ගැබිනි සමයේ හිතට දැනෙන බය නැති කරගන්න

ගැබිනි සමයේ හිතට දැනෙන බය නැති කරගන්න මේ ලිපිය ඔබට උදව් වේවි

Pregnant මවක වීම ඕනෑම කාන්තාවකගේ සිහිනයක්. ඒ නිසාම තමාට දරු ගැබක් පිහිටා ඇති බව මුල් වරට දැනගත් විට එම කාන්තාව තුළ ඇති වන සතුට ඉතා විශාලයි. නමුත් ඒ සතුට සමගම බියක් චකිතයක් දැනීමත් වළක්වන්න බෑ. සාමාන්‍යයෙන් පළමු දරුවා බිහිකරන කාන්තාවක් තුළ බියක් චකිතයක් ඇතිවීම අතිශය ස්වභාවිකයි. නමුත් දෙවෙනි තුන්වෙනි හෝ ඊටත් පසුව තවත් දරුවකු බිහිකරන කාන්තාවකට වුවත් මේ බිය දැනෙනවා. මුලින් දැනෙන්නේ ඒ පිළිබඳ අත්දැකීමක් නැති කම නිසා දැනෙන චකිතය සමග ඇතිවන බියයි. ඊළඟට දැනෙන්නේ ප්‍රසූතිය පිළිබඳ කලින් අත්දැකීම් ඇති නිසා දැනෙන බියයි. කොහොම වුණත් මොන ආකාරයට දැනුණත් බය කියන්නෙ බයමනේ.

මේ බය නැති කර ගන්නෙ කොහොමද කියලා අපි මුලින්ම කරුණු විමසා සිටියේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා වෙතිනුයි. මේ ඒ මහතා පළ කළ අදහස්.

දරුවකු බිහිකිරීම ස්ත්‍රී පක්ෂයට පමණක් සීමා වූ අතිශය සාමාන්‍ය දෙයක්. මෙය මනුෂ්‍ය ස්ත්‍රීන්ට වගේම තිරිසන් ගැහැනු සතුනටත් පොදුයි. අපේ බොහොමයක් කාන්තාවන් දරුවකු බිහිකිරීම සම්බන්ධයෙන් බියක් ඇතිකරගන්නෙ එහිදී ඇතිවන වේදනාව ගැන සැලකිල්ලට ගනිමිනුයි. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියකදී දරුවා හිරවීම, මවට අධික රුධිර වහනයක් ඇතිවීම ආදි වූ විවිධ සංකූලතා ඇතැම් අවස්ථාවලදී සිදුවීමට බැරිකමක් නැ. නමුත් එවැනි දේවල් ගැන බියවන කාන්තාවන් අඩුයි. තමන්ට ඊට පෙර එවැනි අත්දැකීමක් ඇත්නම් හෝ තමන් දන්නා කියන කෙනෙකුට එවැනි දෙයක් සිදුවූයේ නම් එවිට බියක් ඇතිවන්න පුළුවන්. එසේ නැත්නම් කාන්තාවන් බියවන්නෙ ප්‍රසූත වේදනාව පිළිබඳවයි. නමුත් පවුලට අලුතින් සාමාජිකයකු එකතුවීම පිළිබඳ සතුටින් සිත පුරවාගෙන ඒ වෙනුවෙන් සූදානම්වීමේදී බිය බොහෝවිටම අඩුවී යනවා. ඒ වගේම ගැබිනි මවක් තුළ නිසි සෞඛ්‍ය අධ්‍යාපනයක් තිබිමත් ඉතාමත්ම වැදගත්. ගැබිනි මව්වරුන් නොකඩවා සායනවලට සහභාගිවෙනවා නම් කලට වේලාවට වෛද්‍යවරුන් හමුවෙනවා නම් ප්‍රමාණවත් දැනුමක් මේ සම්බන්ධයෙන් ලබාගන්න පුළුවන්. එසේ දැනුමක් ඇතිවිටත් බිය ඉබේම වගේ අඩුවෙනවා. ප්‍රසූත වේදනාව විඳීමම හැර එයට කළ හැකි කිසිවක් නෑ කියලා බොහෝ දෙනෙක් සිතුවත් වේදනාව අඩු කළ හැකි ක්‍රමත් තිඛෙනවා. කොන්දට ඛෙහෙතක් විද හිරි වැට්ටවීමේ එපිඩියුරල් (epidural) ක්‍රමය මින් එකක්. නමුත් මේ ඖෂධ ඉතා මිල වැඩිවීම, මේ වෙනුවෙන් වෙනම නිර්වින්දන වෛද්‍යවරයකු යෙදවීමට සිදුවීම වැනි බොහෝ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් මෙය අපේ රටේ එතරම්ම භාවිතා වන්නේ නෑ.වේදනාව අඩුකිරීම සඳහා වේදනානාශක වායු (Nitrous Oxide) ඇල්ලීම තවත් ක්‍රමයක්. මේ දෙකටම වඩා සුලබව අපේ රටේ භාවිතා කෙරෙන්නේ ප්‍රසූත වේදනාව අඩුකිරීමට පෙතිඩීන් (Pethidine) ඖෂධය ලබාදීමයි.

මෙම ඖෂධය අපේ රටේ ග්‍රාමීය රෝහල්වල පවා තිඛෙනවා. ගැබිනි සමය තුළ සැමියාගේ ආදරය අවධානය මැනවින් ලැබිමද බිරිඳගේ බිය අඩුවීමට පිටිවහලක් වෙනවා. තවත් විශේෂතම දෙයක් වන්නේ තමන්ට ඒ සමයේදි ප්‍රතිකාර කරන වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසය ඇතිකර ගැනීමයි. එවිටද බිය අඩුවී යනවා. ඒ විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ මහතාගේ අදහස. ප්‍රසූතිය පිළිබඳ බිය අඩුවීමට තවත් ඉතා වැදගත් දෙයක් වන්නේ තමන්ගේ ආගම පැත්තෙන් ලද හැකි පිටිවහලයි. මේ පිළිබඳව අප හා කරුණු දැක්වූයේ පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන්ය. පුරාණයේ ගැබිනි මාතාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද චාරිත්‍ර විධි තිබුණා. මෙය ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ ගැබ් පෙළහර නමින්. ගබ්භ පාටිහාරියං අදාසි යනුවෙන් දක්වන එමගින් විස්තර කෙරෙනුයේ ගැබිනි මවක් දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින කාලය තුළ ඇගේ සිත සතුටු වන අයුරින් ගේදොර වටපිටාව පරිසරය සකස් කරදීමයි. මෙය මූලිකවම කළ යුත්තේ ස්වාමි පුරුෂයා විසින්. දරුවා පිළිසිඳ ගත් මොහොතේ පටන් ප්‍රසූත කිරීම දක්වා කාලය තුළ ස්වාමි පුරුෂයා හැම අතින්ම තම බිරිඳට සහාය දිය යුතුයි. විශේෂයෙන්ම ගැබිනි මවගේ සිතට ඇතිවන චිත්ත පීඩාවන් වළක්වාලීම පිණිස ස්වාමි පුරුෂයා තමන්ගේ පැවැත්ම යහපත් කර ගත යුතුයි. සැමියා දුරාචාර බහුල අයෙක් නම් එවැනි සැමියකු දැකීමෙන් පවා බිරිඳක් තුළ භය, ත්‍රාසය, ශෝකය හා කලකිරීම ඇතිවිය හැකියි. මේවා ගැබ තුළ සිටින දරුවාට සෘජුවම බලපානවා. බුදුන් වැඩ සිටින කාලයේ ගැබිනි මව්වරුන් පන්සලට පැමිණ තෙරුවන් වැඳීමේදී දෙවරක් තෙරුවන් සරණ ගියා. එසේ කරන්නේ කුමක් නිසාදැයි විමසන විටදී ඔවුන්ගේ පිළිතුර වුණේ පළමුව තෙරුවන් සරණ ගියේ තමා වෙනුවෙන් සහ දෙවනුව තෙරුවන් සරණ ගියේ කුසේ හිඳින දරුවා වෙනුවෙන් බවයි. එසේ ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යන, පන්සිල් සුරකින, තම ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතියේදී පීඩාවක් හිරිහැරයක් සිදුනොවීමට ඒ පැවැත්ම ඛෙහෙවින් උපකාර වෙනවා. එසේ සිතා සත්‍යක්‍රියා කිරීම තුළින් මානසික ආතතියෙන් භීතියෙන් තොරව දරු පසූතියට මුහුණ දිය හැකියි. එබැවින් තමා පුරුදු කළ කුමන හෝ යහපත් ක්‍රියාවක් සිහියට නංවා ගෙන, ඒ සත්‍යානුභාව බලයෙන් තමාටත් දරුවාටත් යහපතක්ම වේවායි නිතර නිතර සිහිකිරීම හා පැතීම විශාල මානසික ශක්තියක් ඇතිකිරීමට ඉවහල් වෙනවා.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත

Share This Article

තිස්පහෙන් පසු ගැබ් ගැනීමේ අවදානම් අවස්ථා

දරුවෙක් කියලා කියන්නේ හැම අම්මා කෙනෙක්ගෙම හීනයක්. දරුවෙක් හදන්න හොඳම කාලය මේකයි කියලා සීමා මායිම් දාලා පෙන්වා දෙන්න බැරි වුණත් අවුරුදු...

ගැබිණි මව ස්කෑන් කිරීම භයානක නැහැ

ගර්භනී බවත් සමග ස්කෑන් පරීක්ෂණ ගැන කතා කරනවා. මේ ස්කෑන් පරීක්ෂණවල ඇත්තටම වැදගත් කමක් තියෙනවද?මේ ගැන බොහෝදෙනා නිතර කතා බහ කරනවා....

ප්‍රසූතියෙන් පසු වැදැමහ නිසි ලෙස ඉවත් නොකිරීම නිසා මව මිය ගිහින්

තිස් හැවිරිදි සිවිල් ඉංජිනේරුවකු වූ සුජීවත් ඔහුගේ 29 හැවිරිදි බිරිය කේශලාත් මේ ගෙවා දමන්නේ ජීවිතයේ නොසන්සුන්ම දවස් කිහිපයයි. කුළුඳුල් දරු පැටියා...

මව් පදවිය පතන ඔබට

ගර්භාෂය ඇතුළත හොඳින් බලාගත හැකි ලැපරස්කොපි පරීකෂණය දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන කාන්තාවකගේ ගර්භාෂය හා පැලෝපීය නාල පරීකෂාකර බැලීමට දැනට ලෝකයේ වැඩි...

මව්කුස සිටින දරුවාගේ අංගෝපාංග හරියාකාරව පිහිටා තිඛෙනවාද?

මෙවර Meet Your Doctor වැඩසටහනට සහභාගී වූයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතායි. මෙම සාකච්ඡාවේදී ගැබිනි කාන්තාවකගේ දින...

ගැබිනි සමයේ හිතට දැනෙන බය නැති කරගන්න

Pregnant මවක වීම ඕනෑම කාන්තාවකගේ සිහිනයක්. ඒ නිසාම තමාට දරු ගැබක් පිහිටා ඇති බව මුල් වරට දැනගත් විට එම කාන්තාව තුළ...