බල්ලෝ කෑවට බුරිය වටේ දැන් එන්නත් විදින්නේ නෑ
ජලභීතිකා රෝග ලක්ෂණ මතුවන කොට වෛරසය ස්නායු පද්ධතියට ඇතුළු වෙලා ඉවරයි ඊට පසුව රෝගියා මොන ක්‍රමයකින් වත් ජීවත් කරවිය නොහැකියි.සර්ජිකල් ස්පිරිට් සොයාගන්න බැරි නම් ඕඩිකොලොන් නැතිනම් අරක්කු ටිකකින් හෝ කසිප්පු ටිකකින් හරි කමක් නෑ සපා කෑ තුවාලය සෝදන්න.ගවයන්ට ජලභීතිකාව හැදුණත් එළකිරිවලින් රෝගය බෝවන්නේ නෑ.වවුලන් ලේනුන් කෑ පලතුරු කෑවට ජලභීතිකාව හැදෙන්න ඇති ඉඩ ඉතාම අවමයි. මීට අවුරුදු 20 ට පමණ එහා ජලභීතිකාව, එසේත් නැත්නම් පිස්සු බලු රෝගයෙන් දිනකට එක් අයකු මිය යාමේ ප්‍රවණතාවක් තිබිණි. වර්තමානයේ මේ තත්ත්වය අඩු වී තිබෙන්නේ රෝග ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය වඩාත් දියුණු වීම නිසාය. මේ සඳහා රජය වසරකට රුපියල් කෝටි ගණනක මුදලක් වැය කරයි. ඒ අතරම නොසලකා හැරීම හා නොදැනුවත්කම නිසා පිස්සු බලු රෝගයෙන් මිය යන කුඩා දරුවන් ගැන වගේම වැඩිහිටියන් ගැන ද වරින් වර වාර්තා වෙයි. අද ඔබ දැනුවත් කරන්නේ හැදුණොත් නිසැකවම මරණය කරා ඔබ ගෙනයන මාරාන්තික ජලභීතිකා රෝගය පිළිබඳවය.
ජලභීතිකාව හැදෙන්නේ කොහොමද?
ජලභීතිකාව රෝග කාරකය වෛරසයක්. රැබ්ඩො වෛරස් නමින් හැඳින්වෙන එම වෛරසය, බල්ලන්ගේ කෙළවල අන්තර්ගත වෙනවා. පිස්සු බල්ලෙක් සපා කනවිට දත් පහර සමඟ ඒ වෛරසයත් අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මුලින් ම මාංශ පේශිවල වර්ධනය වන වෛරසය ඉන් පස්සේ ස්නායුවලට ඇතුළු වී මොළයට ගමන් කරනවා.
පිස්සු බලු රෝගයට බිය විය යුත්තේ ඇයි?
රැබ්ඩො වෛරසය ස්නායු සෛලවල වර්ධනය වන්නට පටන් ගත්තොත් ඒ රෝගියා මොන ක්‍රමයකින්වත් සුව කළ නොහැකියි. රෝග ලක්ෂණ මතු වී දින 7 ක් ඇතුළත රෝගියා අනිවාර්යයෙන් ම මරණයට පත් වෙනවා.
මොනවද ඒ රෝග ලක්ෂණ?
ජලභීතිකාව වැලදුණ බල්ලෙකු, බළලෙකු, නරියෙකු, මුගටියෙකු, වවුලෙකු හෝ හරකෙකු සපා කා දින 9 - 90 ක් අතර කාලයක් තුළ රෝග ලක්ෂණ මතු විය හැකියි. කලාතුරකින් එය අවුරුද්දක් පමණ කාලයකින් වන්නටත් පුළුවන්. මුලින් ම පෙන්නුම් කරන්නේ උණ, තෙහෙට්ටු ගතිය හා හිසරදය වැනි තත්ත්වයන්.එසේ දින 2 - 4 පමණ ගත වුණාට පසුව රෝගියාට ශබ්දය, එළිය, ශීතල සහ තද සුළඟ දැරීමේ හැකියාව නැතිවී යනවා. රෝගියා අධික ලෙස බියට පත්වූ ස්වභාවයක් පෙන්නුම් කරනවා. කේන්තිය, සැර පරුෂ ගතිය වගේ ම සාංකාව ඇතිවෙනවා. උගුරේ මාංශ පේෂි සංකෝචනය වීම නිසා කෙළ ගිලීමට හෝ වතුර බිමට අපහසු වෙනවා. කටින් කෙළ වැගිරෙනවා. කොපි පොතක් ගෙන පවන් සැලූවිට පවා රෝගියා තිගැස්සෙනවා. ඒ රෝග ලක්ෂණවලින් ඔහුට පිස්සු බලු රෝගය වැලඳී ඇති බවට ස්ථිරවම නිගමනය කළ හැකියි. මේ රෝග ලකුණු මතුවීමෙන් පසුව රෝගියා ජීවත් වන්නේ දින 2 ක් හෝ 3 ක් පමණයි. ඉතා කලාතුරකින් දින 5 ක් 6 ක් ජීවත්වෙනවා.
එවැනි රෝගියකුගෙන් තවත් කෙනකුට රෝගය බෝ වෙන්න පුළුවන් ද?
ජලභීතිකා රෝගීන්ගෙ කෙළවල රැබ්ඩො වෛරසය දකින්නට ලැබුණත් මිනිසකුගෙන් මිනිසකුට එම රෝගය බෝ වන්නේ ඉතාම කලාතුරකින්. මෙතෙක් ලෝකයෙන් ම වාර්තා වී තිබෙන්නේ එවැනි සිදුවීම් දෙකක් ගැන පමණයි.
බල්ලෙක් සපා කෑවොත් මුලින් ම කළ යුතු ප්‍රථමාධාර තිබෙනවා ද?
ඔව්. සපා කෑමෙන් වූ තුවාලය එතරම් විශාල නොවේ නම්, තුවාලයට සර්ජිකල් ස්පිරිට් වැනි මධ්‍යසාර අඩංගු විෂබීජ නාශකයක් දැමිය යුතු යි. වෙලාවෙ හැටියට සර්ජිකල් ස්පිරිට් සොයා ගත නොහැකි නම්, ඕඩිකොලොන් හෝ අරක්කු, කසිප්පු ටිකක් වුණත් ප්‍රශ්නයක් නෑ. මේ වාගේ අඩංගු ඊතයිල් මධ්‍යසාරය නිසා ජලභීතිකා වෛරසය ක්ෂණිකව විනාශ වෙනවා. ඉන් විනාඩියකට පමණ පසුව තුවාලය හොඳින් සබන් දා සෝදා පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය වෙළිය යුතු ය. වෛද්‍යවරයා වෙත යා යුතු වන්නේ ඉන් පසුවයි.
සපා කෑවෙ පිස්සු බල්ලෙක්මද, කියල දැනගන්නෙ කොහොමද?
බල්ලෙකුට පිස්සු බලු රෝග ලක්ෂණ මතු වීමට දින හයකට පෙර සිට ම උගේ කෙළවල රැබ්ඩො වෛරසය තිබිය හැකි යි. මේ නිසා බල්ලෙකුට ජලභීතිකා රෝග ලක්ෂණ එනම් වියරුවෙන් මෙන් හැසිරීම, කටින් කෙළ වැගිරීම, ආහාර සහ ජලය ගැනීමේ අපහසුව වැනි ලක්ෂණ ඇති වීමට දින හයකට පෙර සපා කෑවත් රෝග කාරක විෂ බීජ අපේ සිරුරට ඇතුළු විය හැකි ය. ඒ නිසා සපා කෑ බල්ලා පිළිබඳව දින දහයක් පමණ ගතවෙන තුරු හොඳ විමසිල්ලෙන් සිටිය යුතු යි. මේ කාලය තුළ බල්ලාට කිසිදු පහරදීමක් හෝ හිරිහැරයක් නොකළ යුතු අතර හොඳින් ආහාර පාන ලබා දෙමින් කූඩුවක දමා හෝ බැද තබා ගනිමින් නිරීක්ෂණය කළ යුතුයි. යම් හෙයකින් මේ සතාට රෝග ලක්ෂණ මතු වී දින 10 ක් ඇතුළත මිය ගියොත් ඌ පිස්සු බල්ලෙක් බවට නිගමනය කරන්න පුළුවන්. බල්ලා මිය ගිය පසු උගේ මොළය පරීක්ෂණාගාරයේ පරීක්ෂා කිරීමෙන් ද රෝගය වැලදී තිබුණේ ද නැද්ද යන්න ගැන නිශ්චිත ව දැන ගන්න පුළුවන්.
දඩාවතේ යන බල්ලෙක් සපා කෑවොත් මොකද කරන්නේ. ඌ අල්ලා බැඳ තබා ගත නොහැකියි නේද?
ඔව්. දඩාවතේ යන බල්ලෙක් ඇල්ලීමට යාම භයානක විය හැකියි. බල්ලා ඇල්ලීමට අපහසු නම් කළ හැකි එකම දේ ඌට පහර දී හෝ වෙඩි තබා හෝ මරණයට පත් කිරීමයි. ඉන්පසු උගේ හිස වෙන් කොට අයිස් කැට සහ ලී කුඩු සහිත ටින් එකක හෝ පෙට්ටියක බහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI) ගෙන ගොස් බාර දිය යුතුයි. එවිට ඔවුන් බල්ලාගේ මොළය පරීක්ෂා කර බලා ඌට ජලභීතිකාව වැලදී තිබේ ද නැද්ද යන්න වාර්තා කරනවා.
මේ වෛද්‍ය පර්යේෂණ ආයතනය තිබෙන්නේ කොහේද?
කොළඹ බොරැල්ලේ ලේඩි රිජ්වේ ළමා රෝහල ( නෝනා වාට්ටුව) අසල බේස්ලයින් පාරේ MRI ආයතනය පිහිටුවා තිබෙනවා. එසේ පිස්සු බලු රෝගය වැලදී ඇතැයි සැක කොට මරණයට පත් කළ බල්ලෙකු ගේ හිස එම ආයතනයට බාර දීම සඳහා ඔබට ඔබ ප්‍රදේශයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ සේවය ලබාගැනීමට පුළුවන්.
ජලභීතිකාව සඳහා එන්නත් ලබාගත යුතු වන්නේ පිස්සු බල්ලෙක් සපා කෑවොත් විතරද?
ප්‍රශ්නෙ තියෙන්නෙ සපා කෑවේ රෝග කාරක වෛරසය තියෙන බල්ලෙක් ද නැති බල්ලෙක් ද කියලා හරියටම දැනගන්න බැරි එකයි. සපා කෑවේ ගෙදරම ඇති කරන, කිසිම සතෙකුගේ සපා කෑමට ලක් නොවුණ බල්ලෙක් නම්, ඒ බල්ලට ජලභීතිකා රෝගය වළක්වන ඇන්ටි රේබීස් එන්නත ලබා දී තිබෙනවා නම් එතරම් බියට පත්විය යුතු නෑ. අද අපේ රටේ බල්ලන් සපා කෑම නිසා එන්නත් ලබා දෙන්නේ රෝග කාරක වෛරසය අති බවට ඇති සැකය නිසා මිස හරියටම හඳුනා ගැනීමකින් නොවෙයි. ජලභීතිකාව හැදුණොත් නිසැකයෙන් ම මරණයට පත්වෙන නිසා සැක සහිත සතෙක් සපා කෑවොත් අනිවාර්යයෙන් ම එන්නත් ලබාදෙනවා.
ඇන්ටි රේබීස් එන්නත ලබාදුන් සුනඛයකු පිස්සු බල්ලකු විසින් සපාකනු ලැබුවොත් එම බල්ලාට රෝගය බෝවෙන්නෙ නැද්ද?
එය සියයට සියයක් ම ස්ථිරව කිව නොහැකියි. ඉතා කලාතුරකින් එන්නත නිවැරැදිව ම ක්‍රියාකාරී නොවීමට ඉඩ තිබෙන නිසා.
කුඩා කාලයේ ජලභීතිකා එන්නත ලබා දුන් සුනඛයෙක් සපා කෑවොත් බිය වෙන්න දෙයක් නැද්ද?
ජලභීතිකා එන්නත බල්ලාට අවුරුදු දෙකකට වරක් ලබා දිය යුතුයි. එවිටයි ඌට ජලභීතිකාවට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති වී රෝගයෙන් වැළකී සිටීමට හැකියාව ඇති වෙන්නේ. බල්ලා ප්‍රතිශක්තිකරණය කොට අවුරුදු 2 ක් ඇතුළත සපා කෑවාට එතරම් බිය විය යුතු නැහැ. එහෙත් අවුරුදු දෙකක් ගත වී ඇත්නම් බල්ලාට ජලභීතිකාව නොවැලදේවි කියා අපිට ස්ථිරවම කියන්නට බැහැ.
ජලභීතිකා රෝගය වැලඳුණු, එහෙමත් නැතිනම් රෝග කාරක වෛරසය ශරීර ගත වුණු සුනඛයකු ගේ මල මුත්‍රා ස්පර්ශ වුවහොත් රෝගය බෝවෙන්න පුළුවන්ද?
නැහැ. මල සහ මුත්‍රා මඟින් රෝගය බෝවන්නේ නැහැ.
ගෙදර සුරතලයට ඇති කරන පූසෙක් සීරීම නිසා දරුවෙකුට පිස්සු බලු රෝගය වැලඳුනු බවට පසුගිය කාලයේ ප්‍රචාරය වුණා. නිය පහර වැදීමෙන් ජලභීතිකාව බෝ වෙනවාද?
මෙතැනදී ජලභීතිකා වෛරසය ශරීර ගතවන්නට ඇත්තේ නිය පහර වැදීම නිසා නොවෙයි. පූසා නිතරම තමන්ගේ දෑත්වලින් කෙළ ස්පර්ශ කරමින් මුහුණ හා සිරුර පිරිසුදු කරනවා. ඉතින් මේ ඛේටයේ වෛරසය තිබුණොත් නියපොතුවල ඒවා ස්පර්ශ වී තිබීම නිසා සීරීම මගින් රෝග කාරක වෛරසය මිනිසකුගේ ශරීර ගත වෙන්න පුළුවන්.
වවුලන් හා ලේනුන් කා දමා ඉතිරි කළ පලතුරු අනුභව කළොත් ජලභීතිකා වෛරසය ශරීර ගත වෙන්න පුළුවන් ද?
එසේ වීමට ඇති ඉඩකඩ ඉතා අවමයි. මොකද මෙම වෛරසය වාතාශ්‍රයට නිරාවරණය වීමේ දී ඉතා ඉක්මනින් මිය යන නිසා.
බල්ලෙක් සපා කෑවිට බුරිය වටේට එන්නත් 14 ක් ගහන්න ඕන කියන්නේ ඇත්තද?
මෙවැනි එන්නත් ක්‍රමයක් ඉස්සර තිබුණා. නමුත් දැන් ඊට වඩා දියුණු අතුරු ආබාධ අඩු ප්‍රතිශක්තිකරණ, වැක්සීන වර්ග කිහිපයක් ම නිපදවා තිබෙනවා. ඒවා පෙකණිය වටේට විදින්න අවශ්‍ය නැහැ. අතට හෝ කකුලට විදින්න පුළුවනි. දින 28 ක් ඇතුළත එන්නත් 5 ක් පමණයි. නික්ෂේපණය කරන්න වෙන්නේ. (මෙය එන්නත් වර්ගය අනුව වෙනස් වේ) එය බිය වීමට දෙයක් නොවේ. මේ පිළිබඳව වැඩි විස්තර ඔබ ගේ පවුලේ වෛද්‍යවරයා ගෙන් හෝ රෝහලෙන් ලබා ගන්නට පුළුවන්.
කුඩාම දරුවෙකු හෝ ගැබිනි මවක හෝ බල්ලකුගේ සපා කෑමට ලක්වුවහොත්, ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත ජීවිතයට පවා තර්ජනයක් වෙනවා කියන මතය ඇත්තක් ද?
සම්පූර්ණයෙන්ම වැරදියි. මේ එන්නත රෝගය වළක්වනවා මිස ජීවිතයට හානියක් කරන්නේ නෑ.
ජලභීතිකා ප්‍රතිශක්තිය එන්නත ලබා දී තිබෙන බල්ලෙක් සපා කෑවත් පිටගැස්ම එන්නත ලබාගැනීම අනිවාර්ය වන්නේ ඇයි?
බල්ලන්, මල පහ සහ පොළොවේ ඇති නොයෙකුත් අපිරිසුදු ද්‍රව්‍යවලට ඉව කරනවා. ඉතින් උන්ගේ කටට ලෙහෙසියෙන් ම පිටගැස්ම විෂ බීජය ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසයි බල්ලකු සපා කෑවිට පිට ගැස්ම එන්නත් ලබා දෙන්නේ.
ගවයන්ටත් ජලභීතිකාව වැලදෙන බව ඔබ සඳහන් කළා. ඉතින් ජලභීතිකාව වැලදුණ එළදෙනෙකුගෙන් ලබාගන්නා කිරි පානය කළොත් රෝගය බෝවෙන්න පුළුවන්ද?
එසේ විය නොහැකියි. වෛරසය ශරීර ගත වුණ මවකගෙන් දරුවකු කිරි උරා බිව්වත් මේ වෛරසය ශරීරගත වෙන්නේ නෑ.
ජලභීතිකාවෙන් පෙළෙන තැනැත්තෙකුට උපස්ථාන කරන අයට දෙන උපදේශය කුමක්ද?
රෝගියාට ආදරයෙන් ප්‍රතිකාර කළාට, ඇල්ලුවාට කිසි වරදක් නැහැ. හැබැයි රෝගියා ගේ කෙළ ඇඟපතේ ගා ගැනීමෙන් හැකිතාක් දුරට වැළකිය යුතුයි. අතේ සහ ඇඟේ තුවාල තියෙනවා නම් ඒ අය උපස්ථානයට නොයා යුතුයි. ඇඟ හොඳින් වැසෙන ඇඳුම්, අත්වැසුම් සහ සපත්තු ඇඳ සිටීම අත්‍යවශ්‍යයයි. ඒ වගේ ම රෝගියා භාවිතා කළ භාජන, ඇඳුම් පැලඳුම් හොඳින් සෝදා පිරිසුදු කළ යුතුයි. යම් හෙයකින් රෝගියාගේ කෙළ ඔබේ තුවාලයක තැවරුණා නම් හෝ රෝගියා විසින් ඔබව සපා කනු ලැබුවා නම් එම ස්ථානයට ප්‍රතිශක්ති එන්නත විදීම සුදුසුයි.
ජලභීතිකාවෙන් බේරෙන්නට කරන්න ඕනෑ මොනවද?
බල්ලන් හා බළලුන් වගේ සුරතල් සතුන් ඇති කිරීම මානසික සෞඛ්‍යයට හිත කරයි. ඒත් මේ සතුන්ගෙන් වන අනතුරු වළක්වා ගන්නටත් කටයුතු කළ යුතුයි. මේ නිසා එම සුරතල් සතුන් ඔබ ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට හෝ පශු වෛද්‍යවරයා වෙත ගෙන ගොස් කලට වේලාවට එන්නත් කරවා ගත යුතුයි. අතවශ්‍ය පැටවුන් බෝවීම වැළැක්වීමට වන්ධ්‍යාකරණය කළ යුතුයි. එහෙමත් නැත්නම් පවුල් සැලසුම් නික්ෂේපණ (ඩිපොප්‍රොවේරා) කාන්තාවන්ට දෙන ප්‍රමාණයෙන් 1/2 ක් මාස 6 කට වරක් ලබා දිය හැකියි. ඒ වගේ ම දඩාවතේ යන බල්ලන් විනාශ කිරීමට ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ සේවක මහතුන්ට උදව් කළ යුතුයි.
සාකච්ඡා කළේ රමණී සුබසිංහ
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත