Biz Log
Classifields
Biz Log
Classifields

ඩෙංගු ඩෙංගුමයි

ඩෙංගු ඩෙංගුමයි

අලුත් වෙලත් නෑ... වෙනස් වෙලත් නෑ... හැමෝම මිය යන්නේ නෑ... ඒත් පරෙස්සම වැදගත්... පවතින වර්ෂාධික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ වන තෙක් නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් සොයා නොගත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නේ කෙසේ ද? ඩෙංගු රෝගීන් රැක බලාගන්නේ කෙසේ ද? ඩෙංගු රෝගය සැම විටම මාරාන්තික ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

ඩෙංගු උණ හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවා ද?

ඩෙංගු උණ මතු වන්නේ සාමාන්‍යයෙන් වෛරසය ශරීරයට ඇතුළු වී දින පහකට පමණ පසුවයි. බොහෝ විට එය එකවර ඇඟ වෙවුලා මතුවෙන උණක්. සිරුරට පණ නැති ගතිය, තද හිසරදය, ඇස් යට වේදනාව, විශේෂයෙන් ඇස් එහා මෙහා කරන විට හටගන්නා තද වේදනාව, කොන්දෙ කැක්කුම ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි. ඊට අමතරව රෝගියා පරීක්ෂා කිරීමේ දී සිරුරෙහි වසා ගැටිති ඉදිමී ඇති බවත්, සමෙහි රතු වන් පලු මතු වී ඇති බවත් පෙනේ. පළමුවෙන් අත් පාවල හටගන්නා රතු වන් පලු කඳ ප්‍රදේශයට පැතිර යයි. මුඛය හැර බැලු විට උඩු තල්ලේ රතු පැහැති ලප (Petechiae) ද දැකගත හැකි වෙයි. දින 3 - 4 කදී උණ බැස යන අතර නැවතත් දිනකින් හෝ දෙකකින් ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. විශේෂයෙන් උණ, හිසරදය සහ රතු පැහැ ලප නැවත මතුවිය හැකියි. ඇඟපතේ දැඩි වේදනාව, ඈලි මෑලි දුබල ගතිය, සහ කිසිවක් කිරීමට එපා වූ ගතිය (Depresion) ඇතිවිය හැකියි.

ඩෙංගු රෝග ලක්ෂණ එදාට වඩා අද වන විට වෙනස් වී ඇතැයි කියන කතාව ඇත්ත ද?

නෑ. ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ එදා මෙන් ම අදටත් සමානයි. එහි වෙනසක් වන්නේ නෑ. සමහර අය ‘දැන් රෝගය අලුත්වෙලා’ ‘වෙනස් වෙලා’ යැයි විවිධ මත ඉදිරිපත් කළත් ඒවායේ විද්‍යාත්මක පදනමක් නෑ. රෝගීන් එවැනි මත නිසා අනවශ්‍ය ලෙස බිය වීම පමණයි සිදු වන්නේ. රෝග ලක්ෂණ නොව රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ නම් වෙනස් විය හැකියි.

ඩෙංගු රක්තපාත උණ ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

ඩෙංගු රක්තපාතය ඩෙංගු උණේම තවත් ආකාරයක්. ඒ වගේ ම භයානක තත්ත්වයක්. විවිධ ඩෙංගු වෛරස් ප්‍රභේදයන් ගෙන් ඇති කරවන ඩෙංගු උණ පිට පිටම දෙතුන් වරක් ඇති වීමෙන් ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF) වැලඳීමේ අවදානම වැඩි කුඩා දරුවන්ට සහ ළදරුවන්ට.

ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් ද?

ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී පළමුවෙන්ම උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකියි. පසුව එකවර උණ වැඩිවී හුස්ම ගැනීමේ අපහසුව, වමනය, ඔක්කාරය සහ උදරයේ වේදනාව වැනි තත්ත්ව ද ඇතිවීමට පුළුවන්. දින 6 ක් පමණ යන විට රෝගියා කම්පනයට පත් වී නහයෙන් සහ කනෙන් ලේ ගැලීමත්, සම තුළ ලේ ඉහිරී යාමත්, සිදු වේ. කෝපි පැහැයට හුරු ලේ වමනය ද ඇති වේ. එම කම්පන තත්ත්වය හඳුන්වන්නේ ‘Dengus Shock Syndrome’ නමින්. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය දුර්වල වීමේ හේතුවෙන් ලේ ගැලීම සිදු වේ. රුධිර ප්ලාස්මාව රුධිර නාළ තුළින් පිටත පටකවලට ගලා යාමෙන් රෝගියා කම්පනයට පත්වී නාඩි දුර්වල වේ. සිරුර සිදුමැලි හෝ නිල්වන් පැහැ ගැනීමට ද පුළුවන්. එවැනි රෝගීන්ගේ අත් පා ශීතල වුවද ක‍ඳෙහි රස්නය රැඳී තිබෙයි. සමහර ඩෙංගු රක්තපාත රෝගීන්ට නියුමෝනියාව හෝ හෘද පටකයේ ආසාදන (Myocarditis) ද ඇති වේ. ඩෙංගු රක්තපාත උණ නිසා කම්පනයට පත් වූ රෝගීන් මිය යාමට ද පුළුවන්. විශේෂයෙන් අවුරුද්දට අඩු කුඩා දරුවන්ට ඒ අවදානම වැඩියි.

ඩෙංගු රක්තපාත උණ නිසා හට ගන්නා කම්පනයට කළ හැකි ප්‍රතිකාර මොනවා ද?

ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් නැති වීමයි ඇති ප්‍රධානතම ගැටලුව. මේ වයිරසයට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිජීවක ඖෂධ තවමත් සොයා ගන්නට හැකිවී නැත. ඒ වගේම ඩෙංගු උණ වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ වැක්සීනයක් ද සොයා ගෙන නැත. වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ එසේත් නැතිනම් වෛද්‍යවරුන්ට කළ හැකි වන්නේ රෝගියා ගේ සිරුරෙන්ම රෝගය සුව වන තුරු ඇතිවන වෙනත් සංකූලතාවලින් ගැලවීමට ප්‍රතිකාර මඟින් උදවු කිරීම පමණයි. ඩෙංගු රෝගයට විශේෂිත ඖෂධ ප්‍රතිකාරයක් නැති නිසා වඩා වැදගත් වන්නේ රෝගය වළක්වා ගැනීමයි.

ඩෙංගු රෝගියෙක් රැක බලා ගත යුතු වන්නේ කෙසේ ද?

ඩෙංගු රෝගියෙක් සඳහා කෙරෙන ප්‍රතිකාරවලදී ප්‍රධාන වශයෙන් කරන්නේ රෝගයට වඩා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමයි. එවැනි රෝගීන් කිසිඳු ආකාරයකින් හෝ සිරුර වෙහෙස නොකළ යුතුයි. ඇඳ විවේකය අත්‍යවශ්‍යයි. ඒ වගේම කිසිඳු හේතුවක් නිසා හෝ ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ රෝගියාට නොදිය යුතුයි. එමඟින් සිරුරේ රුධිර වහනය වැඩි වී රෝගී තත්ත්වය උත්සන්න විය හැකියි.

ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ මොනවාදැයි සාමාන්‍ය ජනතාවට හඳුනාගත නොහැකියි නේද?

සාමාන්‍යයෙන් වෛරස් උණකට ප්‍රතිකාර ගැනීම සඳහා යන ඩෙංගු යැයි සැක නොකරන රෝගියකුට වුවද වෛද්‍යවරු ඇස්ප්‍රින් අඩංගු ඖෂධ නිර්දේශ නොකරති. ඊට හේතුව ඇස්ප්‍රීන් රුධිරය කැටි ගැසීම අඩු කිරීමයි. ඒ නිසා සාමාන්‍ය වෛරස් උණක් සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගියකු ඖෂධ හඳුනා ගැනීම අවශ්‍යම නොවුණත්, සුදුසු වෛද්‍යවරයකු ගෙන් පමණක් ප්‍රතිකාර ගැනීම  අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් වෛරස් උණ රෝග සඳහා ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ නිර්දේශ නොකෙරුණ ද හෘද රෝගීන්ට එම ඖෂධය නිර්දේශ කෙරෙනවා. එවැනි රෝගියකුට ඩෙංගු ‍රක්තපාත උණ වැලඳුණේ නම් ඖෂධයේ බලපෑම නිසාම රෝග තත්ත්වය උත්සන්න වී මිය යාමට පුළුවන්. ඒ නිසා හෘදයාබාධ රෝගීන් ඩෙංගු රෝගය වැලඳුණේ නම් තමන් ගන්නා ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරයා දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයි.

උණ සහ වේදනාවට ලබා දෙන පැරසිටමෝල් අඩංගු ඖෂධ ඩෙංගු රෝගීන්ට අහිතකර ද?

උණ සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධ ලබා දීමෙහි වරදක් නෑ. ඒත් නියමිත මාත්‍රාව නියමිත වාර ගණනකට පමණක් ලබා දිය යුතුයි. 

පසුගිය දා අවුරුදු 45 ක පමණ කාන්තාවක් ඩෙංගු රෝගය වැලඳී මිය ගියා. එහෙත් ඇය මිය ගියේ රෝගය සුව වූ බවට වෛද්‍ය නිර්දේශය ලැබී රෝහලේ සිට නිවසට පැමිණි පළමු දිනයේමයි. මරණයට හේතුව නිව්මෝනියාව බව පසුව පැහැදිලි කෙරුණා. එසේ වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් ඩෙංගු රෝගියෙක් ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේ දී එම රෝගියා වෙනත් රෝගයකින් පෙළෙනවා ද නැද්ද යන්න විමසා බැලීම වෛද්‍යවරයකුගේ වගකීමක්. ඒ වගේම දක්ෂ වෛද්‍යවරයකුට ඩෙංගු රෝගයත් නිව්මෝනියාවත් වෙන්කර හඳුනා ගැනීමට පුළුවන්. එමෙන් ම ඩෙංගු රෝගියකුට රෝගය සුව වීමෙන් පසුව නිව්මෝනියාව වැලඳීමට වුවද ඉඩකඩ ඇති නිසා රෝගය පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබාදිය යුතුයි. විශේෂයෙන් ඩෙංගු රෝගීන් බහුල ප්‍රදේශයක කෙනෙක් උණ වැලඳී තමන්ටත් ඩෙංගු යැයි සැක කරමින් රෝහල්ගත විය හැකියි. මෙහිදී රෝගියාට උණ වැලඳී ඇත්තේ වෙනත් රෝගයක් නිසා ද විය හැකියි. රෝගය නිශ්චිතව හඳුනාගෙන ප්‍රතිකාර නොකළේ නම් ඩෙංගු නොවැලඳුණ ද ඇති වූ අනෙක් රෝගය බරපතළ වීමෙන් රෝගියා මිය යා හැකියි. ඒ නිසා ඩෙංගු උණ යැයි ඔප්පු වුවද, නොවූවද රෝගියා ගැන අවධානයෙන් සිටීම වැදගත්.

ඩෙංගු උණ වැලඳී එහෙත් සාමාන්‍ය උණ මිස වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර කෙනෙක් මිය යන්නට පුළුවන් ද?

කිසිසේත්ම නොහැකියි. ඩෙංගු උණ වැලඳුණ කෙනකුගේ එම රෝග ලක්ෂණ පෙන්නුම් නොකර මිය යන්නේ නෑ. එහෙත් සමහර අයට ඩෙංගු රෝගය වැලඳී, ඇතැම් විට නොදැනුම්වත්වම වැලඳී සුව වීමට ද පුළුවන්. අමාරු වන්නේ ඩෙංගු රක්තපාත උණ හෝ කම්පන තත්ත්වයට පත්වූයේ නම් පමණයි.

ඩෙංගු රෝගය සුව වී නිවසට ගිය කෙනෙක් කාලයක් යනතුරු ශරීරය වෙහෙස වීම අහිතකර ද?

ඩෙංගු උණෙන් හැමෝම මිය යන්නේ නැති බව, එනම් එම රෝගය සැම විටම මාරාන්තික වන්නේ නැති බව ජනතාව දැන සිටීම වැදගත්. අනවශ්‍ය ලෙස රෝගයට බිය වීම සුදුසු නොවීම ඊට හේතුවයි. ඩෙංගු උණ රෝගය සුව වූ කෙනෙක් සිරුරට වෙහෙසකර බවක් නොදැනේ නම්, ආහාර අරුචියක් නොවේ නම්, සාමාන්‍ය වැඩපළවල නිරත වීම ප්‍රශ්නයක් නොවේ. ඇඟට පණ නැති ගතියක් දැනේ නම්, විවේක ගැනීම කළ යුතුයි.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන හැම කෙනෙක් ම රෝගයට ගොදුරු වෙනවා ද?

නෑ. සෞඛ්‍ය සම්පන්න අයට රෝගය වැලඳීමේ අවදානම අඩුයි. ඇතැම් අයට තමන් නොදැනුවත්වම රෝගය වැලඳී සුව අතට හැරෙනවා. විශේෂයෙන් ලේ අඩු, රක්ත හීනතාවයෙන් පෙළෙන අය, මන්ද පෝෂණය ඇති අය වගේම බර අඩු හා නිසි පරිදි ආහාරපාන (පෝෂණ ගුණයෙන් යුතු) නොගන්නා අය රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩියි.

ඩෙංගු රෝගියකුට දිය යුතු ආහාරපාන මොනවා ද?

දිරවීමට පහසු ආහාර ලබාදීම ඉතා වැදගත්. විශේෂයෙන් ඩෙංගු වැනි රෝගවල දී ශරීර ශක්තිය අත්‍යවශ්‍යයි. ඒ නිසා ශක්තිජනක ආහාර ලබාදීම වැදගත්. රෝගියා ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් ප්‍රිය කරන, ඉල්ලන ආහාර ලබාදීම වරදක් නොවේ.

ඩෙංගු රෝගීන්ට දියරමය ආහාර, එසේත් නැතිනම් පාන වර්ග වැඩිපුර ලබා දීම සුදුසු ද?

පාන වර්ග වුවද අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා දීම අහතිකර විය හැකියි. අනවශ්‍ය ලෙස පාන වර්ග ලබා දීමෙන් රුධිර නාළවල වතුර එළියට යා හැකියි. එය සුදුසු නොවේ. වතුර බීම සහ මුත්‍රා යාම අධ්‍යයනය කරමින්, (බොන ජල ප්‍රමාණයට අනුව මුත්‍රා පිට වනවා නම්) රෝගියාට පිපාසය දැනෙනවා නම් පාන වර්ග ලබාදීමේ ගැටලුවක් නොවෙයි. එවැනි අවස්ථාවක දී ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලැබීම වැදගත්.

සේලයින් වැඩිපුර දීමත් ඩෙංගු උණ රෝගීන්ට අහිතකර ද?

ඩෙංගු රෝගියෙක් රෝහලට ඇතුළු කළ පසු සේලයින් 5%, ඩෙක්ස්ට්‍රොස් වැනි දේ ලබා දීමට සිදු වෙනවා. එහෙත් නියමිත ප්‍රමාණයන් ගෙන් පමණක් ඒවා ලබා දිය යුතු වන්නේ වැඩිපුර දීම ශරීරයට අහිතකර වන නිසයි. ඒ හැර අධික ලෙස රුධිර වහනය සහ කම්පනයට පත් වී සිටින අයට කල්ගත නොවූ රුධිර ප්ලාස්මාව සහ රුධිර පට්ටිකා සහිත අලුත් රුධිරය ශිරාගත කරනු ලබනවා.

ඩෙංගු රෝගියකුට ගස්ලබු කිරි ලබාදීමෙන් රුධිර පට්ටිකා නැංවිය හැකියි කියන කතාවේ සත්‍යතාවක් තිබෙනවා ද?

එහි විද්‍යාත්මක සත්‍යයක් නෑ.

උණ රෝගියකු ඩෙංගු රෝගියකු බව තීරණය කරන්නේ කෙසේ ද?

රෝගියාගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය (Platelet Count) ඝන මි. මි. 100,000 ට අඩු නම් හෝ PCV හෙවත් Pack Cell Volume 10% - 20% ට වඩා වැඩි වූ විට ඩෙංගු උණ වැලඳී ඇතැයි සැක කරනවා. රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් වයිරසය හෝ වයිරසයට විරුද්ධව රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ හඳුනාගත හැකියි.

ඩෙංගු උණ වරක් හැදුණොත් නැවත හැදෙන්නට පුළුවන් ද?

ඩෙංගු වයිරස් විශේෂ හතරක් තිබෙනවා. එක් විශේෂයක් නිසා ඇති වූ ආසාදනයෙන් අනෙක් විශේෂ සඳහා ප්‍රතිශක්තියක් ඇති වන්නේ නෑ. එම නිසා රෝගය වැලඳුණ කෙනෙකුට නැවත නැවත ඩෙංගු රෝගය වැලඳිය හැකියි.

රෝගයට ප්‍රතිකාර සෙවීමට වඩා ඩෙංගු වැලඳීමට පෙර වළක්වා ගැනීම වැදගත් බව ඔබ කීවා. ඒ සඳහා ජනතාවගේ කාර්යභාරය කෙබඳු ද?

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම සමාජයේ පොදු වගකීමයි. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතුයි. තමන්ගේ නිවස අවට පමණක් පිරිසුදුව තබාගෙන ටින් බෙලෙක්ක, ප්ලාස්ටික් බෝතල් මහ පාරට හෝ අල්ලපු හිස් ඉඩමට ගිහින් දමනවා නම් ඒ තැනැත්තාට වුවද ඩෙංගු මදුරුවාගෙන් බේරී සිටිය නොහැකියි. වි‍ශේෂයෙන් ඩෙංගු උණ පවතින ප්‍රදේශවල සිටින අය උණක් හටගත් විට ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඕනෑම කෙනෙක් ඉහත කී රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යා යුතුයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කෙළේ - රමණී සුබසිංහ උපුටා ගැනීම සිළුමිණ

Share This Article