Biz Log
Classifields
Biz Log
Classifields

ආතති හිසරදය විවේක ගත්තාම මඟහැරෙනවා

ආතති හිසරදය විවේක ගත්තාම මඟහැරෙනවා

රුධිර වාහිනී සංකෝචනය වීම හෝ ප්‍රසාරණය වීම නිසා හටගන්නා හිසරදය ගැන හැඳින්වීමක් කළ හැකිද?

යම් පුද්ගලයෙක් කාර්ය බහුල වූ විට දී දැඩි ලෙස තරහ ගත් විට දී යම් දෙයක් දෙස එකදිගට බලාගෙන සිටීමේදී (පොත්පත්, පරිගණක, රූපවාහිනිය ආදී) වැරදි ඉරියව්වේ වැඩි වේලාවක් සිටීම නිසා ගෙලෙහි සහ උරහිස ප්‍රදේශයේ පේශි හැකිළී රුධිර වාහිනී සිහින් විය හැකියි. එවිට රුධිර සැපයුම හීන වී හිසරදය ඇති වේ. රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා හට ගන්නා ප්‍රධාන හිසරදය ඉරුවාරදය ලෙස හැඳින්වෙනවා. Migrain headache ලෙස හැඳින්වෙන්නේ ද එයයි. මෙහිදී ප්‍රධාන වශයෙන් මොළය වටා ඇති ආවරණ පටලවල පිහිටි රුධිර වාහිනී ප්‍රසාරණය වේ. එසේ රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා ඇතිවන තවත් හිසරදයක් තිබේ. එය පොකුරු හිසරදය හෙවත් cluster headaches ලෙස හැඳින්වේ. එම හිසරදය දිනක දී කිහිප අවස්ථාවක් ඇති විය හැකි අතර එම තත්ත්වය එක දිගට සති කිහිපයක් තිබී නැතිවී යා හැකිය.

රුධිර වාහිනී ප්‍රසාරණය හෝ සංකෝචනය නිසා හටගන්නා හිසරදය ඇතිවීමට බලපාන වෙනත් සාධක මොනවාද?

මේ හිසරදයන් ඇතිවීම සඳහා බලපාන සාධක හෙවත් විසර්ජකයන් බොහෝයි. නිදිවැරීම, අව්වේ යාම, එකම ඉරියව්වේ දුර ගමන් යාම, මත්වතුර පානය, ඒවායින් සමහරක්.

සමහර ආහාර වර්ගත් හිසරදය ඇති වීමට බලපානවාද?

ඔව්. චීස්, සොසේජස්, සෝයා මීට්, රටකජු, කෝපි ආදිය ආහාරයට ගැනීම නිසා සමහර කෙනෙකුට හිසරදය ඇතිවිය හැකියි. ඒ ව‍ගේම කාන්තාවන්ට ආර්තව සමයේ දී ඉරුවාරදය ඇතිවීමට පුළුවන්. ඉරුවාරදය නිසා හටගන්නා හිසරදය දරා ගැනීමට අපහසු තරම් වන අතර සමහර විට පෙනීමේ දුබලතාවන් පවා ඇතිවිය හැකියි.

රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා හටගන්නා පොකුරු හිසරදය හඳුනාගන්නේ කෙසේද?

පොකුරු හිසරදය හඳුනාගත හැකි වන්නේ එය හටගන්නා පොකුරුමය ස්වභාවය අනුවයි. ඒ සමඟම නාසයෙහි බර ගතිය, නාසයෙන් දියර පිටවීම හෝ ඇස්වලින් කඳුළු ගැලීම ද සිදුවිය හැකියි. පොකුරු හිසරදය ඇති වූ විට පැරසිටමෝල් වැනි ඖෂධ මඟින් වේදනාව සමනය කිරීම ද අපහසු විය හැකියි. වෛද්‍යවරයකු හමුවී නිසි බෙහෙත් වට්ටෝරුවක් ලබා ගැනීමෙන් රෝගය සුවපත් කරගත හැකියි.

ආතතිය නිසාත් හිසරදය ඇතිවනවා ද?

ඔව්. එහෙත් ආතති හිසරදය එතරම් දරුණු නොවේ. හිස දෙපැත්තේ, ඉදිරිපස හෝ පිටුපස ප්‍රදේශයේ හටගනී. අඩු වැඩි නොවී එක දිගට පවත්නා මෙම හිසරදය විවේකයෙන් සිටීමෙන් හා ඇස්ප්‍රීන් හෝ පැරසිටමෝල් වැනි සමනක ඖෂධයක් ගත් විට පහ වී යයි.

හිසරදය සුවකර ගැනීමට ඖෂධ ගත යුතුමද?

සෑම හිසරදයකටම බෙහෙත් පෙති ගැනීම අවශ්‍ය වන්නේ නෑ. යම් යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් එම තත්ත්වය පාලනය කර ගත හැකියි. එහි දී හුන් තැනින් නැගිට අවට සිරි නරඹමින් ටික ‍වේලාවක් ඇවිදීම, හිස හා උරහිස ප්‍රදේශ සම්භාහනය කිරීම, නිස්කලංක තැනකට ගොස් සුළු වේලාවක් හිතෙහි සුන්දර දසුනක් මවාගෙන සැහැල්ලුවෙන් සිටීම හෝ සිරුර ලිහිල් කිරීමේ ව්‍යායාමයක යෙදිය හැකියි. භාවනාව ද හිසරදය අඩු කර ගැනීමේ මාහැඟි ඔසුවක්.

හිසරදය ඇති විට හිස ප්‍රදේශය රස්නය වතුරෙන් තැවීම සුදුසුද?

එය ආතති හිසරදය සඳහා සුදුසු සරල ප්‍රතිකර්මයක්. හිස ප්‍රදේශය රස්නය වතුරෙන් තැවීම හෝ රස්නය වතුර නෑම එහිදී කළ හැකියි. ඉරුවාරදය සඳහා නම් නළල මත අයිස් හෝ ඕඩික්ලෝන් ආලේප කිරීමෙන් යම් සුවයක් ලද හැකියි. අකුපංචර් හෙවත් චීන කටු ප්‍රතිකාරයට අනුව අතෙහි මහපටඇඟිල්ල සහ දබරැඟිල්ල අතර ප්‍රදේශය තද කරගෙන සිටීමෙන් ද සුවයක් ලද හැකියි.

හිසරදය සෑදීමෙන් වැළකීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද?

හිසරදයෙන් දුක් විඳිනවාට වඩා එය වළක්වා ගැනීම සුදුසුයි. එහිදී අවශ්‍ය පමණ නින්ද ලබා ගැනීම, හිසරදය ඇති කරන ද්‍රව්‍ය, එසේත් නැතිනම් විසර්ජකවලින් වැළකීම ආදිය ප්‍රධානයි. පාඩම් කරන දරුවෙක් නම් යමක් කියවන විට අතර මැද විවේක ගැනීම ඉතා වැදගත්. ඒ වගේම යමක් දෙස දිගින් දිගට බලා සිටින විට හා එකම ක්‍රියාවක නිරත වී සිටින විට ද අතරමැද විවේකය වැදගත්. කාලසටහනකට අනුව දවසේ වැඩ කටයුතු බෙදා ගැනීමෙන් එදිනෙදා නියමිත දේ එදිනෙදාටම ඉවර කරගත හැකියි. එවිට වැඩ ගොඩ ගැසීමෙන් දැනෙන පීඩනය නැතිවන අතර හිසරදය ඇතිවීමේ අවදානම ද අවම කරයි. නිතිපතා ව්‍යායාම කිරීම මෙන්ම ආතතිය පාලනය කිරීම ද හිසරදය වළක්වා ගැනීමෙහිලා සුවිශේෂී ක්‍රියාකාරකම් වේ.

ආතති හිසරදයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කවුද?

අද බොහෝ දෙනෙක් දිවි ගෙවන්නේ කලබලකාරී පරිසරයක. කලබලකාරී දිවි පෙවෙත ආතති හිසරදය ඇතිවීමට බලපානවා. මේ නිසා ජීවත්වීම සඳහා නිස්කලංක පරිසරයක් තෝරා ගැනීම මෙන්ම වැඩ කටයුතු අවම (වැඩ ගොඩගසා නොගැනීම) කර ගැනීම ද වැදගත්.

හිසරදය ඇති කරන රෝගාබාධ මොනවා ද?

හිසරදය ඇති කරන රෝගාබාධ රැසක් තිබෙනවා. කෙනෙක් දත් සහ විදුරුමස් රෝගයන් ගෙන් පෙළේ නම්, උගුරේ ආබාධ සහ සෙම් ගෙඩිවලින් පීඩා විඳීනම්, කනේ ආබාධ තිබේ නම් එවැනි අයට හිසරදය ඇතිවිය හැකියි. අධි රුධිර පීඩනය ද කෙනෙකුට හිසරදය ඇතිකළ හැකියි. බෙල්ල නවන විට ද හිසරදය ඇති වන්නේ නම් එය ‘Cervical spondylosis’ නමැති රෝගය විය හැකියි. නළලේ පැත්තක කනට ඉදිරියෙන් වේදනාව ඇතිවේ නම් ඒ Temporal arterits නම් රෝගය නිසා ඇතිවූ හිසරදයක් විය හැකියි. ඒ වගේ ම හිසරදය ඇති වී තිබෙන්නේ උණ සමඟ නම් එය මොළයේ හෝ වෙනත් ආසාදනයක් නිසා ඇතිවූ තත්ත්වයක් වීමට පුළුවන්. එමෙන් ම පීනස් රෝග නිසා ද හිසරදය ඇති වේ.

මත් වතුර භාවිතය හිසරදයට බලපානවා ද?

ඔව්. මත් වතුර පමණක් නොවෙයි. දුම්පානය ද හිසරදයට බලවත් හේතු සාධකයක්.

හිසට සිදු වූ අනතුරක් නිසා හිසරදය ඇතිවිය හැකි ද?

ඔව්. ළඟදී හිසට යම් අනතුරක් ඇති වූවා නම් එය නිසා ද හිසරදය හටගත හැකියි.

හිසරදයක දී වෛද්‍යවරයකු හමුවිය යුතු අවස්ථා මොනවා ද?

විභාගය ළංවුණාම දරුවාට හැදෙන හිසරදය. පාසල් දරුවන් අතර හිසරදය වැඩි බවට බොහෝ මවුපියන් මැසිවිලි නඟනවා. විභාග හා පාඩම් වැඩ අධික, ආතතියෙන් පෙළෙන දරුවන්ට මේ තත්ත්වය වැඩිපුර ඇතිවිය හැකියි. එසේත් නැතිනම් ඇස් පෙනීමේ ප්‍රශ්නයක් නිසා ද හිසරදය ඇතිවිය හැකියි. දෙනෙත් කුඩා කර හෝ විශාල කර යමක් දෙස බැලීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා නම් දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කිරිම වැදගත්. මෙහිදී ඇසට ඉහළින් හා ඇස්වලට යටින් වේදනාවක් ඇතිවීමට ද පුළුවන්. එමෙන් ම සමහර දරුවන් පාසල් යාමට පාඩම් කිරීමට ඇති අකැමැත්ත නිසා ද, මවුපියන් ගේ වැඩි අවධානයක් දිනා ගැනීමට ද හිසරදය ඇති බව පැවැසීමට පුළුවන්. දරුවා දිගින් දිගටම හිසරදයෙන් පෙළෙනවානම් වෛද්‍යවරයකු වෙත යොමු කිරිම ඉතා වැදගත්. ඒ වගේම දරුවා කලබලකාරී පරිසරයෙන් මුදා ගැනීම, පාඩම් කරවීම සඳහා අනවශ්‍ය ලෙස බලපෑම් නොකිරීම, දරුවාට ඇහුම්කන් දීම, ආදරය පෙන්වීම ආදිය ද වැදගත්. වරින්වර ඉවසිය නොහැකි ලෙස හිසරදය මතු වේ නම්, හිසරදය සමඟ පෙනීමේ වෙනස්කම් ඇති වේ නම්, කහින විට හෝ කිවිසින විට හිසරදය වැඩි වන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය. ඒ වගේම නින්දේ දී හෝ නින්දෙන් පසුවත් හිසරදය ඇතිවේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

සමහර රෝගාබාධ සඳහා ලබාදෙන ඖෂධ නිසාත් හිසරදය ඇති වනවා ද?

ඔව්. හෘදයාබාධ, හන්දිපත් රුදාව, සමහර හෝමෝන සහ මානසික රෝග සඳහා දෙන සමහර ඖෂධ නිසා හිසරදය ඇති වීමට පුළුවන්. අදාළ වෛද්‍යවරයා වෙත යොමු වී ඒ බව පැවැසිය යුතුයි.

ඉර නැ‍ඟෙන වෙලාවට ඉරුවාරදය ඇති වනවා කියන කතාව ඇත්ත ද?

ඉරුවාරදය සහ හිරු නැඟ ඒමත් සමඟ කිසිඳු සම්බන්ධයක් නෑ. ඒත් සමහර කෙනෙක් අව්වට නිරාවරණ්‍ය වූ විට ඉරුවාරදය ඇතිවිය හැකියි. ඇල්කොහොල් භාවිතය, නිදි මැරීම වැනි බොහෝ සාධක ඉරුවාරදය සඳහා බලපෑ හැකියි. ඒ වගේම පීනස් රෝග නිසා ද ඉරුවාරදය වැඩිවීමට පුළුවන්.

මොළයේ ගෙඩියක් නිසා හටගන්නා හිසරදයක ස්වභාවය කෙබඳු ද?

එවැනි අවස්ථාවක එක ප්‍රදේශයකට සීමා වූ හිසරදයක් ඇතිවිය හැකි අතර හිසරදය සමඟ වමනය ද ඇතිවිය හැකියි. වේදනාව ඇතිවී ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ස්වභාවයක් ගනී. ඒ වගේම මොළයේ අදාළ ස්ථානය මඟින් පාලනය වන සිරුරේ කොටස් හිරි වැටීම ද සිදුවිය හැකියි. එවැනි රෝග තත්ත්වය නිශ්චිතවම තීරණය කළ හැකි වන්නේ වෛද්‍යවරයකුට වන බැවින් වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත්.

හිසරදය සැදුණු පසු දිය නෑම සුදුසු ද?

සමහර අයට හිසරදය ඇති විටෙක දිය නෑමෙන් පසු සුවයක් ලැබෙනවා. එවැනි අය දිය නෑමෙහි වරදක් නෑ. දිය නාන වේලාව ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකියි. සමහරෙකුට උදේ පාන්දර දිය නෑම ප්‍රශ්නයක් නොවන අතර සවස් කාලයේ දිය නෑම ප්‍රශ්නයක් විය හැකියි. කෙනෙකුට හිසරදය ඇතිවූයේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සමඟ වෙව්ලීම ඇති අවස්ථාවක නම් දිය නෑම සුදුසු නොවෙයි.

හිසරදය ඇතිවිට වාෂ්ප ඇල්ලීම සුදුසු ද?

වායු කෝඨර තුළ සෙම තද වී ඇති විටෙක වාෂ්ප ඇල්ලීමෙන් ඒවා බුරුල් වී සුවදායි බවක් ඇති වෙයි. එහෙත් තවත් කෙනෙකුට වාෂ්ප ඇල්ලීමෙන් හිසරදය වැඩිවීමට ද පුළුවන්.

විශේ­ෂඥ වෛද්‍ය ආරි­ය­සේන යූ. ගමගේ

සාකච්ඡා කළේ, රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ

Share This Article