බුලත් විට මාරාන්තිකයි
යන්ගොන්, මියන්මාරයේ කාර්ය බහුල නගරවලින් එකකි. යන්ගොන්, ඒ තරමට කාර්ය බහුල වී තිබෙන්නේ එය වෙළෙඳුන්ටත්, පාරිභෝගිකයන්ටත්, හොඳ වෙළෙඳ නගරයක් වී ඇති නිසයි. එහි නිතර ගැවසෙන දහස් ගණන් ජනයාගෙන් වැඩිදෙනකුගේ මුව මත පිපුණු සිනහවේ කළුවට හුරු රතක් තැවරී තිබෙනු දකින්නට පුළුවන. කළුවට හුරු ඒ අඳුරු රත බුලත් කහට නිසා නැඟුනකි. යන්ගොන්හි ඇතැම් අය අතොරක් නැතිව බුලත්විට හපන්නෝ ය. ඔවුන් දිනකට හපන බුලත්විට ප්‍රමාණයේ හැටියට දත කට ඒ තරමට දුර්වර්ණ වී පවතිනවා හොඳට ම ඇතැයි කියා කෙනකුට සිතෙන්නට පුළුවන. බුලත් විටේ රහ තම තමන් අත් විඳින පමණට හුණු, දුම්කොළ සහ පුවක්, බුලත් කොළ සමඟ එකතු කරගන්නට බුලත් විටට ඇබ්බැහි වූ කවුරුත් දනිති. පදමට එකතු වුණු හුණු, දුම්කොළ, බුලත් සහ පුවක් කටේ දත් අතර දැවටි, දැවටී ඒ පැත්තටත් මේ පැත්තටත් පෙරළෙන විට පාටක් නැති කෙළ අඳුරු රතට හැරේ. ඒ අඳුරු රත වූ කලී භයානක අන්තරාවක නිත්‍ය වර්ණය යි. අමතක කරන්න එපා.
බුලත් විට මිනිසාගේ මාරයායි! ඒත් මිනිස්සු තමන් සංස්කෘතියේ නාමයෙන් හෝ ආගමේ නාමයෙන් හෝ බුලත් කති. කමකට – පලකට නැති විටකට තමන්ගේ ජීවිතය පාවා දෙන්නේ ඇයි දැයි කියන ප්‍රශ්නය විද්වතුන්ටත් විසඳන්නට පුළුවන්කමක් නැත. “සමහර අය කෑම කාලා, තේ කෝප්පයක් එහෙමත් නැත්නම් කෝපි කෝප්පයක් බොනවා. ඒත් කෑම වේලකට පස්සේ බුලත් විටක් හපන එක මගේ පුරුද්ද. මම විටක් හපන්න හරි ආසයි...” යැයි කියන්නේ යන්ගොන් නගරයේ වෙළෙන්දකු වන ටයිඩි මින් තාන් ය. තාන් විසි අට හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු කියන පරිදි, ඔහු කරන්නේ ඉතා වෙහෙසකර රැකියාවකි. ඔහු වෙළෙඳාමට, එන්නේ අලුයම 3.00 ට යි. රෑ අට වන විටත් තාන්ට තමන්ගේ වෙළෙඳාමේ වැඩ කටයුතු කෙළවරකට පමුණුවන්නට අපහසු ය. ඒ නිසා දවස ගෙවෙන්නේ දැඩි වෙහෙස සහ අවිවේකය මැදයි. “මම මුළු දවසම හරියට මහන්සිවෙලා වැඩ කරනවා. මගේ දවස හුඟක් දිගයි. වැඩ කරද්දි විටින් විට මට නිදිමත දැනෙනවා. එහෙම වෙලාවට මම බුලත් විටක් කනවා. එතකොට මගේ නිදිමත ඉක්මනට නැති වෙනවා...” යැයි කියා තාන් පවසයි. අලුයම තුනේ සිට රාත්‍රි අට දක්වා පැතිරෙන ඔහුගේ සේවා මුරයට අඩුම තරමින් බුලත් විට 10 ක් වත් ඇතුළත් වේ. බුලත්විට කෑම සාධාරණීකරණය කරන තාන් වැනි මිනිසුන් යන්ගොන් හි ඕනෑ තරම් ය. එය හුදෙක් යන්ගොන්වලට පමණක් සීමාවූවක් ම නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මුළු මහත් ආසියාවේ ම තත්ත්වය අඩු වැඩි වශයෙන් ඊට සමාන බව විද්වතුන් ගේ මතය යි. බුලත් විට තමන්ගේ ආයුෂ කෙටි කරන බව ඒ කාටත් අමතක වී තිබේ. එහෙමත් නැත්නම් ඔවුහු යථාර්ථය නිරායාසයෙන්ම අමතක කර දමා සිටිති.
බුලත් විටකට අඩු වැඩිය හැටියට එකතු කරන බුලත්, පුවක්, හුණු, දුම්කොළ යන මේ කොයි දෙයත් මිනිසාට වින කටී. පුවක් වගේම බුලත් ද මුඛ පිළිකා ඇති කරන්නට හේතුවකි. තායිවානයේ කඕසියුන්ග් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය යින්ග් චින් කෝ මිනිසුන්ගේ බුලත් කෑමත්, මුඛ පිළිකාත් ගැන දීර්ඝ අධ්‍යයනයක් කළ විද්වතෙකි. ඔහු තිර ලෙසම කියා සිටින්නේ බුලත් කෑමත් මිනිසා ගේ මුඛ පිළිකාත් අතර, සම්බන්ධතාවක් ඇති බවකි. දුම්කොළ සහ පුවක් පිළිකා කාරකයි. හුණුවලින් ඍජුවම පිළිකා ඇතිවන බවක් සනාථ වී නැත. එහෙත්, පිළිකා ඇතිවීම වේගවත් කරන්නට පුළුවන් හැකියාවක් හුණුවල තිබෙන බව විද්‍යාඥයෝ පවසති. මහාචාර්ය යින්ග් චින් කෝ හුණු හඳුන්වන්නේ සැඟවුණු මාරයා වශයෙනි. “හුඟක් ඈත අතීතයේ දී බුලත් කොළ ඖෂධයක් හැටියට භාවිතයට ගත්ත තමයි. ඒත් බුලත් කොළ වලින් වුණත් පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව බුලත් වලට යොදන කෘමි නාශක සහ පළිබෝධ නාශක යි. ඒ බව අමතක කරන්න එපා...” යැයි කියා මහාචාර්ය යින්ග් චින් කෝ පවසයි. බුලත් විට හපන මිලියන 600 කට අධික පිරිසක් ලොව පුරා සිටින බව වාර්තා වී තිබේ. තමන් කරන්නේ මනෝ සක්‍රිය මත්ද්‍රව්‍ය වර්ගයක් තමන් ගේ සිරුරට ඇතුළු කර ගන්නා බව යැයි කියා ඒ අය නොදන්නවා වන්නට පුළුවන. බුලත් විටේ තිබෙන මේ ගුණය නිසා මිනිස්සු නොදැනුවත්ව ම බුලත් විටට ඇබ්බැහි වෙති. මනෝ සක්‍රිය ද්‍රව්‍ය අතර සිවුවන තැන හිමිවන්නේ බුලත් විටට බව විද්වතුන්ගේ මතය යි. මනෝ සක්‍රිය ද්‍රව්‍ය අතර පළමු දෙවැනි හා තෙවැනි තැන් හිමිවන්නේ පිළිවෙළින් දුම්කොළ වලට, මද්‍යසාරවලට සහ කැෆේන් අඩංගු පානයන්ට යි. ඒ නිසා බුලත්විටට ඔට්ටු වුණු කොයි කවුරුත් තමන්ගේ චර්යාව රැගෙන ගොස් ඇත්තේ කෙතරම් නම් අවදානම් තැනෙකට ද යන්න දැන් සිතා බැලිය යුතුය. ආසියාතිකයන් වූ අප මේ අවදානම කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුව තිබේ. ඒ අනෙකක් නිසා නොව ආසියාතිකයන්ගේ බුලත් කෑම ලොව සෙසු කලාපවල බුලත්විට හැපීමට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින නිසයි. තවත් පැත්තකින් එය අපට හිසරදයක් වී තිබෙන්නේ වැඩිහිටියන් මෙන්ම ළමයින් ද බුලත් හැපීමට ඇබ්බැහි වී සිටින බැවිනි. ඒ අයුරින් බලද්දී ආසියාවේ තවත් පරම්පරා ගණකටවත් හුණු දුම්කොළ බුලත් සහ පුවක් වලින් මිදෙන්නට පුළුවන් කමක් නැත.
තිස් හත් හැවිරිදි යූ සෙයින් මධ්‍යම යන්ගොන් හි කුලී රථ රියදුරෙකි. ඔහු කියන ආකාරයට ඔහුට දුම්කොළ නිසා මත් ගතියක් ඇති වේ. බුලත් සමඟ පුවක් හැපූ විට හිස කරකැවිල්ලකුත් දැනේ. ඔහු දුම් බොන්නේ නැත. දුම් නොබොන්නේ එය සිරුරට හොඳ නැති නිසයි. එහෙව් එකේ බුලත් විටක් කෑවාට මොන වරදක්ද? යැයි කියා ඔහු විමසයි. යූ සෙයින් තුළ ඇති මිථ්‍යාව ඔහුගේ මේ කතාවෙන් මොනවාට පැහැදිලි වේ. සිගරට් පරිහරණය නොකළාට, බුලත් විටෙන් ඒ අයහපතේ අඩුව සම්පූර්ණ වන බව හිතන්නට ඔහු නොපෙලඹීම ඔහුගේ ම අවාසනාවකි. අනෙක් අතට, එවැනි සිතුවිලි මිනිස් සංහතියටම මරු කැඳවන්නට හේතු වේ. සිගරට්ටුවකට වඩා බුලත් විටක් හොඳයි කියන මිථ්‍යාවට යටවුණු යූ සෙයින් තමන් ගේ කුලී රථයට ගනුදෙනුකරුවන් එනතුරු බලා සිටින්නේ කටේ විටක් අහුරාගෙන ය. ඒ තරමට පහසුවට අත පොවන මානයෙන් බුලත් විට මිලදී ගන්නටත් පුළුවන. විටවලට තමන් උපයන ආදායමෙන් සෑහෙන මුදලක් ගෙවිය යුතු වුණත් ඒ වගක් යූ සෙයින් වැනි අයට දැනෙන්නේ නැත. එවැනි පාරිභෝගිකයන්ට බුලත්විට ඔතා නිමක් නැති බව කෙයාව් බුලත් විට මුදලාලි පවසයි. බුලත් පුවක් හුණු දුම්කොළ එකට ගොනුකර පුංචි පහේ මාරක මුල් හය හතක් සෑම මිනිත්තු තුන හතරකට වරක්ම ඔතන්නට කෙයාවි මුදලාලිට පුළුවන. උණු කැවුම් මෙන් ඒ මාරක පාර්සල විකිණි විකිණි යයි. කෙයාව් මුදලාලිගේ දෑතට නිමක් නැත. ආයෙත් ඔහු හිස නමාගෙන දෑස යොමාගෙන අපූරුවට මරුවා මුල් බඳී. දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන මුදල් වැය කර අඥානයෝ ඒ මාර මුල් මිලදී ගෙන කටේ ඔබා ගනිති.
මංජුලා විජයරත්න
CNN ඇසුරිනි...
උපුටා ගැනීම දිනමිණ