රෝගීන් කෙරෙන් දැක ගත හැකි වන්නේ මූලික වශයෙන් සිතීමෙහි, හැඟීම්වල, දැකීමෙහි සහ පෙලඹවීම් හි විකෘතිතාවයන්. එම විකෘතිතාවයන් නිසා එම පුද්ගලයාගේ හැසිරීම් අස්වාභාවික වනවා. ඒ නිසා ම සාමාන්‍ය ජන සමාජයේ දී ඔහුට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා.

භින්නෝන්මාදයෙන් පෙළෙන කෙනකුගේ රෝග ලක්ෂණ මොනවා ද?

සිතිවිලි එක්වරම ඇනහිටීම, සිතිවිලි අතර ගැටුම් ඇතිවීම හා එකිනෙකට පරස්පර වූ සිතිවිලි සිතට නැඟීම මෙම රෝගීන් අතර දැකිය හැකි ලක්ෂණයන් වේ. එවැනි තත්ත්වයක දී යම් කිසි කරුණක් පිළිබඳව දිගින් දිගට අවධානය යොමුකර සිටීමේ අපහසුතාවක් ඇති වේ. එමෙන් ම යමක් පිළිබඳව තාර්කානුකූලව හා සාර්ථක ලෙස සාකච්ඡා කිරීමට නොහැකි වේ. මේ හේතුව නිසාම එවැනි පුද්ගලයන් යම් දෙයක් ඵලදායී ලෙස කිරීම සඳහා නොපෙලඹෙන බවක් පෙනේ. භින්නෝන්මාද රෝගීන් අතර දක්නට ලැබෙන තවත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ තමන් සිතන දේ නොයෙක් කටහඬවල් අනුසාරයෙන් තමන්ට ම ඇසීමයි. එය ‘ශ්‍රවණ මායාවක්’ ලෙස හැඳින්විය හැකියි. උදාහරණ ලෙස සමහර පුද්ගලයින් “මට අසුවල් දෙවියා අණ දෙනවා” එසේත් නැතිනම් “මට අසවල් දෙවියා ආරූඪ වෙලයි ඉන්නෙ” යනුවෙන් පවසන අවස්ථා තිබෙනවා. සමහර රෝගීන් එවැනි දේ කියන්නේ ශ්‍රවණ මායාවන් ඔවුන්ගේ මනස අරක් ගත් විටයි.

භින්නෝන්මාදයෙන් පෙළෙන අය නිතරම බියෙන් සිටිනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. රෝගීන් බොහෝ විට බියෙන් හා සැකයෙන් පෙළෙනවා. උදාහරණ ලෙස යමෙක් තමන්ට අනතුරක් කරාවිදැ'යි යන සැකය. ඒ වගේම තමන්ගේ අදහස්වලට එකඟ නොවන අය පිළිබඳව මතුවන සැකය නිසාම ඔවුන් තමන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනු ඇතැයි සිතන්නට පෙලඹෙයි. ඒ වගේ ම භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන් තමන්ගේ ම මනෝ ලෝකයේ අතරමං වී සිටින ස්වභාවයක් පෙන්නුම් කරනවා. එම හේතුව නිසා ඔවුන් නොදැනුම්වත්වම පිටස්තර ලෝකයෙන් ඈත් වී තනිව සිටීමට ප්‍රිය කරනවා.

භින්නෝන්මාද රෝගීන්ට දුක, සතුට වැනි ආවේගයන් පාලනය කළ නොහැකි ද?

මෙහි දෙපැත්තක් තිබෙනවා. සමහර රෝගීන්ට දුක, සතුට, තරහව, ක්‍රෝධය වැනි හැඟීම් තදින් නොදැනෙන්නට පුළුවන්. ඒ වගේ ම තවත් අවස්ථාවක දී එම ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී අස්වාභාවික අන්දමින්, තැනට නොගැළපෙන අයුරින් හැඬීමට හෝ සිනාසීමට පෙලඹිය හැකියි.

එවැනි රෝගීන් වැරැදි විශ්වාසයන් තුළ ජීවත් වනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. භින්නෝන්මාද රෝගීන්ගේ තවත් රෝග ලක්ෂණයක් වන්නේ වැරැදි විශ්වාසයන් හි තරයේ එල්බගෙන සිටීමයි. උදාහරණ ලෙස ‘මගේ ඔළුව ඇතුළේ මොකෙක් හරි සතෙක් ඉන්නවා. මගේ ප්‍රශ්නවලට එකම හේතුව ඒකයි. ඒත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑයි ආදි විවිධ වැරැදි විශ්වාසයන්හි එල්බ සිටිනවා. බොහෝ විට මෙම රෝගීන් තමන්ට අස්වාභාවික මානසික තත්ත්වයක් හටගෙන ඇති බව නොදනී. ඒ වගේම තව කෙනෙක් කීව ද විශ්වාස නොකරයි. එමෙන් රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන වැඩ සටහනක දී එම නිවේදක නිවේදිකාවන් ප්‍රකාශ කරන දේ ඔවුන්ගේ නොව තමන්ගේ සිතිවිලි බව සිතීම ද සමහර භින්නෝන්මාද රෝගීන් කෙරෙහි දැකිය හැකි ලක්ෂණයකි.

භින්නෝන්මාදය ඇතිවීමට බලපාන හේතු මොනවා ද?

හේතුව කුමක්දැයි නිවැරැදිවම සොයා ගෙන නැහැ. එසේ වුවද පාරම්පරිකව ඇතිවිය හැකි ජානමය හේතූන්, යම් පුද්ගලයකුගේ මොළයේ ඇතුළත ඇතිවිය හැකි ජෛව රසායනික වෙනස්කම් ඒ සඳහා හේතු විය හැකියි. එමෙන් ම කෙනෙක් ජීවත්වන භෞතික පරිසරයේ හා මානසික වාතාවරණයේ බලපෑම් භින්නෝන්මාදයට අඩු වැඩි ප්‍රමාණවලින් බලපෑ හැකියි.

භින්නෝන්මාදය නිට්ටාවට සුව කළ හැකි රෝගයක් ද?

රෝගීන්ට නිසි පරිදි ක්‍රමානුකූලව ප්‍රතිකාර කළේ නම් සියයට විසි පහකට පමණ රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ වගේ ම සියයට තිස් පහකට පමණ නැවත නැවතත් රෝග ලක්ෂණ මතු විය හැකි වූවත් එය පාලනය කිරීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලබා ගත හැකියි. එයින් අදහස් කෙරෙන්නේ එම රෝගීන්ට සමාජයෙහි ඵලදායි ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙන බවයි. එසේ රෝගීන් පිරිසකට යම් ආකාරයක සුවයක් ලැබුණ ද රෝගීන් ගෙන් සියයට දහයකට පමණ සමහර විට රෝගී තත්ත්වය උත්සන්න වී පූර්ණ උන්මත්තක තත්ත්වයට පත්විය හැකියි.

භින්නෝන්මාද රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර කෙබඳු ද?

මෙවැනි රෝගීන්ට ක්‍රම තුනකින් ප්‍රතිකාර ලබා දීම සිදු කෙරෙනවා. පළමුවැන්න ඖෂධ ප්‍රතිකාර. එම ප්‍රතිකාරය මඟින් රෝගීන්ගේ බොහෝ රෝග ලක්ෂණ පහව යන්නට පුළුවන්. ඒ වගේ ම ඖෂධ ප්‍රතිකාරය මඟින් බොහෝ රෝගීන්ගේ රෝග ලක්ෂණ ඉක්මනින් පහව ගියත් සමහර අයට ඒ සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගත යුතු වෙයි. දෙවැනි ප්‍රතිකාර ක්‍රමය මනෝ විද්‍යාත්මක වෛද්‍ය ප්‍රතිකාරයයි. මෙහි දී වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති කරගත් සුහද සම්බන්ධතාව මනෝ විද්‍යාත්මක වෛද්‍ය ප්‍රතිකාරයට මහත් රුකුලක්. ඒ මඟින් නැවත නැවත රෝග ලක්ෂණ මතුවීම වළක්වා ගත හැකියි. තෙවැනි ප්‍රතිකාර ක්‍රමය සමාජ ප්‍රතිකාරයයි. පවුලේ සාමාජිකයන් අතරේ දී මෙන් ම සමාජයේදීත් රෝගියාට අපහසුතාවක් නැතිව එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකිවන ලෙස පරිසරය සැකසීමත්, ඔහුගේ වෘත්තිය ඔහුට ගැළපෙන අයුරින් සැකසීමත් මෙහි දී සිදු කෙරෙනවා.

එවැනි රෝගීන්ට ශාන්තිකර්ම වැනි දේ කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙයි ද?

පවුලේ අය හෝ රෝගියා ඒ පිළිබඳව විශ්වාසයකින් සිටිනවානම් ශාන්ති කර්ම කිරීමේ වරදක් නැත. එහෙත්, එය අවබෝධයෙන් යුතුව කිරීම ඉතා වැදගත්. නවීන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර කරන අතරතුර, රෝගියාට හානිකර නොවන ලෙස කළ යුතුයි. රෝගියා අධි මානසික බලවේග ගැන විශ්වාස කරන කෙනෙක් නම් ශාන්ති කර්මය ද එක් අතකින් ඔහුට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරයක් විය හැකියි.

භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගියෙක් රැක බලා ගත යුතු වන්නේ කෙසේ ද?

එවැනි රෝගීන් ජීවත් වන්නේ භයංකර මෙන් ම අනපේක්ෂිත වූ ද තනි වූ ලෝකයක බව අප මුලින් ම අවබෝධ කරගත යුතුයි. ඇතැම් විට මෙවැනි රෝගීන් අනුන්ගෙන් උදව් බලාපොරොත්තු වන බව නොපෙන්වයි. එහෙත් එවැනි රෝගීන්ට ද ඔවුන් ළඟින් ඇසුරු කරන අය ගේ ආදරය, කරුණාව හා උදව් අත්‍යවශ්‍යයි. ඒ වගේ ම එවැනි රෝගීන් කලහකාරී වන අවස්ථාවක ඔවුන් ඇසුරු කරන අය කෝපයට පත් නොවී ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. සැබැවින්ම භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන් කලහකාරී වන්නේ ඔවුන්ගේ සිතෙහි ඇතිවන බිය සහ සැකය නිසාමයි. එහෙත් ඔවුන් ඒ කලහාකාරී බවින් කිසිඳු තෘප්තියක් නොලබයි. එම නිසා ඔබගේ උදවු සහ පිළිගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේ ම රෝග ලක්ෂණ හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමත්, රෝගය පිළිබඳව නිවැරැදි අවබෝධයක් පවුලේ සාමාජිකයන් හා ළඟින් ඇසුරු කරන අය විසින් ඇතිකර ගැනීමෙන් රෝගියාට මෙන්ම පවු‍ලේ අයට ද සිදුවන්නේ යහපතක්. සමහර විට තම දරුවකුට එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සමහර මවුපියන් හිතන්නේ එය අකීකරුකම හා දඩබ්බරකම්වල ලක්ෂණයක් හැටියටයි. ඒ නිසාම ඔවුන් දරුවාට තරවටු කරනවා. එහෙත් මෙවැනි තත්ත්වයකදී ආදරය කරන බව ආරක්ෂාව සලසන බව දරුවාට දැනෙන්නට ඉඩ දිය යුතුයි. වෛද්‍යවරයකුට පෙන්වා දරුවා රෝගී තත්ත්වයකින් පෙළෙනවා ද නැද්ද යන්න හඳුනාගත යුතුයි. එමෙන් ම මෙවැනි රෝගීන් ගේ මානසික ස්වභාවය පිළිබඳව ඇති අනවබෝධය නිසා සමහර අය වාද විවාදවලට පෙලඹෙනවා. එයත් රෝගියාට අහිතකර තත්ත්වයක්. එවැනි අය පිස්සන්, එසේත් නැතිනම් මානසික රෝගීන් ලෙස හංවඩු ගැසීම ද නොකළ යුතුයි. රෝග තත්ත්ව හඳුනාගත් වහාම ප්‍රතිකාර ලබාදීම ඉතාම වැදගත්. ඒ වගේම රෝගියාට වඩාත් සුදුසු පවුල් පරිසරයක් හා සමාජයීය පරිසරයක් සකසා දිය යුතුයි.

භින්නෝන්මාදයෙන් පෙළෙන රෝගියකුට නිසි ප්‍රතිකාර නොලැබුණේ නම් පූර්ණ උන්මතක බවට පත්විය හැකි ද?

ඔව්. එවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. පූර්ණ උන්මත්තක බවට පත්වූ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් පෙර දී භින්නෝන්මාදයෙන් පෙළුණ අය බව පෙනී ගොස් තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස දක්වනවානම් භින්නෝන්මාදයෙන් පෙළුණ අයගෙන් 1/3 ක ප්‍රමාණයක් පූර්ණ උන්මත්තක වනවා. ඒ නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසයි. ඒ වගේම භින්නෝන්මාද රෝගීන් නිසි ප්‍රතිකාරවලට යොමු කිරීමෙන් සාර්ථකව රෝගය පාලනය කළ හැකි අතර වෛද්‍ය, ඉංජිනේරු ආදි වෘත්තීන්වල පවා නියැළීමට හැකියි. ඒ වගේ ම රෝගය මනාව පාලනය කොට විවිධ සොයා ගැනීම් කරමින් නොබෙල් ත්‍යාග ලැබු අය පවා සිටිනවා.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

රමණී සුබසිංහ  උපුටා ගැනීම සිළුමිණ

Share This Article