වෙනිවැල්ගැට තම්බලා බීලා පිටගැස්මෙන් බේරෙන්න බෑ
ගොඩ වෙදකම් නැතිව එන්නත විදගන්න. පිටගැස්ම හැදුණ රෝගියෙකු හඳුනා ගන්නේ කෙසේ ද?
බොහෝ රෝගාබාධවල දී මෙන් පිටගැස්මේ දී ද මූලික වශයෙන් හිසරදය, උණ, ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ඇතිවේ. ද්විතීයික රෝග ලකුණු මතු වන්නේ පිටගැස්ම විෂ ස්නායුගත වී ඒවා උත්තේජනය වීමත් සමඟය. එහි දී ශරීරය පුරා පේශි හැකිළෙයි. හකුපාඩවල මේ තත්ත්වය හොඳින් දැක ගත හැකිය. කට ඇරීමට නොහැකි තරමට හකුපාඩ තද වේ. උදරයෙහි පේශිද ද තදවේ. රෝග තත්ත්වය උත්සන්න වීමේ දී පිටෙහි පිහිටි පේශීන් අධික ලෙස සංකෝචනය වීම නිසා පිට සහ ගෙල දුන්නක් සේ පිටුපසට නැමේ. මුහුණෙ පේශි සංකෝචනය වීම නිසා විරූපී සිනහවක් මතුවුණා සේ පෙනේ. මෙම රෝග ලක්ෂණ වර්ධනය වීමත් සමඟ මොළයේ ක්‍රියාකාරිත්වය ද අඩාළ වේ. එවිට හෘදස්පන්දන වේගය අඩු වේ. රුධිර පීඩනය අඩු හෝ වැඩි වේ. ශරීර උෂ්ණත්වයේ ද එකවර ඉහළ යාමක් සිදු වේ.
පිටගැස්ම ඇති කරන රෝග කාරකය කුමක් ද?
මෙහි රෝග කාරකය බැක්ටීරියාවක්. ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නමින් එය හැඳින්වෙනවා.
මේ බැක්ටීරියාව අප අවට පරිසරයේ බහුලව දකින්නට ලැබෙනවා ද?
ඔව්. පසෙහි ජීවත්වන මේ බැක්ටීරියාව බහුලවම දකින්නට ලැබෙන්නේ සත්ත්ව මලවල. විශේෂයෙන් ගොම පොහොර භාවිත කරන කෘෂි කාර්මික බිම් සහ ගෙවතුවල. බැක්ටීරියාව අපිරිසුදු පරිසර තත්ත්ව හමුවේ හොඳින් වර්ධනය විය හැකියි. පිටගැස්ම රෝග කාරක විෂබීජය නිර්වායු ශ්වසනයෙහි යෙදෙන බැක්ටීරියාවක් නිසා එය ජීවත් වන්නේ ඔක්සිජන් වායුව නැති පරිසරයන්වල. යම් හෙයකින් ඔක්සිජන් වායුවට නිරාවරණය වූයේ නම් බැක්ටීරියාව ද විනාශ වී යයි.
පිටගැස්ම රෝග කාරක විෂබීජය ශරීරගත වන්නේ කෙසේ ද?
යම් කටුවක් වැනි දෙයක් සිරුරේ ගැඹුරට ඇනුණ විට එම තුවාලය සිදුවූ තැන රුධිර සංසරණය අඩු නම් හෝ, තුවාලය අවට පටක විනාශ වීම නිසා රුධිර සංසරණය ඇනහිටියේ නම් එම ස්ථානයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවන නිසා පිටගැස්ම බැක්ටීරියාවට පහසුවෙන් වර්ධනය විය හැකියි. එසේ වැඩෙන බැක්ටීරියාවෙන් ටොක්සීනයක් එනම් විෂ ස්‍රාවයන් නිපදවයි. එය ඉතා අන්තරාකාරීය. මෙම විෂ ස්‍රාවය ස්නායු දිගේ සුසුම්නාවට හා මොළයට ගමන් කරයි. ටොක්සීනය ස්නායුවලට ඇතුළු වුවහොත් කිසිඳු ඖෂධයකින් හෝ වැක්සීනයකින් ඒවා විනාශ කිරීමට හෝ උදාසීන කිරීමට නොහැකියි. ටෙටනස් ටොක්සීනයෙන් මිලි ග්‍රෑමයකින් දහයෙන් පංගුවකට පවා හොඳින් වැඩුණ මිනිසෙකු මරණයට පත් කළ හැකියි.
බල්ලන්, මීයන්, වැනි සතුන් සපා කෑ අවස්ථාවන්හිත් පිටගැස්ම එන්නත ලබා දෙනවා නේද?
ඔව්. බල්ලන් නිතරම අපද්‍රව්‍යවලට කට තබනවා. ඉතින් එවැනි අවස්ථාවක ඒ අපද්‍රව්‍යවල වැඩෙන ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි බැක්ටීරියාව ඔවුන්ගේ දත්වල ස්පර්ශ විය හැකියි. සපා කෑමත් සමඟ ඒවා අපේ ශරීරගත වීමෙන් පිටගැස්ම ඇතිවිය හැකි නිසා අනිවාර්යයෙන් ම එම එන්නත ලබා දිය යුතුයි.
ඔබ කියන්නේ සතෙක් සපා කෑවොත්, හෝ ඇණයක් ඇනුණොත් හෝ අනිවාර්යයෙන් ම පිටගැස්ම හැදෙනවා කියල ද?
පිටගැස්ම බැක්ටීරියාව අප සිරුරට ඇතුළු වුවත් එය වැඩෙන්නේ එම ස්ථානයේ ඔක්සිජන් නැතිනම් පමණයි. ඊට හේතුව ටෙටනස් රෝග කාරක විෂබීජය නිර්වායු ශ්වසනයෙහි යෙදෙන බැක්ටීරියාවක් වීමයි. කළ යුතු හොඳම දේ එවැනි අවස්ථාවක ගොඩ වෙදකම් නොකර වෛද්‍යවරයකු හමුවීමයි.
මලකඩ සහිත ඇණ, කටුකම්බි, බෝතල් කටු ඇනීමෙන් පිටගැස්ම හැදෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහි සත්‍යයක් තිබෙනවා ද?
ඇණයක හෝ කම්බියක හෝ මලකඩ තිබු පමණින් පිටගැස්ම හැදෙනවා කියන කතාව පිළිගත නොහැකියි. පිටගැස්ම හැදෙන්නට නම් එහි ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි බැක්ටීරියාව තිබිය යුතුයි. මලකඩ නැති, පිරිසිදු ඇණයක, ඉදිකටුවක වුවද එම බැක්ටීරියාව තිබුණොත් පිටගැස්ම හැදෙන්නට පුළුවන්. එහෙත් මේ විශ්වාසයට එක් හේතුවක් තිබෙනවා. ඉස්සර අශ්ව ගාල්වල වැටි තිබු පරණ වී ගිය, මල බැඳුණු අශ්ව ලාඩං කකුල්වල ඇනීමෙන් ඒවායේ වැඩ කළ කම්කරුවන්ට පිටගැස්ම හැදුණා. ඊට හේතුව වූයේ අශ්ව ගාල්වල තිබු ගොමවල වර්ධනය වූ පිටගැස්ම විෂ බීජය දුහුවිලි සමඟ විසිරී ගොස් තැන තැන තිබූ මල බැඳුණු ලාඩංවල ද සැඟවී තිබීමයි. ඉතින් බොහෝ දෙනෙක් සිතුවේ මලබැඳුණු ඇණයක්, කම්බියක් ඇනුණොත් මේ රෝගය ඇතිවන බවයි. එහෙත් පිටගැස්ම විෂබීජ නැති තැනක ඇති මලබැඳුණු කම්බියක්, ඇණයක් හෝ ලාඩමක් ඇනුණත් පිටගැස්ම හැදෙන්නේ නෑ.
කටුවකින්. කම්බියකින් සපා කෑමකින් තුවාලයක් සිදු නොවන අවස්ථාවකත් පිටගැස්ම විෂබීජය ශරීරගත වෙන්න පුළුවන් ද?
ඔව්. සිරුරේ ඇති තුවාලයකින් පවා මේ විෂබීජය ශරීරගත වෙන්න පුළුවන්. උදාහරණ ලෙස ගොම පොහොර සහිත මල් පාත්තියක වැඩ කරන කෙනෙකුගේ පාදයක, අතක තුවාලයක් තිබුණොත් විෂබීජය ඇතුළු වෙන්නට පුළුවන්.
අනතුරක දී කෙනෙකුගේ ශරීරයෙන් වැඩිපුර ලේ පිටවී ගියේ නම් පිටගැස්ම හැදෙන්න පුළුවන් ද?
බොහෝ දෙනෙකුට මේ විශ්වාසය තිබුණත්, ඇඟේ ලේ පිටවූ පමණින් පිටගැස්ම හැදෙන්නේ නෑ. එහෙත් සිරුරෙන් ලේ වහනය වීම නිසා දුර්වල වී සිටින කෙනෙකුගේ සිරුරට පිටගැස්ම විෂබීජය ඇතුළු වූයේ නම් ඔහු හෝ ඇය ඉක්මනින්ම රෝගයට ගොදුරු විය හැකියි.
පිටගැස්ම රෝගය වළක්වා ගැනීමට කළ යුතු හොඳම දේ කුමක් ද?
පිටගැස්ම වැළැක්වීමට ඉතා සාර්ථක එන්නත් තිබෙනවා. බිලිඳු දරුවන්ට ලබා දෙන ත්‍රිත්ව එන්නතින් වැළකෙන එක් රෝගයක් වන්නේ ද පිටගැස්මයි. ගැබිනි මාතාවන් පිටගැස්මෙන් වැළැක්වීමට ගර්භණී කාලයේදීත් මෙම එන්නත ලබා දෙනවා. මීට අමතරව තුවාලයක් හෝ සුනඛයන් වැනි සතුන් ගේ සපා කෑම් නිසා රෝහල් ගතවන සෑම පුද්ගලයකුටම පිටගැස්ම එන්නත ලබා දෙනවා. එම එන්නත අවුරුදු පහක කාලයකට ප්‍රමාණවත්.
පිටගැස්ම සඳහා දෙන එන්නත මඟින් එම රෝග කාරක බැක්ටීරියාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා ද?
නැහැ. මෙතැනදී සිදු ෙකරෙන්නේ පිටගැස්ම විෂබීජය මඟින් නිපදවන විෂබීජ හෙවත් ටොක්සීනය උදාසීන කිරීම පමණයි.
වෙනිවැල්ගැට තැම්බු වතුර බීමෙන් පිටගැස්ම වළක්වා ගන්න පුළුවන් ද?
බොහෝ දෙනෙකුට ඒ විශ්වාසය තිබෙනවා. ඇතැම් රෝගීන් තුවාල සිදුකරගෙන ප්‍රතිකාර සඳහා පැමිණි විට වෛද්‍යවරයා පිටගැස්ම එන්නත ලබා දෙන්නට සූදානම් වූ විට පවා එය ප්‍රතික්ෂේප කරන්නේ වෙනිවැල්ගැට පානය කළ බව පවසමින්. එහෙත් එය බොරු විශ්වාසයක් පමණයි. ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයකු වූ සිරිල් පොන්නම්පෙරුම මහතා විසින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කරනු ලැබුවා. එහෙත් ඔහු පවසා තිබුණේ ඒ පර්යේෂණයෙන් සාර්ථක ප්‍රතිඵලයක් නොලැබුණු බවයි. මෙවැනි අවස්ථාවක කළ යුතු හොඳම දේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම පමණයි.
පිටගැස්ම රෝගීන්ට දෙන ප්‍රතිකාර මොනවා ද?
රෝග ලක්ෂණ ඇති වූ වහාම රෝගියා වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කරන ප්‍රධානම දේ රෝගියාට ඇති වන මාරාන්තික අතුරු ආබාධවලින් ගලවා ගැනීමයි. එහිදී පේශී හැකිළීම නිසා රෝගියා වෙහෙසට පත් වීමෙන් වළක්වා ගත යුතුයි. ඒ සඳහා රෝගියා කළුවර කාමරයක රඳවා තැබිය යුතුයි. ආලෝකයෙන් පමණක් නොවෙයි, ශබ්දය හා ස්පර්ශය නිසා ඇතිවන උත්තේජනයත් වළක්වා ගත යුතුයි.
පිටගැස්මට නිසි ප්‍රතිකාර නොලැබුණොත් රෝගියා නිසැකවම මරණයට පත් වෙනවා ද?
සියයට සියයක්ම එසේ කිව නොහැකියි. එහෙත් සමහර රෝගීන්ට විශේෂයෙන් සිරුරේ පේශි හැකිළීම තදින් සිදුවන විට වමනය පවා සිදු වෙනවා. ඒ වමනයත් සමඟ පිටවන ආහාර කැබලි ශ්වාසනාලය දිගේ ගොස් පෙණහලුවලට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම හෘදයේ වේගය පාලනය කළ යුතුයි. මෙහි දී වෛද්‍යවරුන් විසින් රෝගියාගේ සිරුරේ පේශී සංකෝචනය වීම අවම කිරීමට සමනක ඖෂධ ලබා දෙනවා. ඒ නිසා ඔබ කළ යුතු හොඳම දේ රෝග ලක්ෂණ දුටු වහාම රෝගියා වෛද්‍යවරයකු වෙත යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමයි.
සාකච්ඡා කෙළේ - රමණී සුබසිංහ
උපුටා ගැනීම සිළුමිණ