Biz Log
Classifields
Biz Log
Classifields

පාලනය කළ හැකි පීනස

පාලනය කළ හැකි පීනස

අසාත්මිකතාවයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වන පීනස රෝගය ලෝක ජනගහනයෙන් 10-25ත් අතර පිරිසක් පීඩා විඳිනු ලබයි. මෙමගින් ඇතැමුන්ට තමන්ගේ ෙදෙනික කටයුතු කරගෙන යාමට ඉතාමත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවේ. අපගේ නාසයේ ඇති ශ්‍ලේෂ්මල පටලය ඉදිමීම නිසා ප්‍රධාන ලෙසම පීනසය ඇතිවිය හැක. සාමාන්‍යයෙන් ගත් කල පීනස් රෝගීන් අධික සංවේදීතාවයෙන් යුක්ත වේ. පීනස ඇතිවීමට හේතු කාරකයන් බොහෝය.

දූවිලි

දූවිල්ලෙහි පියවි ඇසට නොපෙනෙන කෘමියකු වන ‘මයිටන්’ විශේෂයක් ජීවත් වේ. අපගේ සමේ අජීවී කොටස් ආහාරයට ගෙන බැහැර කරන දෙයට රෝගියා ඉතාමත් සංවේදී වන අතර නිවසේ ගෘහ භාණ්ඩ, දොර රෙදි, ඇඳ ඇතිරිලි, මකුළු දැල්, විදුලිපංකා ආදිය දූවිලි ඉවත් කර පිරිසිදුව තබාගත යුතුය. නැතිනම් මෙවැනි රෝගීන්ගේ රෝගය උත්සන්න වීමට මෙය හේතුවක් විය හැක.

සුරතල් සතුන් නිසා

බළලුන් හා බල්ලන් වැනි සතුන්ගේ ලෝම නිසා පීනස් රෝගීන්ගේ රෝගී තත්ත්වය වැඩි වන බවට විශ්වාසයක් පැවතුණද ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මෙම සතුන්ගේ හමෙන් ගැලවී යන ප්‍රෝටීන කොටස්වලට මෙම රෝගීන් ඉතාමත් සංවේදී වීමයි.

දුම් හේතුවෙන්

වාහනවලින් පරිසරයට නිකුත් කරන සල්ෆර්ඩයොක්සයිඩ් වැනි පරිසරයට අහිතකර වායුන්ට මෙම රෝගීන් ඉතාමත් දැඩි ලෙස අසාත්මික වීම නිසා රෝගය උත්සන්න වේ. ඊට අමතරව මදුරු දඟර, හඳුන්කූරු මෙන්ම දුම්වැටිද, දර උදුන්වලින් නිකුත් වන දුම්ද මෙම රෝගීන්ට අහිතකර වේ.

ඇතැම් ආහාර වර්ග නිසා

ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, අන්නාසි වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ඇතැම් කෘත්‍රිම බිම වර්ග මෙන්ම, ක්ෂණික ආහාරයන්ද ඇතැම් රෝගීන්ට අසාත්මික වී රෝගය උත්සන්න විය හැක.

රූපාලංකාර ද්‍රව්‍ය නිසා

සුවඳ විලවුන්, ස්ප්‍රේ වර්ග, හිසකෙස් වර්ණ ගන්වන ඩයි වර්ග නිසාත් අසාත්මිකතාවන් ඇති විය හැක.

රෝග ලක්ෂණ

  • කිවිසුම් යෑම
  • නාසයේ බර ගතිය
  • නාසය, මුහුණ අවට කැසීමට ලක්වීම
  • සොටු දියර ගැලීම
  • උගුර, ඇස් කැසීම
  • ඇස් ඉදිමීම
  • මුළු ශරීරයම කැසීමට ලක්වීම
  • නහය ඉදිමී හුස්ම ගැනීමට අපහසු වීම
  • සමේ ඇතිවන ආසාදනයන් නිසාත් නාසයේ ශ්‍ලේෂ්මල පටල ඉදිමී පීනස සෑදිය හැක.
  • ශරීරයේ තැනින් තැන කටු අනිනවාක් මෙන් දැනීම
  • හුස්ම ගැනීමේ අපහසුතා

පැය 12කට වඩා පීනස තත්ත්වය දිගින් දිගටම පවතින අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී,

  • ඝන කහ හෝ කොළ පැහැයට නාසයෙන් සෙම පිටවේ.
  • හුස්ම ගැනීම ඉතා අසීරු වේ.
  • ඇස්, කම්මුල්, නාසය, නළල වටා ඉදිමුමක්, වේදනාවක්, පීඩනයක් ඇතිවේ.
  • රස, සුවඳ දැනීම අඩුවේ.
  • කැස්ස ඇතිවන අතර රෑට දරුණු ලෙස කැස්ස ඇතිවේ.
  • තදබල හිසරදය
  • මානසික අවුල් බව
  • දෙගුණ වී පෙනීම
  • බෙල්ල තද ගතිය

මෙවැනි රෝග ලක්ෂණ වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වේ. රෝගියකු වෛද්‍යවරයකු හමුවට ගිය විට බොහෝ අවස්ථාවන්වලදී රෝගියාගේ රෝග ලක්ෂණවලින් මෙය හඳුනාගත හැක. මෙහිදී කලාතුරකින් රුධිර පරීක්ෂණයක් සිදු කර රුධිරයේ ඇති (blood count) සුදු රුධිරානු වර්ගයක් වන Eosinophil ප්‍රමාණය 10කට වඩා ඉහළ අගයක වේ දැයි පරීක්ෂා කරනු ලබයි. එලෙස ඉහළ ගොස් ඇත්නම් පීනස් තත්ත්වයක් ලෙස සැක කරනු ලබයි. ඊට අමතරව නාසය අවට රෝගී තත්ත්වයක්දැයි සැක හැර දැන ගැනීමද සිදු කරනු ලබයි. ඇතැමුන් ‍ලේ පීනස ලෙස හැඳින්වූවත් එලෙස විශේෂිත වර්ගයක් නැති අතර පීනස ඉතා දරුණු වී නාසය ඉදිමෙන අවස්ථාවලදී ඉතා සියුම් කේෂ නාළිකාවලට හානි සිදුවී ‍ලේ ගැලීමක් සිදුවීම නිසා මෙලෙස හඳුන්වනවා විය හැක.

ප්‍රතිකාර වර්ග

  • අසාත්මිකතා ඇති විය හැකි හේතු අවම කිරීමට උපදෙස් දෙනු ලැබේ. ඇතැම් ආහාරයන්ගෙන් වැළකීම, ගෙවල් දොරවල් පිරිසිදුව තබා ගැනීම ආදිය.
  • නාසය තුළට ස්ටීරොයිඩ් වර්ගයේ බෙහෙත් විදිනු (ස්ප්‍රේ) ලැබිමක් හෝ බින්දු ලෙස ඇඳේ දිගා වී ඇතුළට දැමීමක් සිදු කරනු ලබයි.
  • ඉදිමුම අඩු කරන ඖෂධ වර්ග දෙනු ලබයි. මෙම ඖෂධ හිතුමතේ ගැනීම සුදුසු නොවන අතර වෛද්‍ය උපදෙස් මත දවස් 10-12ක් පමණක් ගැනීම සුදුසු වේ. මන්ද එසේ නොමැති වුවහොත් මෙම ඖෂධය ප්‍රතික්‍රියා නොදක්වා ඉදිමුම වැඩිවීමට පටන් ගනී.
  • ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ බිමට දීම.
  • සුව කිරීමට අපහසු අවස්ථාවලදී Algen Imuniyo theraphy ලෙස හඳුන්වනු ලබන ක්‍රමවේදය භාවිත කරනු ලබයි. මෙහිදී රෝගියා අසාත්මිකතාව දක්වනු ලබන දේවල් ක්‍රම ක්‍රමයෙන් ලබාදී ශරීරය ඊට හුරු කිරීමක් සිදු කරනු ලබයි.

පීනස් රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා

  • ඇදුම
  • දිගින් දිගටම පවතින පීනස් තත්ත්වය
  • ආසාදනයන් මොළයේ පටකවලට පැතිරී මෙනින්ජයිටීස් රෝගය ඇතිවීම
  • පෙනීම අඩුවීම
  • කන් ඇසීම අඩුවීම
  • කන් ආසාදනය වීම
  • නාසය තුළ කුඩා ගැටිති ඇතිවීම
  • සයිනස් හිසරදය ඇතිවීම

පීනස් රෝගයෙන් පීඩිත රෝගීන් වෛද්‍ය උපදෙස් පරිදි ඖෂධ භාවිත කළ යුතු අතර හිතුමතේ පිරිටන් වැනි ඖෂධ භාවිතය නුසුදුසු වේ. හොඳින් විවේක ගෙන වෛද්‍ය නිර්දේශය පරිදි ඖෂධ භාවිතයෙන් පීනස් තත්ත්වය පාලනය කරගත හැක.

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ හෝමාගම රෝහල

උපුටාගැනීම රිවිර – සුනෙත

Share This Article