Biz Log
Classifields
Biz Log
Classifields

අපස්මාරය යක්ෂ-භූත බලපෑමක් නොවේ

අපස්මාරය යක්ෂ-භූත බලපෑමක් නොවේ

උණ වලිප්පුව හා අපස්මාරය යනු පැහැදිලිවම එකිනෙකට වෙනස් රෝගී තත්ත්ව දෙකක්. එහෙත් උණවලිප්පුව ඇතිවන සමහර රෝගීන් එනම් සියයට 15 -20 ක් පමණ අනාගතයේ දී අපස්මාර රෝගීන් බවට පත්විය හැකියි‍. ‘අපස්මාරය’ හෙවත් ‘මීමැස්මොරය’ නම කී සැණින් බොහෝ දෙනකුට බිය ගෙන දෙන රෝගී තත්ත්වයක්. සුලබ නොවුණ ද ජනගහනයෙන් සියයට එකක් පෙළෙන මීමැස්මොරය පිළිබඳ අවබෝධයකින් සිටීම වැදගත් වන්නේ එවැනි රෝගීන් අනතුරුදායක තත්ත්වයන් ගෙන් බේරා ගැනීමට පහසු වන නිසයි. අපස්මාරය, වස්මොරය, වලිප්පුව ආදි නම්වලින් හැඳින්වෙන මේ රෝගය නිට්ටාවට සුවකළ හැකි ද? යකඩ කැබැල්ලක් අතට දීමෙන් රෝගියා ප්‍රකෘතියට පැමිණේ ද? නිතර නිතර වලිප්පුව හැදෙන දරුවන්ට අපස්මාරය වැලඳීමේ ඉඩ වැඩි ද? අපස්මාරය හා වලිප්පුව අතර සම්බන්ධයක් තිබේ ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

අපස්මාරය, මීමැස්මොර, වස්මොර ආදි ලෙසින් හැඳින්වෙන්නේ එකම රෝගී තත්ත්වයක් ද?

ඔව්. මෙම නම් සියල්ලෙන්ම හැඳින්වෙන්නේ එකම රෝගී තත්ත්වයක්. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකියි. කෙසේ වෙතත් අපස්මාරය නොයෙකුත් මිථ්‍යාවන් හා බැඳී පවතින රෝගයක්. එහෙත් එය යක්ෂ හෝ භූත බලපෑමකින් සිදුවන්නක් නොවේ. ප්‍රතිකාරවලින් පාලනය කරගත හැකි රෝගයකි. සිහිය නැතිවීම, දත් යතුරු වැටීම, සිරුර දැඩි ගතියට පත්වීම සහ අත් පා ක්‍රමික ආකාරයට ගැස්සීම, කටින් පෙණ දැමීම, නොදැනීම මුත්‍රා පිටවීම අපස්මාර රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයන්. මේ රෝග ලකුණු අවසානයේ රෝගියාට නිදිබර ගතියක් ඇතිවිය හැකියි.

මේ රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව කුමක් ද?

මේ රෝගයට හේතුව මොළයේ සෛල තුළ ක්‍රියාත්මක වන ක්‍රමවත් විදත් තරංග හිටිවනම විකෘති තත්ත්වයකට පත්වීමයි. එසේත් නැතිනම් අක්‍රමවත්ව ක්‍රියා කිරීමට පටන් ගැනීමයි. සරලව හඳුන්වා දෙනවානම් එම තත්ත්වය හරියට නිශ්චලව තිබෙන දිය මතුපිට ටික වේලාවකට තරංග ඇතිව ගොස් ජලය නිශ්චල තත්ත්වයට පත්වන ආකාරයට මොළයේ විකෘති විදත් තරංග රැලි ද නැතිව ගොස් නිශ්චල තත්ත්වයට පත්වීමයි. අපස්මාරය නිසා සිරුරේ ඇතිවන අස්වාභාවික චලනයන් ද ක්‍රමයෙන් අඩු වී යන්නේ පෙර කී ලෙස ජලයේ නැඟුණ දිය රැලි ක්‍රමයෙන් පහවී යන ආකාරයටයි.

මොළයේ සෛල තුළ ඇතිවන මේ විදත් ක්‍රියාකාරීත්වයට හේතුව කුමක් ද?

බොහෝ විට අපස්මාර රෝගීන් ගෙන් සියයට හැටකට පමණ එම රෝගය ඇතිවීමට හේතුව සොයා ගත නොහැකියි. එහෙත්, අපස්මාරය හේතුවක් ඇතිව ද සිදුවිය හැකියි. කුඩා කාලයේ ඇතිවන මොළයේ උණ, උපතේ දී මොළයට සිදුවන හානියක්, මොළයේ ඇතිවන ගෙඩියක්, හිසට සිදුවන අනතුරක් ආදිය උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්. ඒ රෝග ලක්ෂණ දක්නට ලැබෙන්නේ ග්‍රෑන්ඩ්මාල් නමින් හැඳින්වෙන අපස්මාර තත්ත්වයේදීයි.

පෙටීමාල් අපස්මාරය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

එනමින් හැඳින්වෙන අපස්මාර රෝගී තත්ත්වයන් ද තිබෙනවා. එම රෝගයේ දී ඇස් උඩ යාම හෝ ඇඟ ගැස්සීමක් සිදු නොවේ. එහෙත් තත්ත්පරයකට දෙකකට හිටිවනම සිහිය නැතිවී යාමක් සිදුවේ. එම කාලය තුළ දී අදාළ රෝගියාට කිසිවක් නො පෙනේ. නො ඇසේ. තමන්ට සිදුවූයේ කුමක්දැයි රෝගියාට එකවර වටහා ගැනීමට ද නොහැකියි. මෙය දවල් සිහින දැකීමක් ලෙස ද සමහරු හඳුන්වති.

පෙටීමාල් අපස්මාරය බරපතළ රෝගී තත්ත්වයක් ද?

පෙටීමාල් අපස්මාරය රෝගී තත්ත්වයක් ලෙස පෙනී යන්නේ එය නිතර නිතර සිදුවනවා නම් පමණයි. එවැනි රෝග තත්ත්වයකින් පෙළෙන දරුවන් බයිසිකල් පැදීමේ දී, එසේත් නැතිනම් යම් වැඩක් කරන විට දී රෝගය නිසා තත්ත්පරයකට දෙකකට එය නතර වන බැවින් අනතුරට ලක්වීමට ද පුළුවන.

පොදුවේ ගත් කල අපස්මාරය හෙවත් මීමැස්මොර මාරාන්තික රෝග තත්ත්වයක් ද?

සාමාන්‍යයෙන් එසේ කිව නොහැකියි. එනම් අපස්මාරය නිසාම කෙනෙක් මරණයට පත් නොවෙයි. අන්තරාදායක වන්නේ රෝගය හට ගන්නා අවස්ථාවේ රෝගියා සිටින පාරිසරික සාධක අනුවයි. උදාහරණ ලෙස අපස්මාරය හැදෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා උඩක සිට පහළට වැටුණේ නම්, වාහනයක ගියේ නම්, දියේ ගිලුණේ නම්, ගින්නකට වැටුණේ නම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකියි.

තමන්ට රෝගය වැලඳීමට ආසන්න බව රෝගියාට දැනගත හැකි ක්‍රමයක් තිබෙනවා ද?

ඔව්. සමහර රෝගීන්ට අපස්මාරය හැදෙන්නට ප්‍රථම අමුතු සංවේද, අමුතු ගඳ, පෙනීමේ වෙනස්වීම් සහ බඩේ පෙරළෙන ගතිය වැනි අමුතු දේ දැනෙන්නට පුළුවන්. එවැනි පෙරනිමිති ඕරා නමින් ඉංග්‍රිසි බසින් හැඳින්වෙනවා. එම රෝග ලක්ෂණ පිළිබඳව සෑම අපස්මාර රෝගියකුම දැනුම්වත් කිරීම මඟින් රෝගියාට විය හැකි හදිසි අනතුරු බොහෝ දුරට අඩු කරගත හැකියි.

අපස්මාරය සැදී බිම වැටි දඟලන රෝගියකුට දිය හැකි ප්‍රථමාධාර මොනවා ද?

එවැනි රෝගියකු දුටුවොත් අනතුරුදායක තැනක් නම් (මහ පාරක් වැනි) වහාම රෝගියා ඉවතට ගත යුතුයි. රෝගියා පැතලි තලයක තබා දකුණු ඇළයට හරවා කටින් සෙම පිටවන සේ පහසු ඉරියව්වකින් තැබිය යුතුයි. රෝගියා හිස පහත් මට්ටමකින් තැබීම ද වැදගත්. හිස කෙළින් තැබීමෙන් කටෙන් පිටවන සෙම පෙණහලු තුළට ගලා යාමට ඉඩ තිබීම ඊට හේතුවයි. එමෙන් ම රෝගියාගේ මුව තුළ බොරු දත් ආදිය වේ නම් ඉවත් කිරීම ද වැදගත්.

නින්දේ දී හෝ ආහාර ගැනීමේ දී රෝගය ඇති වූයේ නම්, නින්දේ දී රෝගී වී නාසය කොට්ටයට තද වීමෙන් රෝගියා අනතුරට පත්විය හැකි නිසා එම රෝගීන් පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතුයි. ඒ වගේ ම ආහාර ගැනීමක දී, රෝගී වුවහොත් ආහාර සිරවීම, පෙණහලු තුළට යාමට ඉඩ ඇති නිසා විශේෂයෙන් මුලින් කී රෝගයට පෙර දැනෙන ලකුණු පිළිබඳව රෝගියා දැනුම්වත් වීම වැදගත්.

මී මැස්මොර රෝගය සෑදී කටින් සෙම පිට කරන රෝගියකු ගේ අතට යකඩ කැබැල්ලක් රැඳවීම සාර්ථක ප්‍රථමාධාරයක් ද?

නෑ. අපස්මාරය හා එම ක්‍රමය අතර කිසිදු සම්බන්ධතාවක් නෑ. සමහර අය රෝගීන් ගේ දත් ඇඳි පූට්ටු වනවාට තේ හැඳි වැනි උපකරණ කටට ඇතුළු කරනවා. එය රෝගියාට අනතුරුදායක විය හැකියි. එම නිසා කිසිදු අවස්ථාවක රෝගියා ගේ මුවට විවිධ දේ දැමීමෙන් වැළකිය යුතුයි.

කුඩා දරුවන්ට වැලඳෙන වලිප්පුව හා මීමැස්මොරය අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?

උණ වලිප්පුව හා අපස්මාරය යනු පැහැදිලිවම එකිනෙකට වෙනස් රෝගී තත්ත්ව දෙකක්. එහෙත් උණවලිප්පුව ඇතිවන සමහර රෝගීන් එනම් සියයට 15 -20 ක් පමණ අනාගතයේ දී අපස්මාර රෝගීන් බවට පත්විය හැකියි‍. එහිදී දරුවන්ට නිතර නිතර උණ වලිප්පුව ඇතිවීමෙන් වළක්වා ගැනීම වැදගත්. මුල සිටම එම තත්ත්වය වළක්වා ගත්තේ නම් අපස්මාරය ඇතිවීමෙන් ද වැළකී සිටිය හැකියි‍.

අපස්මාරය පරම්පරාවෙන් පරම්පරාවට එනවාද?

එය ප්‍රබල සාධකයක් වන බව තවමත් ඔප්පු වී නෑ.

අපස්මාර රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යය ද?

ඔව්. ඉහත දැක්වූ රෝග ලක්ෂණ පෙන්වන ඕනෑම අයකු සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පෙන්වීම අනිවාර්යයෙන් ම කළ යුතුයි. විශේෂයෙන් මෙහිදී රෝගියාගේ භාරකරුවන්ට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ඊට හේතුව අපස්මාරය වැලඳුණ අවස්ථාවේ දී රෝගියා පෙන්වූ රෝග ලක්ෂණ පිළිබඳව තොරතුරු වෛද්‍යවරයා විසින් බාරකරුගෙන් සවිස්තරව විමසීමයි. වෛද්‍යවරයා බොහෝ විට රෝග විනිශ්චය කරනු ලබන්නේ සිදුවූ දෙය දැක සිටි අය සපයන සාක්ෂි ද ඇතුළත්වයි. ඒ වගේ ම නිතර නිතර රෝගය වැලදෙන අයකු නම් වෛද්‍යවරයා විසින් ඔහු රෝහල්වල පවත්වන අපස්මාර සායනයක් වෙත යොමු කරනු ලැබේ. කැල්සියම් සහ ග්ලූකෝස් සඳහා රුධිර පරීක්ෂණ, මොළයේ විද්‍යුත් තරංග සටහන් කරන පරීක්ෂණ (EEG), මොළය තුළ ඇතිවිය හැකි අස්වාභාවික තත්ත්වයන් හඳුනා ගැනීමට අදාළ පරීක්ෂණ ද එවැනි රෝගීන් සඳහා සිදු කළ හැකි ය.

අපස්මාරය නිට්ටාවට සුවකළ හැකි ද?

අපස්මාරය නිට්ටාවට සුව කිරීම සඳහා ඖෂධ වර්ග නවීන විද්‍යාව මඟින් මෙතෙක් නිපදවා නෑ. වෛද්‍ය ප්‍රතිකාර මඟින් කෙරෙන්නේ රෝගය හැදෙන වාර ගණන අඩු කිරීම පමණයි. මෙහිදී වෛද්‍යවරයා නියම කරන ලද ඖෂධ නොකඩවා දිගටම ගැනීම ඉතා වැදගත්. එවිට නැවත රෝගය ඇති නොවීමටද පුළුවන. ඒ වගේ ම නියමිත සායනයන්ට නොකඩවා සහභාගි වීම ද වැදගත්. ඒ වගේ ම එවැනි රෝගීන් සඳහා දෙන ඖෂධ වෛද්‍ය උපදෙස් නැතිව හිතු මනාපයට නැවැත්වීම කිසිසේත් ම නොකළ යුතු ය. එය රෝගය පෙරට වඩා දැඩිව හා දිගු වේලාවක් පවතින අයුරින් ඇති වීමට හේතුවිය හැකි යි. එය ඉතා භයානක දෙයක්.

අපස්මාර රෝගියකු ගේ වැඩිහිටියන් පිළිපැදිය යුතු උපදෙස් මොනවාද?

එවැනි රෝගීන් ගේ බාරකරුවන්ට සුවිශේෂී කාර්ය භාරයක් පැවරෙනවා. විශේෂයෙන් පෙටීමාල් අපස්මාරය සැදුණු අවස්ථාවන් සහ වාර ගණන දින පොතක සටහන් කර තැබීම වෛද්‍යවරයාට ප්‍රතිකාර නියම කිරීමේදී ප්‍රයෝජනවත් වනවා. ඒ වගේ ම ප්‍රතිකාර ගන්නා අය ගේ සිරුරෙහි සහ හැසිරීමේ ඇතිවන වෙනස්කම් පිළිබඳව ද විමසිලිමත්විය යුතුයි. එයට හේතුව ඔහු ගන්නා ඖෂධ විය හැකියි. ඒ නිසා ඒ පිළිබඳව ද අමතක නොකර වෛද්‍යවරයාට පැවසිය යුතුයි.

අපස්මාර රෝගියකු රැකබලා ගත යුතු වන්නේ කෙසේද?

රෝගීන් රැකබලා ගැනීමේදී ප්‍රමුඛතාව දිය යුතු කරුණු රැසක් තිබෙනවා. රෝගියකු වලිප්පුව හැදී ගැස්සෙන අවස්ථාවක අතපය වැදී සිදුවන තුවාල වැළැක්වීමට අසල ඇති උපකරණ හා ගෘහ භාණ්ඩ වහාම ඉවත් කළ යුතුයි. රෝගියාගේ ගෙල හා පපුව ප්‍රදේශයේ තද වී ඇති ඇඳුම් බුරුල් කිරීම, මීමැස්මොරය අවසන් වන තුරු ම රෝගියා අසල රැඳී සිටීම, රෝගියාගේ ගැස්ම අවසන් වූ වහාම ඔහු නිදි කරවා හිස පැත්තකට හරවා තැබීම වැදගත්.

රෝගියාගේ දත් යතුරු වැටී ඇත්නම් කළ යුත්තේ කුමක්ද?

රෝගියාගේ දත් යතුරු වැටී තිබේ නම් මුවට හැඳි මිට වැනි දේ බලහත්කාරයෙන් ඇතුළු නොකළ යුතුයි. දිවට අනතුරක් සිදුවෙනවා නම් එය අපස්මාරය සැදී මුල් අවස්ථාවේදී ම සිදුවන බැවින් පසුව දත් අතරට විවිධ දේ ඇතුළු කිරීමෙන් පලක් නොවේ. එමෙන් ම රෝගියාගේ කටට ඔබගේ ඇඟිලි දැමීම ද නොකළ යුතු වන්නේ ඒවා තුවාල වීමට ඉඩ ඇති නිසයි.

අපස්මාර රෝගීන් පිළිබඳ සමාජයේ දැක්ම කෙබඳු විය යුතු ද?

එවැනි රෝගීන් දුටුවිට කලබලයට හා බියට පත් නොවිය යුතුයි. එවැනි රෝගීන් ද සාමාන්‍ය අය ලෙස සැලකීම වැදගත්. ඒ වගේ ම අනවශ්‍ය ලෙස එවැනි අයට (රෝගී නොවන අවස්ථාවන්හි) අවධානය යොමු කරන බව පෙන්වීම ද සුදුසු නොවේ. එහෙත් ඔහුට වැලදී ඇති රෝගය පිළිබඳව පාසල් ගුරුවරුන්ට, යහළුවන්ට හා ඥාතීන්ට දන්වා තිබීම වැදගත්. යම් අයුරකින් ඔවුන් අතරේදී ඔබගේ දරුවාට අපස්මාරය හැදුණේ නම් ඔවුන් බිය නොවී ඔහුට උදව් කරනු ඇත.

සංවර්ධිත ඇතැම් රටවල නම් එවැනි රෝගීන් හඳුනා ගැනීම සඳහාත්, රෝගය සැදුණවිට කළ යුතු දෙය, දැන්විය යුතු අය ගේ ලිපිනය සහිත කාඩ්පත්, වළලු වැනි දේ රෝගීන්ට ලබා දී තිබෙනවා. නිවසින් පිටතට යන හැම විටම ඔවුන් එය පැලඳ හෝ රැගෙන යන අතර හිටි හැටියේ රෝගී වුවහොත් ඔහුට උදවුවට එන අයට එම කාඩ්පත ප්‍රයෝජනවත් වනු ඇත. එවැනි විධිමත් ක්‍රමවේදයක් නැතත් අඩුම තරමේ රෝගියාගේ විස්තර ඇතුළත් කාඩ්පතක් හෝ ළඟ තබා ගැනීමට සැලැස්වීම මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනවත් විය හැකියි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කළේ, රමණී සුබසිංහ

උපුටා ගැනීම සිළුමිණ

Share This Article