හර්නියා ලකුණු දුටු වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
හර්නියා ඇතැම් විට මාරාන්තික රෝගයක් විය හැකි බව ඔබ දන්නවාද? හර්නියාවක් යනු කවර රෝගයක් දැයි වැඩි දෙනා නොදැන සිටීමත් ඒ පිළිබඳ නොසැලකිලිමත් වීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් හර්නියා රෝගයෙන් පීඩා විඳිනවා. හර්නියාවක් යනු උදර ආශ්‍රිත යම්කිසි ප්‍රදේශයක බැහැරින් ආවරණය කර ඇති ස්ථරවල දුර්වලතාවක් හේතුවෙන් එතුළින් ශරීර අභ්‍යන්තර කොටස් එළියට පැමිණීමයි. විශේෂයෙන් ම උදර බිත්තිය නිර්මාණය වීමේදී ඒ අවට ඇතැම් ප්‍රදේශ ස්වභාවිකවම දුර්වලව පිහිටනවා. නිදසුන් ලෙස නාභිය, ඉකිලි ප්‍රදේශය වැනි ස්ථානවල උදර බිත්තියේ සම තුනීවට පිහිටනවා. කිසියම් හේතුවක් මත එම ස්ථාන අසල සම වඩාත් තුනී වීමෙන් කුස තුළ ඇති බඩවැල් ආදියෙන් ඇතිවන පීඩනය වළක්වා ගැනීමට නොහැකි වූ විට බඩවැල් පොකුරක් හෝ ගෙඩියක් ලෙස පෙකණිිය, ඉකිලිය වැනි සියුම් තැන්වලින් ඉදිරියට නෙරා ඒමට තැත්කරනවා. එවිට එය හර්නියාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. දරු ප්‍රසූතියකදී උදරයේ සිදු කරනු ලබන කැපුමකින් පසු ඒ ස්ථානයේ උදරයේ බිත්තිය දුර්වල විය හැකිය. එවැනි අවස්ථාවක ඒ ආශ්‍රිතව ඇතිවන හර්නියා තත්ත්වය “Incisional Hernia” යනුවෙන් හඳුන්වනවා. මීට අමතරව උදර බිත්තියේ ඇතිවන යම් යම් දුර්වලතා, උදර බිත්තිය ඇදීම් බර ඉසිලීම් වැනි කටයුතුවලදී උදර බිත්තිය තුළ ඇතිවන යම්යම් තත්ත්ව නිසාද, දරු උපතින් පසු උදර බිත්තිය දුර්වල වීමෙන්ද හර්නියා තත්ත්වයක් ඇති විය හැකියි. දරු ප්‍රසූතියකින් පසුව කාන්තාවක් ඔවුන්ට සුදුසු ව්‍යායාමවල යෙදී උදර බිත්තියේ ඇතිවන ආතතිය පාලනය කර නොගන්නා විට ද පහසුවෙන් හර්නියාවක් ඇති වීමට ඉඩ තිබෙනවා. ස්ත්‍රි - පුරුෂ දෙපක්ෂයට ම හර්නියා හටගන්නා අතර වඩාත් සුලභව හර්නියා ඇතිවන්නේ ඉකිලිය ආශ්‍රිත ප්‍රදේශයේය. සාමාන්‍යයෙන් ඉකිලිය ආශ්‍රිතව ඇතිවන ගෙඩියක් හෝ නෙරා ඒමක් හර්නියාවක් විය හැකිය. සාමාන්‍යයෙන් සිටගෙන සිටින විට එය අස්වාභාවික නෙරා ඒමක් හෝ පිපුමක ස්වරූපයෙන් දිස් වේ. හර්නියාවක් ඇතිවන මුල් අවධියේ ඒ ප්‍රදේශයේ අපහසුතාවක් හෝ වේදනාවක් ඇති විය හැකිය. සිට ගෙන සිටින විට මේ නෙරුම මතු වුවත් හාන්සි වී සිටින විට මෙය යට යයි. කලක් ගතවන විට මෙය විශාල වී පිටතට නෙරා ඒම හෝ ඇතුළට යාම සිදුවේ. තටමන විට හෝ කහින විට, උදරයේ පීඩනය වැඩි වන විට මෙම නෙරීම පැහැදිලිව දිස් වේ. එසේ සිදු වන්නේ උදරය තුළ ඇති බඩවැල් හෝ වෙනත් අවයව සිහින් වූ උදර බිත්තිය හරහා පිටතට නෙරා ඒමට උත්සාහ දැරීමෙනි.
එවැනි තත්ත්වයක් කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වාම ඇති විය හැකිය. හර්නියාව නොසලකා සිටීමෙන් කලක් ගත වූ විට බඩවැල් නරක් වීමට හෝ ඇතැම්විට පුපුරා යාමට ඉඩ තිබේ. එවිට අධික වේදනාවක් ඇති වීමට හෝ වමනය යාමට පුළුවන. එවැනි අවස්ථාවක් හදිසි සැත්කමක් සිදු කර එය යථා තත්ත්වයට පත් නොකළහොත් හර්නියාව සහිත කොටසට ලේ ගමනය නැවතී රෝගියා මිය යාමට පවා ඉඩ තිබේ. එහෙයින් හර්නියා තත්ත්වක් ඇතැයි දැනගත් විගස වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. හර්නියාවක් සුව කිරීමට කරනු ලබන සැත්කමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ රෝගයේ මුල් අවධියේදීම එය හඳුනාගෙන සැත්කම සිදු කළ විටය. හර්නියා රෝගය දැන් නවීනතම ප්‍රතිකාර ක්‍රම මඟින් සුවපත් කළ හැකිය. ප්‍රොලීන් නම් අමු ද්‍රව්‍යයෙන් සාදන ලද දැලක් හර්නියාව ඇති ස්ථානයේ තැන්පත් කිරීමෙන් එම ස්ථානය අවට බිත්තිය වඩාත් ශක්තිමත් කරනු ලැබේ. අතීතයේ උදරය විවෘත කර කළ සැත්කම් වෙනුවට ලැපරොස්කොපි යන්ත්‍රානුසාරයෙන් කරනු ලබන ඉතා සාර්ථක ප්‍රතිකාර දැන් තිබේ. අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව සහිත රෝගීන් හර්නියා රෝගයෙන් පෙළේ නම් උක්ත රෝග පාලනය කර ගැනීම වැදගත්ය. හදිසි අවස්ථාවක සිදු කරන සැත්කම්වලදී දැලක් දැමීම කළ නොහැකිය. බඩවැලක නම් නැවත සැත්කම් කරන්නට සිදු විය හැකිය. ඉකිලිය සම්බන්ධ හර්නියා වහා ම සැත්කම් මඟින් ඉවත් කළ යුතුය. පෙකණිය ආශ්‍රිත හර්නියා සඳහා බොහෝවිට සැත්කම් අවශ්‍ය නොවේ. කුඩා ළමයින්ට ද හර්නියා ඇතිවේ. දරුවාගේ පෙකණිය අවට පිටතට පෙනෙන නෙරා ඒමක් හර්නියාවක් විය හැකිය. කුමන හර්නියා වර්ගයක් වුවද රෝග ලක්ෂණ හඳුනා ගත් විට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පෙන්වා උපදෙස් ලබා ගැනීම සුදුසුය.
ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජේරත්න
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත