Biz Log
Classifields
Biz Log
Classifields

බරපතළ මට්ටමෙහිලා ගැනෙන මානසික රෝග

බරපතළ මට්ටමෙහිලා ගැනෙන මානසික රෝග

මෙවර වැඩසටහනට සහභාගී වූයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය ගාම්භීර හරිස්චන්ද්‍ර වෛද්‍යතුමායි.

මේ කතා බහට ප්‍රවේශයක් ගතහොත්?

මානසික රෝග හට ගන්නේ කෙසේද හඳුනාගන්නේ කෙසේද, ඊට ප්‍රතිකාර සොයා යාමේදී කවුරුන් වෙත යා යුතුද? යන්න මානසික සෞඛ්‍ය සාක්ෂරතාව නම් වේ. මෙය සාමාන්‍යයෙන් අනෙකුත් රෝගවලට වඩා ලොව අඩුවෙන් දැකගත හැකියි. නමුත් විශේෂයෙන් ලංකාව, ඉන්දියාව වැනි රටවල මෙම සාක්ෂරතාව ඉතාම අඩු මට්ටමක පවතියි. ඊට හේතුව අපට හිමි දීර්ඝ ඉතිහාසය තුළ අප එකතු කරගත් මති මතාන්තරයි. මේ වනවිට විවිධ ජන කොටස්වල විවිධ වූ මත සමිශ්‍රණය වී වැරදි මතිමතාන්තර මේ වනවිට ලංකාව වැනි රටවල මුල් බැසගෙන තිඛෙයි. ඒ විශ්වාසවලට අනුව මානසික රෝග සඳහා හේතුවන බවට විශ්වාස කරන්නේ භූත විශ්වාස, මියගිය ආත්ම, ග්‍රහචාරයේ පිහිටීම, හදි හූනියම්, පෙර කර්ම ආදියයි. නමුත් මීට සත්‍ය වශයෙන්ම ඉහත පැහැදිලි කළ කිසිදු හේතුවක් බලනොපාන බව ඔබ හොඳින් මතක තබාගත යුතුයි. ඒ වගේම මේවා සඳහා ප්‍රතිකාර ද ඉහත හේතු මත පදනම් වේ. නමුත් මෙය තරමක් භයානක තත්ත්වයකි. මන්ද අපි විශ්වාස කරන ප්‍රතිකාර ක්‍රම සොයාගත යුතු නිසා ඊට දීර්ඝ කාලයක් ගත වේ. මේ නිසා අදාළ රෝගය නිශ්චිත ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර නිධන්ගත තත්ත්වයට පත් වේ. මේ හේතු කොටගෙන මොළයේ සෛල පවා මිය යාමට හැකියි. මෙය ඉතා බරපතළ වෙයි. මක්නිසාදයත් ප්‍රතිකාර ප්‍රමාද වනවිට රෝගයේ බලපෑම ඉතා ඉහළ වේ. මෙසේ ඇතිවන බලපෑම නැවත ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට පත්විය හැකියි. ඒ නිසා මානසික සෞඛ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙසින් සැලකිය හැකියි.

මානසික රෝග කෙතරම් බහුලව අපට දැකගත හැකිද?

මානසික රෝග අතීතයේදී හැඳින්වූයේ පිස්සුවක්, උමතුවක් ලෙසිනි. නමුත් මේවා විවිධාකරයි. ආසන්න වශයෙන් 6% - 8%ක් අතර ප්‍රමාණයකට මේ වනවිටත් මානසිකව රෝග තත්ත්ව තිබේ. නමුත් භින්නෝන්මාදය, විෂාදය වැනි දරුණු මට්ටමේ රෝග තිඛෙන්නේ 2%කට පමණ ප්‍රමාණයකටය. නමුත් රෝගයේ බරපතලකම වන්නේ මේවා හටගන්නේ අදාළ රෝගියාගේ ජීවිතයේ තරුණ අවධියේදී වීමය. තරුණ අවධියේ මෙසේ හටගත් රෝගය මුළු ජීවිත කාලය පුරාවටම පැවතිය හැකියි. එවිට ඔවුන්ගේ ජීවිතයේ සියලු දේ අඩපණ වීමකට ලක් වේ. ඒ නිසා අදාළ රෝග තත්ත්වය වැළඬෙන්නේ සුළු ප්‍රමාණයකට වුවද එමඟින් ඇතිකරන හානිය ජීවිතයේ බොහෝ කලකට බලපවත්වයි. ඒ නිසා අදාළ රෝගය හඳුනාගත් වහාම ඊට අදාළ නිශ්චිත ප්‍රතිකාරයක් යෙදිය යුතුයි. ඊට අමතරව සෙසු බරපතළ නොවන රෝග ෆෝබියා, ඇන්සයිටි ආදී රෝග ජීවිතයට එතරම් බලපෑම් නොකළත් රෝගීන් අතිශය පීඩාවට පත්වන රෝග වේ.

බලපතළ මානසික ගැටලුවලදී විශේෂයෙන් ඇතිවන තත්ත්වයන් මොනවාද?

බරපතළ රෝග මට්ටමේ ගැනෙන රෝග තුන වන භින්නෝන්මාදය භාවිත උන්මාදය සහ විෂාදය යන තත්ත්ව තුනෙන්ම අප දෙමාපියන්, වැඩිහිටියන්, අසල්වැසියන් ලෙස දැකගත හැකි පළමු රෝග ලක්ෂණ වනුයේ මොවුන්ගේ ජීවන රටාවේ වෙනස් වීමයි. උදාහරණ ලෙස පාසැල් ශිෂ්‍යයෙක් නම් පාසැල් යාම එපාවීම, ගුරුවරයා තමාව කොන් කරන බව පැවසීම, මගේ ගණන් නිවැරදි වුවත් වැරදි යැයි කීම වැනි බැලූ බැල්මට සාමාන්‍ය දේවල් වේ. නමුත් මෙම රෝග ආරම්භයේදී දරුවන් මෙසේ පැවසිය හැකි නිසා දෙමාපියන් ඒ පිළිබඳ හොඳ අවධානයකින් කටයුතු කිරීම වැදගත්. මීට අමතර ඕනෑම අයෙකුගේ දෛනික ජීවන රටාවේ යම් වෙනසක්, නින්ද, ආහාර රුචිය, එකිනෙකා අතර සබඳතා ගිලිහී යාම, එවැනි අය නිතරම හුදකලා වීමට උත්සාහ දරයි. තවත් පිරිසකට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩුවෙමින් යාම, කේන්තිය ද අධික විය හැකියි. මේ ආකාරයට යම් අයෙකුගේ දෛනික ජිවන රටාව වෙනස් වේ නම් එය මානසික රෝග ලක්ෂණයක් නිසා සැලකිලිමත් විය යුතුයි. තවද මේ ලක්ෂණවලට අමතරව ඇතැම් දරුවන් බැලූ බැල්මට විද්‍යාත්මක බුද්ධිමත් අදහස් ප්‍රකාශ කරයි. මේවා මනෝ විද්‍යාවට, තාරකා විද්‍යාවට සම්බන්ධ වේ. එවැනි විටෙක අප අදාළ තැනැත්තාට මානසික රෝගයක් දැයි සැලකිලිමත් විය යුතුයි.

මානසික රෝග හටගැනීමේ සාධකය කුමක්ද?

මීට මූලික වශයෙන්ම හේතුවන්නේ අප දෙමාපියන්ගෙන් උරුම කර ගන්නා ජානයි. මෙම ජාන නිසාමත් රෝග නොවැළඬෙයි. ඒඅනුව මෙම ජාන සහ පරිසරය අතර අන්තර් සම්බන්ධතාව මුල් කරගෙන ප්‍රධාන වශයෙන් පුද්ගලයාට මානසික රෝග ඇති කරවයි. පරිසර සාධක යනු විශේෂයෙන් බරපතළ මානසික රෝගවලට දරුවෙකු කලල අවධියේදී දරු ගැබ තුළදී බලපාන සාධකයි. උදාහරණ ලෙස යම් ආසාදන එසේත් නොමැති නම් පෝෂණ ඌනතාවක් විය හැකියි. මීට අමතරව දරුවා ප්‍රසූත කරන විට ප්‍රසූත මාර්ගයේ සිරවීමක්, ප්‍රසූතිය ප්‍රමාද වීමෙන් මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමෙන් මොළයට යම් බලපෑමක් ඇති විය හැකියි. මේ ආකාර පරිසර සාධක සමඟ මෙම රෝග වැළඳිය හැකියි. ඒ වගේම ජාන පමණක් තිබූ පමණින් මෙම රෝග නොවැළඬෙන අතර පරිසර සාධක පමණක් තිබූ පමණින් රෝග ඇති නොවේ. මෙවැනි මානසික රෝගයක් ඇති වීමට නම් මෙම සාධක යුගළයම එකට බලපෑමක් ඇති කරවිය යුතුයි. මේ නිසා මොළයේ ඇතිවන වෙනසවන්නේ මොළයේ ස්නායු පිහිටීමේ එසේ නැත්නම් ව්‍යුහයේ වෙනස නිසා මොළයේ රසායනික සංයුතිය යම් වෙනසකට ලක් වීමයි. මෙය මොළයේ විවිධ ප්‍රදේශ හා එහි නිපදවන විවිධ රසායනික ද්‍රව්‍ය අනුව වෙනසකට ලක් වේ. ඒ වගේම බරපතළ රෝග හඳුනා ගන්නා ප්‍රධාන සාධකය වන්නේ ජානමය ගැටලුය. නමුත් සුළු මානසික රෝග වන කාංසාව වැනි තත්ත්වලට ජාන මෙන්ම වැඩිපුර පරිසර සාධකවල බලපෑමෙන් මානසික රෝග ඇති වේ. කෙසේ වෙතත් මොළයේ විවිධ රසායනික සංයෝගයන්ගේ වෙනස නිසා දැනෙන අදහස් ද වේ. මේ නිසා අදාළ පුද්ගලයාගේ සංවේදන වෙනස් වීමෙන් ඔවුන්ගේ සංවේදන ඉතා ඉහළ වේ. ඔවුන්ට දැනෙන භෞතික ලෝකයේ නොමැති දේ ඇසීම, දැනීම ආදිය එවැනි තත්ත්වයන්ය. අතීතයේදී මේවා බාහිර බලපෑමක් නිසා සිදුවන දේ ලෙස සැලකුවත්, එසේ වනුයේ මොළයේ භෞතික හා රසායනිකවල වෙනස නිසාවෙනි. ඒ නිසා වඩාත් බුද්ධිමත්ම ක්‍රියා මාර්ගය විය යුත්තේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමයි.

මේ සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ යමක් පැවසුවොත්?

ප්‍රතිකාර යටතේ දැනට පවතින ක්‍රමවේද අනුව මොළයේ ව්‍යුහය වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් ප්‍රතිකාර මඟින් රසායනික ද්‍රව්‍යවල වෙනස්වීම් පාලනය කළ හැකි වේ. මෙම බොහෝ ප්‍රතිකාර අද තීරණ කරනු ලබන්නේ ස්නායු සම්ප්‍රේශක රසායනික ද්‍රව්‍යවල වෙනස්කම්ය. ඒවායේ තත්ත්වය අනුව අදාළ රසායනික ද්‍රව්‍ය ඖෂධ ලෙසින් අදාළ රෝගී තත්ත්වය අනුව අඩු වැඩි වශයෙන් ලබාදීමට සිදු වේ. දෙවැනි කරුණ වන්නේ කාලයයි. 80%ට වැඩි අවස්ථාවලදී ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ගැනීමට සිදු වේ. මෙහි ප්‍රතිශතය 20% - 30% අතර වේ. එසේම අධික රුධිර පීඩනයට, දියවැඩියාවට ඖෂධ ලබා ගත්ත ද මානසික රෝගවලට ප්‍රතිකාර ගැනීමේ දැඩි අකමැත්තක් දක්වයි. භින්නෝන්මාද රෝගයේ එක් ලක්ෂණයක් ලෙස තමාට අදාළ රෝග අවස්ථාව ඇති බවට පිළි නොගනියි. ඒ නිසා ඔවුන්ට බලෙන් ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන්ට සිදුවේ. ඇතැම්දෙනා මනෝ වෛද්‍යවරු හඳුනන බව පෙන්වීමටත් අකමැති වේ. ඊට හේතුව සමාජය විසින් ඒ වටා ගොඩනඟා ඇති ආකල්පයන්ය. මෙසේ සාමාජයීය වශයෙන් කරන බලපෑමට අමතරව මානසික සෞඛ්‍ය සේවාවන්වලටත් මේ බලපෑම ඇත. ඒ වගේම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්ෂේත්‍රය මේ වනවිට ප්‍රචලිත කරන්නේ නැහැ.

නුවන්ති කුලරත්න

උපුටා ගැනීම දිනමිණ පුවත් පත

Share This Article