මළගිය ප්‍රාණකාරයකුගේ අත්අඩංගවට පත් තරැණියක් ගැන බිහිසුණු කතාවක්
අගනුවරින් දුර බැහැර තරමක් පිටිසරබද පළාතක ජීවත් වන අශානි දොළොස් හැවිරිදිය. ඇයට තව නංගි කෙනෙකු සහ මල්ලි කෙනෙක් ද සිටී. මෑතක සිට අශානි හිටිහැටියේ වෙව්ලා සිහි නැතිව ඇද වැටෙන්නට වූ අතර හරියටම කිවහොත් එය අපස්මාර රෝගියෙකුගේ ස්වභාවයට සමානය. මුල් වරට මේ ආබාධය හැදුනු අවස්ථාවේම අශානිගේ මව්පියන් ඇය ළඟම තිබූ රෝහලට රැගෙන ගියහ. වාට්ටුවේ නතර කරගෙන ඇය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්ම සිදු කරනු ලැබුවත් සැලකිය යුතු රෝග තත්ත්වයක් අනාවරණය වූයේ නැත. නමුත් අශානිට වරින් වරම එම වලිප්පු රෝග තත්ත්වය ඇති විය. ඒ අනුව යළිත් රෝග තත්ත්වය ඇතිවූ අවස්ථා දෙකකදීම ඇය රෝහල් ගත කරන ලද මුත් සැලකිය යුතු රෝග තත්ත්වයක් අනාවරණය නොවූයෙන් ස්නායු රෝග වෛද්‍යවරයකු වෙත යොමු කරනු ලැබිණි. එම වෛද්‍යවරයා අශානිගේ රෝගයට අදාළව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූයේද ඇයට ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයක් නැති බවය. මේ අනුව අශානිගේ රෝගයට කායික පදනමක් නැති බව සනාථ විය.
දියණියට අසනීප තත්ත්වයක් නොමැති නම් නිසැක ලෙසම එය අමනුෂ්‍ය දෝෂයක් බව අශානිගේ මවුපියෝ තීරණය කළහ. ඇය වෙව්ලමින් එක් වරම සිහි නැතිව ඇද වැටීම එවැන්නක්ම බවට ගමේ වැඩිහිටියන් කිහිප දෙනකු ද මත පළ කර තිබුණෙන් අශානිගේ මවුපියන් අශානිද කැටුව සාස්තරයක් අසන්නට දේවාලයකට ගොස් තිබිණි. එහිදී අශානිට එම රෝග ලක්ෂණ ඇති නොවූවත් ඇයට මියගිය කෙනෙකුගේ බැල්ම තිබෙන බව, පරල වූ සාස්තරකාරිය විසින් පවසනු ලැබිය. එය ඉතා ඉක්මනින් ඉවත් නොකළොත් අශානිව එම මළ ගිය ප්‍රාණකාරයා රැගෙන යා හැකි බවටද එම කාන්තාව ඉඟි පළ කළාය. මින් බොහෝ සේ බියට පත්වූ දෙමාපියෝ නිවසේ තොවිලයක් සංවිධානය කළහ. පාන්දර යාමයේ තොවිලයේ වැඩ කටයුතු අවසන් වූයේ දැන් ඉතින් සියලුම දොස් නිවාරණයි කියමිනි. අශානිගේ මවුපියෝ ද සැනසුම් සුසුමක් හෙළමින් දෙවියන්ට පින් දුන්හ.
තොවිලය සිදුවී දෙදිනක් පමණ ගත විය. නිවසේ ඇති වූ ගැටලුවකට පියා මවට දොස් කියන්නට පටන් ගත්තේය. පියා කුමක් හෝ කියන විට මව නිහඬවීම වෙනුවට නිරතුරුවම කළේ පියා සමග එකට එක කියමින් කටු අත්තක් මෙන් ඔහු හා පැටලීමය. මෙහිදීත් එයම සිදුවිණි. මේ මොහොතේ අශානිද නිවසේ සිටියාය. එක වරම අශානිට නැවතත් සුපුරුදු රෝගය ඉස්මතු වූ අතර ඇය බිමට වැටීම වැළකුණේ වහා එතැනට පැමිණි මල්ලී ඇය වත්තන් කර ගැනීම නිසාය. දෙමාපියන්ගේ දබරය එතැනින්ම නතර විය. වහා ඔවුහු දියණිය ඔසවා ගෙන ගොස් ඇඳේ හාන්සි කළහ. "මොන කරුමයක්ද මේ දරුවට වුණේ. දොස්තරලා කී දෙනෙක් ගාවට ගියාද? රුපියල් තිස් දාහකටත් වැඩිය වියදම් කරලා තොවිලෙකුත් කළා. කිසි වැඩක් වුණේ නෑනේ." මවත් පියාත් හූල්ලමින් කතා වූහ. ඔවුන්ගේ දබරය පවා ඒ වන විට ඔවුනට අමතකව තිබිණි. ඔවුනට අශානිව යළිත් එක්කරගෙන යාමට තිබූ එකම තැන රෝහල පමණි. අසරණ ලෙස එම මව්පියන් ඇගේ පරණ වෛද්‍ය වාර්තාද රැගෙන රෝහලට ගිය පසු ඒ සියලුම වාර්තා පිරික්සා බැලු වෛද්‍යවරයා ඇය මානසික රෝග වාට්ටුවට යැවීය.
අශානිගේ රෝගය සම්බන්ධයෙන් අනුමාන කළ හැකි සියලුම කායික වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබූ අතර ඒ කිසිවක දොසක් නොවිණි. ඒ අනුව විශේෂඥ මනෝ වෛද්‍යවරයා අශානිව තනිව කැඳවා ඇගේ විස්තර විමසන්නට විය.
"ඔය අසනීපෙ හැදෙන්නෙ සාමාන්‍යයෙන් කොයි වෙලාවටද?" කතාව අතරතුරේ වෛද්‍යවරයා විමසීය.
"වෙලාවක් නෑ. අපේ අම්මයි තාත්තයි හරියට රණ්ඩු වෙනවා. ඒවා දකින කොට මට එක පාරටම කලන්තෙ හැදිලා සිහි කල්පනාව නැතුව ගිහින් වැටෙනවා." අශානි තමන්ගේ රෝගය සම්බන්ධයෙන් පැවැසූ ඒ කරුණ වෛද්‍යවරයාට ඉතා වැදගත් වුණි. ඇය මේ දක්වාම රෝගී වී තිබූ හැම අවස්ථාවකම එය සිදු වූයේ පාසලේදී හෝ වෙනත් පිට තැනකදී හෝ නොව නිවසේදීම බවත්, විශේෂත්වය වන්නේ දෙමාපියන්ගේ බහින් බස් වීම් සිදුවන අවස්ථාවලදී පමණක් මෙය හට ගැනීම බවත් එම දෙමාපියෝ ද පිළිගත්හ. තවදුරටත් විස්තර විමසා බැලීමේදී හෙළි වූයේ ඒ දෙමාපියන් ඉතා සුළු කරුණකදී පවා ගැටුම් ඇති කර ගන්නා අය බවය. එහිදී සෙසු දරුවන් දෙදෙනාට වඩා අශානි බොහෝ බියට පත්වන බවද හෙළි වුණි. ඒ අනුව ඇය මුල් කාලයේදී දෙමාපියන්ගේ අතර මැදට පැන ඔවුන්ගේ ඇඟේ එල්ලුණේ හඬමින් කෑ ගසමින්ය. තවත් ටික කාලයක් ගත වන විට ඇයට එවැනි දෙයක් කරන්නට අවස්ථාවක් සිදු නොවූයේ ඇය සිහි නැතිව ඇද වැටෙන්නට පටන් ගත් නිසාය. දෙමාපියන් නිතර දබර කර ගන්නා නිසා අශානි එයින් බොහෝ සේ බියටත් මානසික පීඩාවකටත් පත් වූවාය. පවුලේ වැඩිමහල් දරුවා ලෙස මවුපියන් අඬ දබර කරන විට මැද්දට පැන ඒවා සමථයකට පත් කරන්නට ගොස් අශානිටද පහර වැදුනු අවස්ථා තිබිණි. දෙමාපියන් අඬදබර කරන විට ඇගේ සිතට දැනුණු ලොකුම බිය වූයේ පියා අතින් මව මියයාවි යන්නය. අශානි මවුපියන්ට තමන්ගේ පීඩනය හෙළි කළේ නැත. නමුත් එයින් ඇය බොහෝ සේ මනසින් දුක් වින්දාය. දිනක් මෙසේ මවුපියන් දබර වන මොහොතකදී හදිසියේම ඇගේ සිරුර වෙව්ලන්නට පටන් ගත් අතර ඉන් පසුව සිහිය නැතිව ඇද වැටිණි. වහා දෙමාපියන්ගේ අවධානය ඇය වෙත යොමු විය. ඔවුන්ගේ දබරයද එතැනින්ම නතර වී තිබිණි.
මේ තත්ත්වය කායික රෝගයක් නොවෙයි නම් අශානිට මෙලෙස සිදුවීමට හේතුව කුමක්ද?
මවුපියන්ගේ දබර නිසා හටගෙන තිබූ බියත්, ඒ තුළින් ඇතිවූ තදබල මානසික කම්පනයත් ඇයට දරාගත හැකි වූයේ නැත. ඉන් පසු ඇයටත් නොදැනීම ඇගේ යටි සිත ඇයව පීඩනයෙන් මුදවා ගැනීම පිණිස ආරක්ෂණ ක්‍රමෝපායක් යොදනු ලැබිණි. ඒ ඇයට අපස්මාර රෝගියෙකුගේ බඳු ලක්ෂණ ඇති කිරීම තුළිනි. යටි සිත එසේ නොකළා නම් ඇයට වෙනත් කුමක් හෝ තදබල රෝග තත්ත්වයක් ඇති විය හැකිව තිබිණි. මෙය අශානි දැනුවත්ව සිදු වූ දෙයක් නොවේ. ඇය හිතාමතා කළ දෙයකුත් නොවේ. නමුත් මවුපියන් දබර වන අවස්ථාවක ඇය මෙවැනි රෝගයට ලක්වීම තුළ ඔවුන්ගේ දබර එතැනින්ම නිමාවන අතර ඉන්පසු ඔවුන් දෙදෙනාම එක්ව අශානිගේ රෝගය පිළිබඳව අවධානය යොමු කිරීම සිදුවෙයි. අශානිගේ යටි සිත ඇයව බේරා ගත්තේ එලෙසිනි. මෙය කායික රෝග ලක්ෂණයක් ලෙස මතුපිටට පළ වුවද එය මානසික පදනමක් මත ඇති වන්නකි. මෙම මානසික ආබාධය විඝටනාබාධය (Dissociative disorder) නම් වෙයි. ඒ අනුව අශානිගේ රෝගය සුවපත් වීමට නම් මවුපියන් සමගියෙන් සිටිය යුතු වෙයි. මවුපියන්ට ඒ බව වටහා දී උපදේශන ලබා දුන් පසු ඔවුහු එය පිළිගත්හ. කිසිදු ඖෂධ ප්‍රතිකාරයක් නැතිව අශානි සුවපත් වූයේ ඉන් පසුවය.
විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරිනිඉන්දු පෙරේරාඋපුටා ගැනීම ලක්බිම පුවත්පත