දිවි මකුළු විස බස්සන මුඩ මහණ
අද මෙන් හිස මුඩු කළ පිරිස් අතීත ගිහි සමාජයේ නොසිටියහ. හිස මුඩු කළෝ නම්, ගිහි ගෙයින් නික්ම ගිය ශ්‍රමණ - පරිව්‍රාජික යන පූජ්‍ය දෙපක්ෂයටම අයත් වූවෝ වෙති. එමෙන්ම ජාතික සිරිතක් ලෙස හෝ හිස මුඩු කරන ලද වෙනත් ජාතියක් ලොව වෙනත් කිසිදු රටක සිටි බවට සාක්ෂියක් නැත. එදා හිස මුඩු කරන ලද්දේ දඬුවමක් වශයෙනි. හිස මුඩු කරන ලද අයෙකු දැකීම පවා පිළිකුලට භාජනය විය හැකි කරුණක් විය. එදා බොහෝ පිරිමි කොණ්ඩය බැන්දහ. එය ඔවුනට ආභරණයක් විය. අපේ සීයා කොණ්ඩය බඳින ලද පාරම්පරික වෛද්‍යවරයෙක් විය. බෙහෙත් පැළෑටි පිළිබඳව ඔහු තුළ තිබුණේ මහත් දැනුම් සම්භාරයකි. දිනක් අමුතුම මලක් සහිත පැළෑටියක් පෙන්වා මේ කුමක්දැයි විමසු කල “මේ පැළෑටියට කියන්නේ ‘මුඩ මහණ’ කියායි. ඔහු පිළිතුරු දුන්නේය. “මුඩ මහණ” කියන්නේ හිස මුඩු කළ හාමුදුරුවන්ට නේදයි විමසු කල මේ පැළෑටියට “මුඩ මහණ” ලෙස ව්‍යවහාරයට පැමිණීම පිළිබඳව අර්ථය පැහැදිලි කළේය. මේ පැළෑටියේ අඟල් තුන හතරක් ඉහළට ඇදි තිබෙන නටුවල පිපෙන මල්වල මුදුන හිසකෙස් සම්පූර්ණයෙන් ඉවත් කළ හිසකට සමානයි. මෙය ඖෂධයක් වශයෙන් සොයා ගන්නා ලද කාලයේ හිස මුඩු කළ පිරිස් ලෙස සමාජයේ සිටියේ හිස මුඩු කළ ශ්‍රමණයන් වහන්සේ පමණක් බැවින් “මුඩ මහණ” ලෙසින් ව්‍යවහාරය පැමිණි බවත් සඳහන් කළේය. තව ද, මේ ඖෂධ පැළෑටිය වැඩි වශයෙන් වෙල් ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් දැකිය හැකි නිසා “වෙල් මුඩ” කියාත් ව්‍යවහාර වන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. “මුඩ මහණ” - ‘වෙල් මුඩ’ යන නම් වලින් හැඳින්වෙන මේ පැළෑටියේ කොළ අබ කොළවලට මදක් සමානය. අඩි 1 1/2 ක් පමණ උසට වැඩෙන මේ පැළෑටියේ ගස දිගටම පිහාටු වැනි තුනී දාර සහිතය. මෙහි අඟල් තුනක් හතරක් පමණ උසට ඇදි තිබෙන නටුවල පිපෙන මල්වල මුදුන හිසකෙස් සම්පූර්ණයෙන් ඉවත් කළ හිසකට සමාන වේ.
ඖෂධයක් වශයෙන් ගත් කල විශාල වටිනාකමක් ඇති, කට හාරවන සුලු තිත්ත රසයකින් යුත් පැළෑටියකි. අමාශය ශක්තිමත් කරන ශක්තිජනක ඖෂධයකි. බෙල්ලේ ගන්ථි ඉදිමීම, මුත්‍ර මාර්ගයෙන් සැරව පිටවීම ආදි රෝග සඳහා දේශීය වෛද්‍යවරයන් නියම කරන ඖෂධයකි. එමෙන්ම කුඩා දරුවන්ට හටගන්නා පාණ්ඩු රෝගයට ක්ෂණික ගුණ දෙන බව වෛද්‍යවරු පවසති. සංස්කෘත භාෂාවෙන් “වීෂදුෂණී” යනුවෙන් හැඳින්වීමෙන් විෂ නසන බලයක් මේ ඖෂධයට ඇති බව පෙනී යයි. එහෙත් කවර විෂක් නැති කරන්නේ දැයි විස්තර කර නැත. අපේ රහස් බෙහෙත් වට්ටෝරුවල දිවී මකුළු විෂට තිබෙන එකම ප්‍රත්‍යක්ෂ ඖෂධය මුඩ මහණ බව පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබේ. මේ පැළෑටිය සම්පූර්ණයෙන් ගෙන හොඳින් සෝදා කොටා මිරිකා ගත් යුෂ වතුරට, වරකට පත බැගින් උදේ තුනක් පොවා, ඒ යුෂ මිරිකා ගත් රොඩු ටිකට කහ ලුණු දමා කොටා, මකුළුවා දෂ්ට කළ මුඛයේ දින තුනක් බැඳීමෙන් සම්පූර්ණයෙන්ම දිවි මකුළු විෂ බැස යන බව කියා තිබේ. මෙය අත්දුටු ප්‍රතිකාරයකි. මෙම පැළෑටියට “විෂ හරණ” යන සංස්කෘත නාමය යෙදී ඇත්තේ ද ඒ නිසා විය හැකිය.
ජයන්ත සේනානායක