රෑ නින්දට ජංගම දුරකථනය අගුණයි
ජංගම දුරකථනය වත්මන් සමාජයේ ජීවත්වන අයට තිබිය යුතු ම මෙවලමක් බවට පත්ව තිබේ. මිනිසාගේ ජංගම දුරකථන භාවිතය සම්බන්ධව පර්යේෂණ කරන විද්වතුන් කියන්නේ සෑම පුද්ගලයන් 10 කගෙන් 8 දෙනකුම රාත්‍රි නින්දට යන්නේ ජංගම දුරකථනයක් ළඟින් තබාගෙන බවයි. එහෙම නින්දට යන අයගෙන් හරි අඩක් ම දුරකථනය සීනු ඔරලෝසුවක් (Alarm Clock) වශයෙන් ද භාවිතයට ගනිති. ජංගම දුරකථන රැගෙන රාත්‍රී නින්දට යෑම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් නොවන බවත් දැන් අනාවරණය වී තිබේ.
ජංගම දුරකථනය ළඟ තබාගෙන රාත්‍රී නින්ද ලබන්නට යාමෙන්, අපේක්‍ෂා කරන තරමේ හොඳ නින්දක් ලබන්නට මිනිසාට බැරිව යයි. මේ නිසා නිදාගන්නට බැරිකම හෙවත් අනිද්‍රාව නමැති රෝගී තත්ත්වය ඇතිවන්නට පුළුවනි. නින්ද සමඟ බැඳුණු තවත් ගැටලු රැසක් ඇති වන්නටත් යටකී පුරුද්ද හේතුවන්නට ඉඩ ඇති බව විද්‍යාඥයෝ පවසති. ජංගම දුරකථනය තම නිදන ඇෙඳහි පසෙකින් තබාගෙන නිදාගන්නා අයට හිස කරකැවීමේ ගතිය, හිසරදය තරමක් තදින් ඇතිවන්නට පුළුවන් බව ද සැලවේ. මේ අයහපත් චර්යාව නිසා ඇතිවන්නට පුළුවන් නරකම දෙය නම් ජංගම දුරකථනයෙන් නිකුත් වන ආලෝකයට පුද්ගලයා නිරාවරණය වීමයි. ජංගම දුරකථනවල තිරය ඉතා ඉහළ ගුණාත්මක මට්ටමෙන් යුතු ය. අනෙක් අතට ඒවා දීප්තිමත් ගතියකින් ද සමන්විත යි. මේ තිරයට නිරාවරණයවීමත් අයහපතකි. එකී තත්ත්ව නිසා ජංගම දුරකථනයෙන් නිකුත් වන ආලෝකය මිනිස් සිරුරේ ස්වභාවික රිද්මය බිඳ දමයි. නින්ද ආශි‍්‍රත රෝග පිළිබඳ මහාචාර්ය චාර්ල්ස් සෙයිස්ලර් මේ බව වඩාත් පැහැදිලිව ම දක්වයි. හෙතෙම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ජංගම දුරකථනයෙන් නිකුත් වන ආලෝක සංඥා අපේ ඇසේ දෘෂ්ටිවිතානය වෙත ගමන් කරයි. මේ ආලෝක සංඥා දෘෂ්ටිවිතානය මත ඇතිකරන බලපෑම නිසා මොළයට පණිවුඩ සම්ප්‍රේෂණය වන්නට පටන් ගනී. ආලෝකයට සංවේදී මොළයේ සෛල ඒවාට නොයෙක් ආකාරයෙන් ප්‍රතිචාර ලබා දෙයි. ඒ අනුව මිනිසාගේ සිරුර ක්‍රියාකරන්නට පටන් ගනී. මෙවැනි තත්ත්වයකින් සිදුවන්නේ නින්දට බාධාවීමක් බව පවසන්නේ ආචාර්ය ගයි මෙඩෝව්ස් ය. හෙතෙම නින්ද සම්බන්ධ රෝග පිළිබඳ විශේෂඥවරයෙකි. ඔහු පවසන ආකාරයට ජංගම දුරකථන ළඟ තබාගෙන රාත්‍රියට නිදාගත හොත් වන්නේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් කමකි. මෙලටොනින් නමැති හෝර්මෝනය නිකුත්වීම අඩුවේ. මෙලටොනින් නිසා මිනිසාට නිදිමත ඇතිවේ. එය නිකුත් වීම අඩුවුණු විට නිදිමත ගතියත් අඩුවේ. අනෙක් අතට කෝර්ටිසෝල් නමැති හෝර්මෝනය නිදහස්වීමකුත් සිදුවේ. කෝර්ටිසෝල් හෝර්මෝනය නිදහස්වීමෙන් සිදුවන්නේ මිනිසා අවදියෙන් තැබීමකි. විදුලි පහන් දල්වා තබා නිදා ගැනීම නිසාත් මෙලටොනින් හෝර්මෝනය නිදහස්වීම අඩුවන්නට පුළුවන් බව කියැවේ. එවිට සිදුවන්නේත් මිනිසාට නිදිමත ගතිය අඩුවීමකි. ඒත් ජංගම දුරකථනවල ඇති ආලෝක සමඟ විදුලි පහන්වලින් ඇතිකරන බලපෑමට වඩා වැඩි බලපෑමක් ඇති කරයි. බොහෝ අය සිතන්නේ සාමාන්‍ය සුදු ආලෝකය නිසා නින්දට බාධාවක් නොවන්නේ යැයි කියා ය. ඒත් මෙහිදී සිතා බැලිය යුතු යමක් තිබේ. එනම් සුදු ආලෝකය තවත් වර්ණ රැසකින් සැකසී ඇති බවකි. එකී වර්ණ අතර නිල් පැහැයක් තිබේ. නිල් පැහැය ඇසේ දෘෂ්ටිවිතානයට බොහෝ සංවේදී බව පැවැසේ. ජංගම දුරකථන, විද්‍යුත් පුවරු සහ එවැනි අවශේෂ උපකරණවලින් නිකුත් වන සුදු ආලෝකයෙහි අඩංගු නිල් පැහැ ප්‍රමාණය ඉතා විශාල බව මහාචාර්ය ඩෙබ්‍රා ස්කෙනේ පවසයි. මහාචාර්ය ඩෙබ්‍රා, බ්‍රිතාන්‍යයේ සරේ විශ්වවිද්‍යාලයේ ස්නායු පිළිබඳ මහාචාර්යවරයෙකි.
ජංගම දුරකථන ළඟ තබාගත් විට ඒවාට එන පණිවුඩවලට අපි නිරන්තරයෙන්ම සවන් දෙන්නෙමු. පණිවුඩ ජංගම දුරකථනය වෙත ළඟාවන විට ශබ්දය සහ කම්පනය ඇති වේ. රාත්‍රියේ දී අප ජංගම දුරකථනය ළඟ තබාගත හොත් අපට මේ ශබ්ද ඇසේ. කම්පන දැනේ. එවිට අපට තද නින්දකට එළඹෙන්නට බැරිව යයි. බ්‍රිතාන්‍යයේ ෂිෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ටොම් ස්ටැෆර්ඩ් පවසන්නේ මෙවැනි කතාවකි. “ජංගම දුරකථනයට එන පණිවුඩවල අලුතින් කිසිවක් සටහන් වෙලා නොතිබෙන්න පුළුවන්. ඒත් අපි ඒ පණිවුඩ විවර කරලා බලනවා...” යැයි කියා ය. ජංගම දුරකථනවල පණිවුඩ පැමිණෙන්නේ තරංග ක්‍රියාකාරීත්වයෙනි. මේ තරංග සකස් වී තිබෙන ආකාරය පිළිබඳ පරීක්‍ෂා කරන ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ කිසියම් විකිරණශීලිතාවක් ඒවායෙහි අන්තර්ගතව තිබෙන්නට පුළුවන් බවයි. නිදාගන්නා විට ජංගම දුරකථනය ළඟ තබා ගන්නා අයට එවැනි විකිරණවලින් එන බලපෑමටත් මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි තරංග සිරුරේ ගැටුණු විට සිදුවන්නේ මොන ආකාරයේ දෙයක් ද යන්න ඊළඟට පැන නැඟෙනා ප්‍රශ්නයයි. මේ සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ආකාරයේ පර්යේෂණ තවමත් සිදුවෙමින් පවතී. නොයෙක් ආකාරයේ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන මේ විද්‍යාඥයන් කියන කතාවලින් පැහැදිලි වන එක් දෙයක් තිබේ. එනම් ජංගම දුරකථනයක් ළඟ තබාගෙන කෙනකුට සුවපහසු නින්දක් ලබන්නට බැරි බවයි. ආචාර්ය ගයි මෙඩෝව්ස් වැඩි දුරටත් සඳහන් කරන්නේ හොඳ නින්දක් ලබන්නේ තම ජංගම දුරකථනය නිදන කාමරය තුළට වද්දා නොගන්නා අය යැයි කියා ය. එපමණක් නොව අනෙකුත් කුමන ආකාරයක හෝ විද්‍යුත් උපාංග තමන්ගේ නිදන කාමරයෙන් බැහැර කිරීම ද හොඳ නින්දකට හොඳ පදනමක් බව හෙතෙම පවසයි.
මංජුලා විජයරත්න
උපුටා ගැනීම දිනමිණ