Biz Log
Classifields
Biz Log
Classifields

මව්කිරි තුළ ප්ලාස්ටික්! ඇත්තද මේ කතාව

මව්කිරි තුළ ප්ලාස්ටික් ද්‍රව්‍යවලට අයත් මූලික රසායන අණු අන්තර්ගතව තිබීම සිදුවිය හැකි සංසිද්ධියක් බව ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය දුලානි ජයවර්ධන “දේශය” කළ විමසුමකදී පැවැසුවාය.

ලංකාව තුළ මේ සම්බන්ධයෙන් කළ පුළුල් පරීක්ෂණ සහ අධ්‍යයන වාර්තා වී නැති නමුත් මේ අවස්ථාවේ මේ සැකය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුව ඇති හොඳම පියවර ස්වභාවික ලෙස මව්කිරි දීමෙන් වැළකී සිටීම නොව, අඩු තරමේ පූර්ව ගර්භණී අවධියේ සිට හෝ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හෝ ඒ නිෂ්පාදන තුළ ඇසුරුම් කළ ආහාරපාන ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් මෙන්ම එබඳු ක්ෂුද්‍ර අංශූ පැවතිය හැකි වාතය ආග්‍රාණය විය හැකි පරිසර හැකි තාක් මඟහැර සිටීම බව ඇය පෙන්වා දුන්නාය.

කිසියම් රසායනික අණුවක ප්‍රමාණය සහ ස්වභාවය අනුව එය රුධිරගත වීමට ඇති හැකියාව තීරණය වන බවත් ඒ අනුව ප්ලාස්ටික් මූලද්‍රව්‍ය පවා මව්කිරට එක්වීම සහ ඒ මගින් දරුවන්ගේ ශරීරගත වීම සිදුවිය හැකි කාරණාවක් බවත් ඇය පෙන්වා දෙයි. ගර්භණී සමයේ මෙන්ම කිරි දෙන අම්මලාට ඇතැම් ඖෂධ පවා ගැනීම වෛද්‍යවරුන් වළක්වා ඇත්තේ මේ හේතුව මත බව ඇය කියයි. මේ ආකාරයට ප්ලාස්ටික් තැනෙන ඇතැම් මූලද්‍රව්‍ය වුවද රුධිරගතව මව්කිරට එක්වීමේ හැකියාව නොසලකා නොහැරිය යුතු බව වෛද්‍ය දුලානි ජයවර්ධන පෙන්වා දෙයි.

ඉතාලියේ සිදු කරන ලද ස්වාධීන පර්   යේෂණයකදී එරට මව්කිරි සාම්පල කිහිපයකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුවලට අයත් මූලික රසායන අණු හමුවූ බව සනාථ කළ බවට වූ වාර්තාවක් මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය දුලානි ජයවර්ධන ඉහත අදහස් පළ කළේ “දේශය” ඒ වාර්තා ගැන කළ විමසුමකදීය. 

මෙම ඉතාලියානු මව්කිරි පර් යේෂණය ගැන තතු Polymers සඟරාවේ කලකට පෙර  ප්‍රකාශයට පත් කර තිබිණි. එහිදී ප්ලාස්ටික් ඇසුරුම්වල ඇති පොලිඑතිලීන්, PVC සහ පොලිප්‍රොපිලීන්වලින් සමන්විත ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සොයාගන්නා ලද බව වාර්තා විය. නමුත් මේ පර් යේෂකයන්ට මයික්‍රෝන 2 ට වඩා කුඩා අංශු විශ්ලේෂණය කිරීමට නොහැකි වූ අතර වඩාත් කුඩා ප්ලාස්ටික් හා සම්බන්ධ අංශු පැවතීමට හැකි බවට සැක පළ කර තිබුණි.

ඉතාලියේ දරුවන් ලබා සතියක් ගතවූ නිරෝගී මව්වරුන් 34 දෙනකුගෙන් පර්  යේෂණයට මව්කිරි සාම්පල ලබාගෙන ඇත. ඒවායින් 75% ක් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා සම්බන්ධ  අංශු අනාවරණය විය. මේ ආකාර පූර්ව පර්  යේෂණ මගින් රසායනාගාර සතුන් සහ සමුද්‍ර  ජීවීන් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල විෂ සහිත බලපෑම් පෙන්නුම් කර ඇත. නමුත් ජීවමාන මිනිසුන්ට ඇති බලපෑම තවමත් නොදනී. ප්ලාස්ටික් තුළ බොහෝ විට මව්කිරිවල කලින් සොයාගෙන ඇති phthalates වැනි හානිකර රසායනික ද්‍රව්‍ය ද අඩංගු වේ.

මේ ඉතාලි පර් යේෂණ කණ්ඩායම මෙයට පෙර 2020 දී මිනිස් වැදෑමහ තුළින් ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු හඳුනාගෙන තිබුණි.

ඒ අතර වෙනත් මෑතකාලීන පර් යේෂණවලින් හෙළි වී ඇත්තේ බෝතල්වලින් කිරි බී පෝෂණය වන ළදරුවන් දිනකට මයික්‍රොප්ලාස්ටික් මිලියන ගණනක් ගිල දැමීමට ඉඩ ඇති බවත් එළකිරිවල ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු විය හැකි බවත්ය.

ඒ නිසාම මේ විද්‍යාඥයන් අවධාරණය කර ඇත්තේ විශේෂයෙන් ළදරුවන්, මේ  රසායනික දූෂකවලට ගොදුරුවීමේ සම්භාවිතාව ඉහළ නිසාම මේ ගැන තවත් වැඩිදුර පර්යේෂණ කඩිනමින් සිදුකිරීම අවශ්‍ය බවයි. එසේම ඔවුන් අවධාරණය කළේ ස්වභාවික ලෙස මව්කිරි දීම තවමත් ළදරුවන් පෝෂණය කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය බවයි.

මීට පෙර 2022 වසරේ Environment International සඟරාව ප්‍රකාශයට පත් කළ බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විද්‍යාඥයන්ගේ සම පර් යේෂණ වාර්තාවක් ප්‍රථම වරට අනාවරණය කළේ  මිනිස් රුධිරය සහ පෙනහලු පවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මගින් දූෂණය වී ඇති බවයි. එහිදී විද්‍යාඥයන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද පුද්ගලයන්ගෙන් 80% කට ආසන්න කණ්ඩායමක රුධිරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මූලික රසායන අංශු සොයාගෙන තිබුණි.

මෙහිදී විද්‍යාඥයන් විසින් නිර්නාමික නිරෝගී වැඩිහිටි පරිත්‍යාගශීලීන් 22 දෙනකුගේ රුධිර සාම්පල විශ්ලේෂණය කර තිබුණි. ඉන් 17 ක මූලික ප්ලාස්ටික් අංශු සොයාගන්නා ලදී. මේ සාම්පලවලින් අඩක PET ප්ලාස්ටික් අඩංගු විය. ඒවා බීම සහ ජලය ඇසුරුම්  බෝතල්වල බහුලව භාවිත වන ප්ලාස්ටික්ය. සාම්පලවලින් තුනෙන් එකක් තුළ ආහාර සහ අනෙකුත් ඇසුරුම් නිෂ්පාදනය සඳහා භාවිත කරන ලද පොලිස්ටිරින් අංශු අඩංගු විය. මේ රුධිර සාම්පලවලින් හතරෙන් එකක් තුළ ප්ලාස්ටික් බෑග් සාදනු ලබන පොලිඑතිලීන් අඩංගු විය. 

මීට පෙර ප්‍රසිද්ධ කළ තවත් අධ්‍යයනකදී වැඩිහිටියන් හා සසඳන විට ළදරුවන්ගේ මළ මුත්‍රාවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශූ 10 ගුණයකින් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත බව වාර්තා වී තිබුණි. ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් තුළ අන්තර්ගත ආහාරපානවලින් පෝෂණය වන ළදරුවන් දිනකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මිලියන ගණනක් ගිලගන්නා බව මේ අධ්‍යයනය මගින් පෙන්වා දී තිබුණි.

තවත් මෑතකාලීන අධ්‍යයනයකින් හෙළි වූයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු රතු රුධිර සෛලවල පිටත පටලවලට ඇලී සිටිය හැකි අතර ඒ මගින් ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ හැකියාව සීමා කළ හැකි බවයි. ගර්භණී කාන්තාවන්ගේ වැදෑමහ තුළද අංශු සොයාගෙන තිබුණි. ගර්භණී මීයන් යොදා කළ පරීක්ෂාවකදී ඔවුන්ගේ පෙනහලු හරහා හෘදය, මොළය සහ කළලරෑපයේ අනෙකුත් ප්‍රධාන අවයව වෙත වේගයෙන් මේ අංශු ගමන් කරනා බව හෙළිව තිබුණි.

ඇමෙරිකානු රසායනික සංගමය මේ වසරේ අගෝස්තු මස නිකුත් කළ නියමු අධ්‍යයනයක වාර්තාවකද හෘද සැත්කම්වලට භාජනය වූ පුද්ගලයන්ගේ බොහෝ හෘද පටකවල සහ රුධිර සාම්පල තුළින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සොයාගන්නා ලද බව වාර්තා කර තිබුණි.

මේ වන විට දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට මුදාහරින අතර ඉන් ප්‍රතිඵල වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැන් මුළු ලෝකයම දූෂණය කර හමාරය. Plymouth විශ්වවිද්‍යාලයේ සමුද්‍ර විද්‍යාඥයකු වන Richard Thompson විසින් 2004 දී ඉංග්‍රීසි වෙරළ තීරයේ වඩදිය බාදිය රුලි මතින් සහල් ඇට ප්‍රමාණයේ ප්ලාස්ටික් කැබලි ගොඩවල් සොයා ගැනීමෙන් පසුව මෙම “ක්ෂුද්‍ර ප්ලාස්ටික්-microplastics”, යන යෙදුම භාවිත කරන ලදී. ඊළඟ වසරවලදී, විද්‍යාඥයෝ මරියානා ආගාධයේ සිට එවරස්ට් කඳු මුදුන දක්වා ලොව පුරා දසත විසිර ගිය ක්ෂුද්‍ර ප්ලාස්ටික් තොග සොයා ගත්හ.

සෑම වසරකම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් ගණනක් පරිසරයට වැදී සාගරයට ඇතුළු වී ලොව පුරා විසුරුවා හැරේ. 2021 කියුෂු විශ්වවිද්‍යාලයේ ජපන් විද්‍යාඥයන් ලෝකයේ මහා සාගරවල කළ සංගණනයකදී ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් ට්‍රිලියන 24.4ක් පැවැති බව ඇස්තමේන්තු කර ඇත. එය දළ වශයෙන් ලීටර් භාගයක වතුර බෝතල් බිලියන 30 කට සමාන වේ.

සාමාන්‍යයෙන්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු විශාල ප්ලාස්ටික් ද්‍රව්‍ය බිඳී යාමෙන් ඇතිවන  මිලිමීටර් ≤5ට වඩා අඩු (අඟලකින් පහෙන් පංගුවක්), ප්‍රමාණයට ක්ෂුද්‍රකරණය වූ කෘත්‍රිම බහු අවයවික සංයෝගයන්ය. මේ කුඩා අංශු ආහාර, ජලය සහ ආශ්වාස වාතය හරහා මිනිසුන්ගේ පරිභෝජනයට ලක්වේ. එංගලන්තයේ Plymouth විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සිදු කළ පර් යේෂණයකින් නිගමනය කළේ නගරබද මිනිසුන්, ඔවුන් ආහාරපාන  ගැනීමෙන් ලබාගන්නවාට වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් තමන් අවට වාතයේ පාවෙන කුඩා, අදෘශ්‍යමාන ප්ලාස්ටික් තන්තු ආශ්වාස කිරීමෙන් ශරීරගත කර ගන්නා බවයි.

ප්ලාස්ටික් සෑදී ඇත්තේ ඒවාට ශක්තිය සහ නම්‍යශීලී බව ලබා දෙන ආකලන (additives), ඇතුළු රසායනික ද්‍රව්‍යවල සංකීර්ණ සංයෝගයකිනි. ප්ලාස්ටික් සහ රසායනික ආකලන දෙකම විෂ සහිත විය හැක. 

2021 විශ්ලේෂණයකින් ප්ලාස්ටික්වල භාවිත වන රසායනික ද්‍රව්‍ය 10,000 කට වඩා හඳුනාගෙන ඇති අතර ඉන් 2,400 කට වඩා වැඩි ප්‍රමාණයක් අවදානම් සහිත විය හැකි බව කැලිෆෝනියා ප්‍රාන්ත ජල සම්පත් පාලන මණ්ඩලයේ පර් යේෂණ විද්‍යාඥ ස්කොට් කොෆින් සිය අධ්‍යයනයකදී පෙන්වා දී තිබේ. මේවායින් කුමන විශේෂිත රසායනික සංයෝග ගැටලු සහගතද යන්න නිරාකරණය කිරීම සහ එවැනි ව්‍යාකූල සංයෝග ගොන්නක් තුළින් හානියක් සිදු කළ හැකි නිරාවරණ මට්ටම සොයා ගැනීම තවමත් පහසු කාර්යයක් වී නැත. එහෙත් ප්ලාස්ටික් පිළිකාජනක අහිතකර රසායන ද සහිත අවදානම්කාරකයකි. මේ වන විට කුඩා දරුවන් තුළින්ද පිළිකා රෝග බහුලව වාර්තා වීම දක්නට හැකිය. මෙහිදී පරිසරයට නිදැල්ලේ එක්වන ආගන්තුක රසායන ගොන්නක් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් දෙස සැකය යොමුවීම නිසැකය. 

උපුටා ගැනීම දේශය

Share This Article