Biz Log
Classifields
Biz Log
Classifields

සිරැරේ විකෘති ඇතැයි සිතීමේ භීතිකාව

සිරැරේ විකෘති ඇතැයි සිතීමේ භීතිකාව

තමන්ගේ සිරුරේ ව්‍යුහය හෝ ක්‍රියාකාරීත්වයේ යම් අසාමාන්‍යතාවක් විකෘතිභාවයක් ඇතැයි සිතීම මේ රෝගයේ ලක්ෂණයයි. ඒ නිසා රෝගියා නිතර ඒ පිළිබඳ කල්පනා කරයි. එය යථා තත්ත්වයට පත්කිරීමට යම් යම් ප්‍රතිකර්ම යොදවයි. ඒ ගැන කරදර වෙයි. මෙයට සුලබ උදාහරණ වන්නේ තම නාසයේ වරදක් ඇතැයි සිතීම, නාසය ඇද යැයි සිතීම නාසය, සමමිතික නැති යයිද අන් අයගේ නාසයට වඩා වෙනස් යැයිද කල්පනා කිරීම ආදී අවස්ථාය. එලෙස තම ශරීර ව්‍යුහයේ නොයෙක් කොටස්වල අසාමාන්‍යතා හා වෙනස්කම් ඇතැයි සිතා ඒ පිළිබඳ කරදර වෙයි. විවිධ ප්‍රතිකර්ම කරයි. ඒ ගැන කරන පැහැදිලිකිරීම් වලට එකඟ නොවෙයි. මෙය තමන්ට මුල් බැස ඇතැයි තරයේ මතයක සිටී. තමන් කෙළ ගිලින විට අසාමාන්‍ය ලෙස එය වෙනත් අයට පෙනෙන බව සිතයි. ඒ නිසා අවට ජනයා තමා දෙස බලන බව සිතයි. තවත් අය තම සිරුරේ දුර්ගන්ධයක් එන බවට උපකල්පනය කරනු ඇත. තම මුඛයෙන් , ගුද මාර්ගයෙන් හෝ දහදියෙන් අන් අයට නැති තද දුර්ගන්ධයක් හමන බව සිතයි. සෙසු අය තමා දෙස බලන බැවින් ඒ අය ළඟින් වාඩිවීම , කතා කිරීම ඇසුරු කිරීම හොඳ නැතැයි සමාජයෙන් කොන් වී සිටිනු ඇත. මෙවැනි පුද්ගලයන් ඒ තත්ත්වය මග හැර ගැනීමට නොයෙක් උපක්‍රමවලට යන බව පෙනේ. ඇසුරෙන් වැළකේ. ගමන් බිමන් නොයයි. සිරුරේ හෝ නාසයේ අසාමාන්‍යතාවක් ලෙස පෙනේ නම් “මේක් අප්” දමා එය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට උත්සහ ගනී. ප්ලාස්ටික් සැත්කම්වලට යයි. ඇසක ආබාධයක් නම් හිස කෙස් වවා ඇස වසා ගනී. ගුදයෙන් ගඳ ඒ නම් යට ඇඳුම් දෙකක් අඳිනු ඇත. ඇතැමුන් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට පවා යොමුවේ. දොස්තරවරුන් ළඟට ගොස් විශාල මුදලක් වැය කරයි. 4-5 වරක් ප්ලාස්ටික් සැත්කම්කර විශාල ලෙස මුදල් වියදම් කළ අයද ඇත. මෙම රෝගය යම් තම් ඇතැයි සිතා එය ගණන් නොගෙන සිටීමටද ඉඩ ඇත. ඇතැම් අය සියයට සියයක් තිබේ යැයි සිතා විවිධ ප්‍රතිරෝදවල නිරත වේ. මේ රෝගය විශාදය මෙන් සුලබ රෝගයක් නොවේ. බොහෝ කලාතුරකින් දක්නට ලැබෙන්නේය. රෝග මූලය මෙයර බරපතළම තත්ත්වයේ නම් පවු‍ලේ කාට හෝ තිබිය හැකි යැයි සිතීමට ඉඩ ඇත. එහිදී ජානමය බලපෑමක් තිබිය හැකිය. ට්‍රයිෆෝසියා රෝගය පවු‍ලේ අයට තිබේ නම් ඊළඟ පරම්පරාවට මෙය ඇති විය හැකිය. රෝගය බරපතළ නොවේ නම් එය පෞරුෂය පිළිබඳ ගැටලුවකි. ජානමය හේතුවක් නොවනු ඇත. පෞරුෂය ගොඩනගා ගැනීම සඳහා රෝගියා සැමවිටම අන් අයගේ ප්‍රශංසා හා අනුමත කිරීම් බලා‍පොරොත්තු වේ.

ප්‍රතිකාර

බරපතළ තත්ත්වයේ නම් සයිකෝසිය ඖෂධ දිය යුතුවේ. ප්ලාස්ටික් ශල්‍ය කර්ම නොකළ යුතුය. බරපතළ නොවේ නම් මනෝ ප්‍රතිකාර කළ හැකිය. මේ අයට දීර්ඝකාලීනව ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇත. ඇතැම් විට මේ අයටද ඖෂධ දිය යුතු වෙති. එක්වරම ප්ලාස්ටික් ශල්‍යකර්ම වලට නොගිය යුතුය. තමාටත් සත්‍ය ලෙසම මෙවැනි රෝග තිබේ දැයි සොයා බැලීම සුදුසුය. මේ සඳහා පවු‍ලේ අයගේ උපදෙස් ගත යුතුයි. මනෝ වෛද්‍යවරයා ලවා සොයා බැලිය යුතුය. එසේ නොකර ප්‍රතිකාර සඳහා ලක්ෂ ගණන් වැය කළ රෝගීන් මා දැක ඇත. මෙය වැළඳුන පසු බලපෑම් අධික වෙනු ඇත. මා දන්නා ධනවත් පවුලක රෝගියෙක් විශාල ලෙස ධනය වියදම් කළ අවස්ථාවක් මා දැක තිබේ.

කොළඹ ජාතික රෝහ‍ලේ මනෝ වෛද්‍ය විශේෂඥ හා කොළඹ විශ්ව විද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය

සාකච්ඡා කළේ - යසවර්ධන රුද්රිගු

උපුටා ගැනීම ලක්බිම පුවත්පත

Share This Article